Saturday, June 29, 2019

අයියනායක දෙවියෝ


උතුරු මැද පළාතේ දැදුරු ඔයෙන් ඉහළ සිට යාපනය දක්වා වූ වන්නි හත්පත්තුවට අධිපති දෙවියන් ලෙස ශ්‍රී ලාංකීය ජනතාවගේ ගෞරවයටත්, වන්දනාමානයටත් ලක්ව ඇති අයියනායක දෙවියන් වූ කලී ඉතා බලසම්පන්න දේව ආත්මයකි.

කරේනාරේ, කයියනාරේ, අයියනායගම්, අරියනායගම් ආදී නම්වලින්
විවිධ ප‍්‍රදේශවල ජනයා අයියනායක දෙවියන් හඳුන්වන අතර කතරගම සන්නසෙහි අයියනාරායන් ලෙසත් කෝකිල සන්දේශයෙහි අයියන් ලෙසත් හඳුන්වා ඇති බැවින් පුරාණ ශ්‍රී ලංකාවේ ආදිවාසීන්ගේ බුහුමනට පවා ලක්වූ දෙවි කෙනෙකු බව සනාථ වේ.

පුරා විද්‍යාවට අනුව අනුරාධපුරයේ ජේතවනාරාමයට නුදුරින් පිහිටි වාහල්කඬේ කුලූනක සත්ත්ව රූප තුනක් සහිත වාහනයක වැඩ සිටින දේව රූපයේ සිටින්නේ අයියනායක දෙවියන් බවට සනාථ කොටගෙන තිබුණද උන්වහන්සේ වෙනුවෙන් වෙන්වුණ දෙවොලක් මේ ලංකාද්වීපයේ නොමැති වීම විශේෂත්වයකි. එහෙත් උන්වහන්සේගේ බලය හඳුනාගත් අප රටේ පැරණි ජනතාව අයියනායක දෙවියන් වෙනුවෙන් මල්, පහන්, සුවඳ දුම් වැනි දෑ එක් එක් ප‍්‍රදේශවල තිබෙන නුග, නා, රුක්අත්තන වැනි දේවාකර්ෂණය වැඩි වශයෙන් පවතින රූස්ස ගස් ඉදිරිපිට උන්වහන්සේගේ නමට කැපකර පූජා කිරීමෙන් පසු වැඳ නමස්කාර කොට පින් අනුමෝදන් කර පිහිට පැතූ බවට බොහෝ සාක්ෂි තිබෙන අතර අද ද උන්වහන්සේගේ බලය පවතින ප‍්‍රදේශවලට ඇතුළු වන බොහෝ දෙනා ගසකින් අතු රිකිල්ලක් කඩා ආරක්ෂාව පතා අයියනායක දෙවියන් සිහිකර එම අතුරිකිල්ල තවත් ගසක එල්ලා යෑම සිරිතකි.

අයියනායක දෙවියන්ගේ උප්පත්තිය පිළිබඳ විවිධ කතා ජනප‍්‍රවාදයේ දැක්වෙන අතර ඊශ්වර දෙවියන්ට වසර දොළහක් බැල මෙහෙවරකම් කළ භෂ්මාසුරයා ඊශ්වර දෙවියන් සතු බලගතු දැහැන ලබා ගැනීමට ලොබ බැඳ උන්වහන්සේගේ බිසව වු උමයංගනා දේවිය රවටා දැහැන ලබාගෙන ඊශ්වර දෙවිදුන් විනාශ කිරීමට පසුපස ලූහුබඳිනු දුටු ශ්‍රී විෂ්ණු දෙවිදුන් භෂ්මාසූරයා යන මග හරස්කොට ඔංචිලි පදින මෝහිණී වේශයක් මවා ගනිමින් ඔහු ඉදිරියේ පෙනී සිටි අවස්ථාවේ මෝහිණිය කෙරෙහි උපන් දැඩි රාග චේතනාවේ අවසන් ප‍්‍රතිඵලය ලෙස මෝහිණියගේ වේශයෙන් පෙනී සිටි ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ ශ්‍රී හස්තයේ දරු ගැබක් හටගත් බවත් දස මසක් ඇවෑමෙන් ශ්‍රී හස්තය පලාගෙන මෙලොවට බිහිවූ කුමරු අයියනායක දෙවියන් බවත් වඩා ප‍්‍රචලිත ජනප‍්‍රවාද කතා වේ.

