Saturday, June 29, 2019

අයියනායක දෙවියෝ


උතුරු මැද පළාතේ දැදුරු ඔයෙන් ඉහළ සිට යාපනය දක්වා වූ වන්නි හත්පත්තුවට අධිපති දෙවියන් ලෙස ශ්‍රී ලාංකීය ජනතාවගේ ගෞරවයටත්, වන්දනාමානයටත් ලක්ව ඇති අයියනායක දෙවියන් වූ කලී ඉතා බලසම්පන්න දේව ආත්මයකි.

කරේනාරේ, කයියනාරේ, අයියනායගම්, අරියනායගම් ආදී නම්වලින්
විවිධ ප‍්‍රදේශවල ජනයා අයියනායක දෙවියන් හඳුන්වන අතර කතරගම සන්නසෙහි අයියනාරායන් ලෙසත් කෝකිල සන්දේශයෙහි අයියන් ලෙසත් හඳුන්වා ඇති බැවින් පුරාණ ශ්‍රී ලංකාවේ ආදිවාසීන්ගේ බුහුමනට පවා ලක්වූ දෙවි කෙනෙකු බව සනාථ වේ.

පුරා විද්‍යාවට අනුව අනුරාධපුරයේ ජේතවනාරාමයට නුදුරින් පිහිටි වාහල්කඬේ කුලූනක සත්ත්ව රූප තුනක් සහිත වාහනයක වැඩ සිටින දේව රූපයේ සිටින්නේ අයියනායක දෙවියන් බවට සනාථ කොටගෙන තිබුණද උන්වහන්සේ වෙනුවෙන් වෙන්වුණ දෙවොලක් මේ ලංකාද්වීපයේ නොමැති වීම විශේෂත්වයකි. එහෙත් උන්වහන්සේගේ බලය හඳුනාගත් අප රටේ පැරණි ජනතාව අයියනායක දෙවියන් වෙනුවෙන් මල්, පහන්, සුවඳ දුම් වැනි දෑ එක් එක් ප‍්‍රදේශවල තිබෙන නුග, නා, රුක්අත්තන වැනි දේවාකර්ෂණය වැඩි වශයෙන් පවතින රූස්ස ගස් ඉදිරිපිට උන්වහන්සේගේ නමට කැපකර පූජා කිරීමෙන් පසු වැඳ නමස්කාර කොට පින් අනුමෝදන් කර පිහිට පැතූ බවට බොහෝ සාක්ෂි තිබෙන අතර අද ද උන්වහන්සේගේ බලය පවතින ප‍්‍රදේශවලට ඇතුළු වන බොහෝ දෙනා ගසකින් අතු රිකිල්ලක් කඩා ආරක්ෂාව පතා අයියනායක දෙවියන් සිහිකර එම අතුරිකිල්ල තවත් ගසක එල්ලා යෑම සිරිතකි.

අයියනායක දෙවියන්ගේ උප්පත්තිය පිළිබඳ විවිධ කතා ජනප‍්‍රවාදයේ දැක්වෙන අතර ඊශ්වර දෙවියන්ට වසර දොළහක් බැල මෙහෙවරකම් කළ භෂ්මාසුරයා ඊශ්වර දෙවියන් සතු බලගතු දැහැන ලබා ගැනීමට ලොබ බැඳ උන්වහන්සේගේ බිසව වු උමයංගනා දේවිය රවටා දැහැන ලබාගෙන ඊශ්වර දෙවිදුන් විනාශ කිරීමට පසුපස ලූහුබඳිනු දුටු ශ්‍රී විෂ්ණු දෙවිදුන් භෂ්මාසූරයා යන මග හරස්කොට ඔංචිලි පදින මෝහිණී වේශයක් මවා ගනිමින් ඔහු ඉදිරියේ පෙනී සිටි අවස්ථාවේ මෝහිණිය කෙරෙහි උපන් දැඩි රාග චේතනාවේ අවසන් ප‍්‍රතිඵලය ලෙස මෝහිණියගේ වේශයෙන් පෙනී සිටි ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ ශ්‍රී හස්තයේ දරු ගැබක් හටගත් බවත් දස මසක් ඇවෑමෙන් ශ්‍රී හස්තය පලාගෙන මෙලොවට බිහිවූ කුමරු අයියනායක දෙවියන් බවත් වඩා ප‍්‍රචලිත ජනප‍්‍රවාද කතා වේ.

හිසෙහි ජටාවක් බැඳ වමතින් සැරයටියක්ද, දකුණතින් පුස්තකයක්ද ගෙන රන්වන් පැහැති වස්ත‍්‍රාභරණයෙන් සැරසී හස්තියෙකු පිට වඩිමින් තම පිහිට අයැද සිටින දුකටපත් ජනතාවගේ දුක නිවාලන බලවත් දේවාත්මයක් වන අයියනායක දෙවියන් පුත්තලම,අනුරාධපුරය, නිකවැරටිය, මින්නේරිය, පොළොන්නරුව, හබරණ හා තවත් බොහෝ ප‍්‍රදේශවල තම බලය පතුරුවාගෙන ප‍්‍රධාන වශයෙන් එම ප‍්‍රදේශවල පවතින දැඩි නියගයෙන් ගොවිතැන් කටයුතු ආරක්ෂා කර දෙන අතරතුර නඩු, අවනඩු, විස, සතුරු උපද්‍රව පීඩා හානි දුරුකොට සියලූ යහපත උදා කර දෙන්නා වූ සර්වාරක්ෂක දේවාත්මයක් බැවින් එකී ප‍්‍රදේශවල ජනයා තම තමන්ගේ ගැටලූ හමුවේ අයියනායක දෙවියන්ගේ පිහිට පැතීමට නැඹුරු වී සිටිති.  

No comments:

Post a Comment