Monday, May 20, 2019

පත්තිනි ඇදහිල්ල

   
පත්තිනි දෙවියන්ගේ උපත පිළිබඳව සඳහන්වන ප‍්‍රධාන මූලාශ‍්‍රයක් වන්නේ සුළු සිද්ධ වේර කවියෙකු වන ඉලන්තෝ අඬිගල් විසින් රචිත සීලප්පදිකාර් හෙවත් සළඹේ කතාව නැමැති කාව්‍ය ග‍්‍රන්ථයයි. එහි සඳහන් වන ආකාරයට ගජබා රජු සොලී රටට ගොස් මෙරටට පත්තිනි දේවියගේ පා සළඹ  රැගෙන ආ පුවතත් එම පා සළඹ තැන්පත් කර පත්තිනි දෙවියන් වෙනුවෙන් දේවාළයක් තනා ඇසළ පෙරහැර පැවැත්වූ බවත් සඳහන්ව ඇත. මෙම දේවාලය නවගමුවේ ඓතිහාසික පත්තිනි දේවාලය බව ඉතිහාස කතාවයි. මේ පිළිබඳව තවත් ඓතිහාසික මූලාශ‍්‍ර ඇති අතර රාජාවලිය, පූජාවලිය සහ පැරකුම්බා සිරිත වැනි ග‍්‍රන්ථයන්ද මේ අතර දැකගත හැකිය. මෙම දේව ඇදහිල්ල ශ්‍රී ලංකාවේ ආරම්භ වීම තුළින් මෙරට ජන සමාජයට ඉතා වැදගත් කරුණු බොහොමයක් මෙන්ම හුරු පුරුදු රැසක්ද දායාද වී ඇත.

කාන්තාව සතු වටිනාම දේ වන්නේ ඇයගේ පතිවතයි. මෙය උතුම් දහමකි. එම උතුම් දහමේ වටිනාකම කෙරෙහි මහත් බලපෑමක් ඇති කරන ලද්දේ මෙම දෙවඟන හා සබැඳි කතා පුවතයි. එහෙයින් විශේෂයෙන්ම පෙරදිග රටවල කාන්තාවන්ගේ ආදර්ශය බවට පත්වූ විශේෂ චරිතයක් වන්නේ පත්තිනි දෙවඟනයි.

පත්තිනි දෙවියන් දේවත්වයට පත් වීමට පෙර සොලී රටේ ”කන්නගී” නම් කාන්තාව වුවාය. ඇයගේ සැමියා වූ ”කෝවලන් ” නොකළ වරදකට මධුරාපුර රජු විසින් මරා දැමීම හේතු කොටගෙන තම වම් පියයුර කඩා පොළවේ ගසා තමන්ගේ පතිවෘතා බලයෙන් මුළු මධුරාපුරයම ගිනිලවන මෙන් ශාප කළ අතර එම ගිනි ලෑමෙන් දරුවන්, රෝගීන්, ගැබිනි මව්වරුන් හා  සතුන් බේරන ලෙසද ප‍්‍රාර්ථනාවක් කළාය. මධුරාපුරය පුරා ගිනි ගන්නා විට එම ගින්න නිවා දමන මෙන් රජු ඇයගෙන් ඉල්ලීමක් කොට තිබේ. නැවුම් එළදෙනකගේ නැවුම් කිරි මුළු මධුරාපුරයේම ඉසීම හේතුවෙන් ගින්න නැවතුන බව ඉතිහාසයේ සඳහන් වේ.

කිරි ඉතිරවීමේ චාරිත‍්‍රය ජන සමාජයට එක් කරලීම සඳහා ඉහත කතා පුවත හේතු වී ඇත. නව වසර ආරම්භය, අලූත් අවුරුදු උදාව, නව නිවසකට ගොඩ වැදීම ආදිය තුළ මෙම චාරිත‍්‍රය දක්නට ඇත. ගැබිනි මව තම කුසේ සිටින දරුවා ආරක්ෂා කර දෙන මෙන් ඉල්ලා සිටින්නේ මෙම දෙවියන්ගෙන්ය. රෝගීන්ද පිහිට පතන්නේ මෙම දේව මෑණියන්ගෙනි. කිරි අම්මාවරුන්ගේ දානය, පඬුරු බැදීම ආදිය සිදු කරනුයේ මේ උදෙසාය. මේ සියල්ල මධුරාපුරයේ ගිනිලෑමට සම්බන්ධය.
තවද කී‍්‍රඩාව මිනිසාගේ නිරෝගීභාවයට ඉතාම වැදගත් දෙයකි. මේ අනුව පත්තිනි ඇදහීම සම්බන්ධව ක‍්‍රීඩා 64 ක් ඇති බව පත්තිනි පුරා කතාවන්ගෙන් පැවසෙයි. අං කෙළිය, ඔලිිද කෙළිය, සොකරි නැටීම, පොල් කෙළිය, ගුඩු ගැසීම, තට්ටු පැනීම ඒ අතර වෙයි. දෙවියන්ගේ ලෙඩ යැයි විශ්වාස කරන වසංගත රෝග 64 ක් ඇති බවද සඳහන්ය. 

පත්තිිනි මෑණියන්ගේ පිහිට සතා සීපාවටද නොඅඩුව ලැබෙන බව තහවුරු වන එක් අවස්ථාවක් වන්නේ  ගොනුන් පිට සධාතුක කරඬුව සහ දේවාභරණ වඩම්වන අතිශය දුර්ලභ පෙරහැරය. මෙම පෙරහැර නවගමුව පත්තිනි දේවාලයට පමණක් ආවේණික වූවකි. මේ පෙරහැර පවත්වන්නේ අත්ිතයේ ගොනුන්ට වැළදුණු වසංගත රෝගයකින් බේරීමට පත්තිනි මෑණියන්ට වූ භාරයක් ඔප්පු කිරීමටය. 

”පත්තිනි මෑණියෝ , පත්තිනි අම්මා” වශයෙන් හඳුන්වනු ලබන මෙම දෙවඟන බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවාදරයට පත්ව ඇත. ඇය ශාන්තිවාදී දෙවි කෙනෙකි. පිරිමි ආත්මයක් ලැබ මතු බුදුවන්නට පෙරුම් පුරයි. වර්තමානය වන විටද ශ්‍රී ලාංකික ජනයාගේ දේව ඇදහිලි හා විශ්වාස අතර පත්තිනි දේව ඇදහිල්ලට ලැබෙනුයේ සුවිශේෂී ස්ථානයකි.      

No comments:

Post a Comment