හිසෙහි ජටාවක් බැඳ වමතින් සැරයටියක්ද, දකුණතින් පුස්තකයක්ද ගෙන රන්වන් පැහැති වස්ත‍්‍රාභරණයෙන් සැරසී හස්තියෙකු පිට වඩිමින් තම පිහිට අයැද සිටින දුකටපත් ජනතාවගේ දුක නිවාලන බලවත් දේවාත්මයක් වන අයියනායක දෙවියන් පුත්තලම,අනුරාධපුරය, නිකවැරටිය, මින්නේරිය, පොළොන්නරුව, හබරණ හා තවත් බොහෝ ප‍්‍රදේශවල තම බලය පතුරුවාගෙන ප‍්‍රධාන වශයෙන් එම ප‍්‍රදේශවල පවතින දැඩි නියගයෙන් ගොවිතැන් කටයුතු ආරක්ෂා කර දෙන අතරතුර නඩු, අවනඩු, විස, සතුරු උපද්‍රව පීඩා හානි දුරුකොට සියලූ යහපත උදා කර දෙන්නා වූ සර්වාරක්ෂක දේවාත්මයක් බැවින් එකී ප‍්‍රදේශවල ජනයා තම තමන්ගේ ගැටලූ හමුවේ අයියනායක දෙවියන්ගේ පිහිට පැතීමට නැඹුරු වී සිටිති.  

Thursday, June 27, 2019

සාම්ප‍්‍රදායික කෙම් ක‍්‍රම

  
ශ්‍රී ලංකාවේ සාම්ප‍්‍රදායික වෛද්‍ය කර්මයේ තවමත් ශේෂව පවත්නා අංගයක් වශයෙන් කෙම් ක‍්‍රම හැඳින්විය හැකිය. කෙම් යනු ආරක්ෂාව, ක්ෂේම, ක‍්‍රමය, උගුල යන අරුත් ලබාදෙන වචනයකි. ශාන්තිය, සුවය, සහනය යන අදහස් රාශියක් එම වචනයෙන් අර්ථ ගැන්වෙයි. කෙම්වල දක්නට ලැබෙනා විශේෂත්වයක් වන්නේ ඖෂධ ගුණවලට අමතරව ජ්‍යොතිෂය්‍ය, ඇදහිලි, ගුප්ත විශ්වාස, විවිධ වත් පිළිවෙත්, ඇස්වහ කටවහ ආදිය ඒ සමඟ බැදී තිබීමය. මේවායේ ජීව ගුණය විශ්වාසය මිස තර්කය නොවේ.

අනාදිමත් කාලයක සිට ජනතාවට සුවසෙත සැදූ  නිසා ඒවා පාරම්පරික උරුමයන් බවට පත්ව ඇත. කෙම්වල පවත්නා තවත් සුවිශේෂිත්වයක් වන්නේ ඒ හා බැදුනු රහස්‍යතාවයයි. රහස්‍යතාව නොමැති විට එයින් අපේක්ෂිත ප‍්‍රතිඵල නොලැබී යාමටද ඉඩ තිබේ. ඇතැම් කෙම් තවත් අයෙකුට කියා දීමෙන් එහි බලය පිරිහී යන බවට ද විශ්වාසයක් පවතී. මේවා මුඛ පරම්පරාගතව පැවැත්මට හේතු වී ඇත්තේ මේ රහස්‍යතාවයයි.

