Sunday, June 9, 2019

උඩරට නර්තනයේ සාම්ප‍්‍රදායික වෙස් ඇඳුම හා අන්තර් සංස්කෘතික ලක්ෂණ


උඩරට වෙස් ඇඳුම පිළිබඳව විමසීමේදී එහි විවිධ අන්තර් සංස්කෘතික ලක්ෂණයන් දැකගත හැකිය. කොහොඹා කංකාරිය ශාන්තිකර්මය සිදු කරලීම උදෙසා ඉන්දියාවේ සිට පැමිණි පිරිස මලය රජුගේ සර්ව ආභරණයෙන් කොටසක් ශ්‍රී ලංකාවේ තෝරා ගන්නා ලද ජන කොටසකට දායාද කොට තිබේ. එයට හේතුව වන්නේ නැවත එවැනි උවඳුරක් ඇති වුවහොත් එය සුවපත් කරලීමට බල වරමක් සහිත ඇඳුමක් ලාංකිකයන්ට ලබා දීමයි. මෙම ඇඳුමේ කොටස් උඩරට නර්තනයේ ඇඳුම් ලෙස අද දක්වා භාවිතා කෙරෙයි.

මෙහිදී වෙස් ඇඳුම සකස් වී ඇත්තේ මලය රජුගේ ඇඳුම ආශ‍්‍රයෙන් බව පැහැදිලිය. මෙය ආභරණ 64 කින් සමන්විත වී ඇත. සිංහල සමාජය තුළද රාජාභරණ 64ක් පිළිබඳව අදහසක් ඇත. රජෙකුට ආභරණ කට්ටල් ෞදකකි. එනම් රාජ කකුධ භාණ්ඩ, පෞද්ගලික ආභරණ යනුවෙනි. පෞද්ගලික ආභරණවල, ආභරණ 64 කි. මෙම ඇඳුම් කට්ටල දෙකෙහි විවිධ සමානතාද පවතියි. වෙස් ඇඳුම දේශීය ඇඳුම් සමඟද ඥාති සබඳතා දක්වයි. 

වෙස් නැට්ටුවාගේ ඉනෙන් පහළ ඇඳුම සලකා බැලූ විට උඩරට නිලමේවරයෙකුගේ ඇඳුමේ යටි කොටස අඳින ආකාරයට සකස් වී ඇත. තවද බෞද්ධ භික්ෂුවක් ස්වකීය උපසම්පදා කර්මයේදී අඳින ඇඳුමේ යටි කොටස අඳින ආකාරයට සමානකමක් දක්වන බව මුදියන්සේ දිසානායක මහතාගේ මතයයි. ඉන්දීය ඇඳුම්වලටද මෙය සමානකම් දක්වයි. වෙස් ඇඳුමේ හිසට පලඳින ශීර්ෂාභරණ කොටස මලබාරයේ රාජකීය ශීර්ෂාභරණයන්ගේ අනුකරණයක් බව සඳහන්ය. එදිරිවීර සරච්චන්ද්‍ර මහතා දක්වන්නේ වෙස් ඇඳුමේ යටි කොටස ගුජරාටි ධෝතිය අඳින ක‍්‍රමයට සකස් වී ඇති බවයි. මුදියන්සේ දිසානායක මහතා දක්වන්නේ වෙස් ඇඳුම් කට්ටලයට සමාන ඇඳුම් කට්ටලයක් දකුණු ඉන්දීය ”තෙයියම්” නම් නැටුමේ යොදා ගන්නා බවයි. 

වෙස් ඇඳුමට සමාන ඇඳුම් කට්ටලයක් බෙංගාලි දඩයක්කරුවන් ආදි කාලයේ ඇඳි බවටද මතයක් ඇත. මෙහි පපුව මත ඇති අවුල් හැරය නම් කොටස ශ්‍රී ලාංකික ජන සමාජයේ ප‍්‍රධාන ආර්ථික මාර්ගය වන වී ගොවිතැන් කරන කුඹුරු යායක ලියැද්ද බෙදී ඇති ආකාරයට සකස් වී ඇති බවට මතයක් ඇත. වෙස් තට්ටුව රාවණා රජුගේ ඔටුන්නේ නිරූපනයක් බවද කියවේ. තවත් මතයක් වන්නේ මලය රජුගේ ඔටුන්න රාවණා රජුගේ ඔටුන්න අනුව සකසා ඇති බවයි. රාවණා පෙලපතේ පාලන මධ්‍යස්ථානය වූ ආලකපුරය හෙවත් වර්තමාන සීගිරියේ චිත‍්‍රවල නිරූපිත රජ බිසවකගේ හිස් පළඳනාව ,විශේෂයෙන් එහි පායිම්පත නම් කොටස වෙස් තට්ටුවට නෑකම් කියන බව කියවේ. වෙස් ඇඳුමේ ශීර්ෂ ආභරණ අතර මුලින්ම දක්නට ඇත්තේ ජටාවයි. ජටාව මහා බ‍්‍රහ්මයා පැලඳගෙන සිටින සිලූමිණේ අනුරුවක් බවට විශ්වාසයක් ඇත. එහි බ‍්‍රහ්මයාගේ වරම් ඇති බව කියයි. මෙය ස්ථුපයක හැඩය ගැනීමට බෞද්ධාගමික අර්ථයක් බලපාන්නට ඇති බව අනුමාන කරයි. තෝඩුපත යනු වෙස් නැට්ටුවාගේ කන් වැසීමට යොදා ගන්නා කර්ණාභරණයයි. එහි පත්තිනියගේ වරම් ඇති බව විශ්වාස කරනු ලැබේ.

No comments:

Post a Comment