වෙදකමේදී විවිධ පැල වර්ගවල කොටස් විවිධ වෙලාවන්හිදී ගැනීමට කියා ඇත. මෙහි අරුත ඒ ඒ වෙලාවන්හිදී ඒ ඒ ඔසුවල ක‍්‍රියාකාරීභාවය වැඩියෙන්ම පැවතීමය. යම් යම් දිසාවලට ගිය මුල් අතු ආදිය ගැනීමට කියා ඇත. එහි අර්ථයද එයම වේ. මේවා සාමාන්‍ය පුද්ගලයින්ට තේරුම් බේරුම් කර ගැනීමට බැරිය. එහෙයින් එය සඟවා ඇත. අද  පවා බොහෝ දේ ක‍්‍රියා කරවීමට සාමාන්‍ය ජනයාට හැකි වූවද ඒ ඒ දේ ක‍්‍රියා කරන අන්දම තේරුම් කර ගැනීමට බැරිය. කෙම් ක‍්‍රමයේද ඇත්තේ මෙයමය. එහි විද්‍යාත්මකභාවය හැම අයෙකුටම වටහා ගැනීමට නොහැකි නිසා ව්‍යංගාර්ථයෙන් පවසා ඇත.

බොහෝ විට කෘෂිකර්මාන්තයේදී කෙම් ක‍්‍රම සුලභව භාවිත වේ. කෙම් ක‍්‍රම ආසියාතික රටවල වැඩියෙන් භාවිතා වන ආකාරය දැකගත හැකිය. රෝග උපද්‍රවයන් ඉතා පහසුවෙන් දුරුකර ගැනීම සඳහා කෙම් ඉතා මානසික වූත්, සූක්ෂම වූත් ක‍්‍රමයක් විය. චිත්ත බලය, විෂබීජනාශක ගුණය මෙන්ම ඖෂධ ගුණයද මෙම කෙම් තුළ අන්තර්ගතව ඇත. කෙමක් සිදු කරන්නේ ඉතා පිරිසිදුවය. කෙමක් සඳහා අවශ්‍ය ඖෂධ සොයන විට සකසන විට සහ බදිනවිට කතා කිරීම තහනම්ය. මුඛයෙන් පිටවන විෂබීජවලින් ඖෂධ ආරක්ෂා කර ගැනීම එහි අදහස විය හැකිය.   

Sunday, June 9, 2019

උඩරට නර්තනයේ සාම්ප‍්‍රදායික වෙස් ඇඳුම හා අන්තර් සංස්කෘතික ලක්ෂණ


උඩරට වෙස් ඇඳුම පිළිබඳව විමසීමේදී එහි විවිධ අන්තර් සංස්කෘතික ලක්ෂණයන් දැකගත හැකිය. කොහොඹා කංකාරිය ශාන්තිකර්මය සිදු කරලීම උදෙසා ඉන්දියාවේ සිට පැමිණි පිරිස මලය රජුගේ සර්ව ආභරණයෙන් කොටසක් ශ්‍රී ලංකාවේ තෝරා ගන්නා ලද ජන කොටසකට දායාද කොට තිබේ. එයට හේතුව වන්නේ නැවත එවැනි උවඳුරක් ඇති වුවහොත් එය සුවපත් කරලීමට බල වරමක් සහිත ඇඳුමක් ලාංකිකයන්ට ලබා දීමයි. මෙම ඇඳුමේ කොටස් උඩරට නර්තනයේ ඇඳුම් ලෙස අද දක්වා භාවිතා කෙරෙයි.

මෙහිදී වෙස් ඇඳුම සකස් වී ඇත්තේ මලය රජුගේ ඇඳුම ආශ‍්‍රයෙන් බව පැහැදිලිය. මෙය ආභරණ 64 කින් සමන්විත වී ඇත. සිංහල සමාජය තුළද රාජාභරණ 64ක් පිළිබඳව අදහසක් ඇත. රජෙකුට ආභරණ කට්ටල් ෞදකකි. එනම් රාජ කකුධ භාණ්ඩ, පෞද්ගලික ආභරණ යනුවෙනි. පෞද්ගලික ආභරණවල, ආභරණ 64 කි. මෙම ඇඳුම් කට්ටල දෙකෙහි විවිධ සමානතාද පවතියි. වෙස් ඇඳුම දේශීය ඇඳුම් සමඟද ඥාති සබඳතා දක්වයි. 

වෙස් නැට්ටුවාගේ ඉනෙන් පහළ ඇඳුම සලකා බැලූ විට උඩරට නිලමේවරයෙකුගේ ඇඳුමේ යටි කොටස අඳින ආකාරයට සකස් වී ඇත. තවද බෞද්ධ භික්ෂුවක් ස්වකීය උපසම්පදා කර්මයේදී අඳින ඇඳුමේ යටි කොටස අඳින ආකාරයට සමානකමක් දක්වන බව මුදියන්සේ දිසානායක මහතාගේ මතයයි. ඉන්දීය ඇඳුම්වලටද මෙය සමානකම් දක්වයි. වෙස් ඇඳුමේ හිසට පලඳින ශීර්ෂාභරණ කොටස මලබාරයේ රාජකීය ශීර්ෂාභරණයන්ගේ අනුකරණයක් බව සඳහන්ය. එදිරිවීර සරච්චන්ද්‍ර මහතා දක්වන්නේ වෙස් ඇඳුමේ යටි කොටස ගුජරාටි ධෝතිය අඳින ක‍්‍රමයට සකස් වී ඇති බවයි. මුදියන්සේ දිසානායක මහතා දක්වන්නේ වෙස් ඇඳුම් කට්ටලයට සමාන ඇඳුම් කට්ටලයක් දකුණු ඉන්දීය ”තෙයියම්” නම් නැටුමේ යොදා ගන්නා බවයි. 

වෙස් ඇඳුමට සමාන ඇඳුම් කට්ටලයක් බෙංගාලි දඩයක්කරුවන් ආදි කාලයේ ඇඳි බවටද මතයක් ඇත. මෙහි පපුව මත ඇති අවුල් හැරය නම් කොටස ශ්‍රී ලාංකික ජන සමාජයේ ප‍්‍රධාන ආර්ථික මාර්ගය වන වී ගොවිතැන් කරන කුඹුරු යායක ලියැද්ද බෙදී ඇති ආකාරයට සකස් වී ඇති බවට මතයක් ඇත. වෙස් තට්ටුව රාවණා රජුගේ ඔටුන්නේ නිරූපනයක් බවද කියවේ. තවත් මතයක් වන්නේ මලය රජුගේ ඔටුන්න රාවණා රජුගේ ඔටුන්න අනුව සකසා ඇති බවයි. රාවණා පෙලපතේ පාලන මධ්‍යස්ථානය වූ ආලකපුරය හෙවත් වර්තමාන සීගිරියේ චිත‍්‍රවල නිරූපිත රජ බිසවකගේ හිස් පළඳනාව ,විශේෂයෙන් එහි පායිම්පත නම් කොටස වෙස් තට්ටුවට නෑකම් කියන බව කියවේ. වෙස් ඇඳුමේ ශීර්ෂ ආභරණ අතර මුලින්ම දක්නට ඇත්තේ ජටාවයි. ජටාව මහා බ‍්‍රහ්මයා පැලඳගෙන සිටින සිලූමිණේ අනුරුවක් බවට විශ්වාසයක් ඇත. එහි බ‍්‍රහ්මයාගේ වරම් ඇති බව කියයි. මෙය ස්ථුපයක හැඩය ගැනීමට බෞද්ධාගමික අර්ථයක් බලපාන්නට ඇති බව අනුමාන කරයි. තෝඩුපත යනු වෙස් නැට්ටුවාගේ කන් වැසීමට යොදා ගන්නා කර්ණාභරණයයි. එහි පත්තිනියගේ වරම් ඇති බව විශ්වාස කරනු ලැබේ.