Monday, May 13, 2019

මහජන සම්බන්ධතා

   
මහජන සම්බන්ධතාවයේ ඉතිහාසය මානව ඉතිහාසයේ ඉතා ඈතට දිවයන්නකි. ඉතා නොදියුණු ප‍්‍රාථමික වනචාරී ගෝත‍්‍රවල පවා සිය මහජන සම්බන්ධතා ක‍්‍රියාදාමය පවත්වාගෙන යෑම සඳහා කිසියම් නොදියුණු ක‍්‍රමයක් හෝ පවත්වාගෙන ගියබව පෙනෙයි. සමාජය ක‍්‍රමයෙන් විකාශනය වත්ම මහජන සම්බන්ධතාවල ස්වරූපයද විවිධ වෙනස්කම්වලට බඳුන් විය. වර්තමානය වනවිට මහජන සම්බන්ධතාවය වෘත්තියක් දක්වා වර්ධනය වී ඇත. වර්තමානය වන විට බොහෝ රටවල්වල  මහජන සම්බන්ධතා ක‍්‍රියාවලිය පිළිබඳව දැඩි අවධානයක් යොමු වී ඇති බව පෙනෙයි. ඒ සමඟම මෙම ක‍්‍රියාවලිය ප‍්‍රායෝගිකව භාවිතා කිරීමේදී ජන මාධ්‍ය ප‍්‍රබල අවියක් ලෙස යොදා ගනියි. නමුත් ජනමාධ්‍යකින් තොරව වූවද මහජන සම්බන්ධතාවය ගොඩනැගිය හැකිය. 

මූලිික වශයෙන්  මහජන සම්බන්ධතාවය අභ්‍යන්තර හා බාහිර මහජන සම්බන්ධතාවය වශයෙන් කොටස් දෙකකි. අභ්‍යන්තර මහජන සම්බන්ධතාවය තුළදී ආයතනයේ සාමාජිකයින් තුළ ආයතනයේ ප‍්‍රතිරූපය ගොඩනැංවීම මූලික අරමුණ බවට පත්කර ගනියි. බාහිර මහජන සම්බන්ධතාවය තුළදී මූලිකම පරමාර්ථය වන්නේ බාහිර පාර්ශවකරුවන් හා ආයතනය අතර සුහදත්වය වර්ධනය කරලීමයි.

මහජන සම්බන්ධතාවේ තවත් මූලික අරමුණක් වන්නේ කිසියම් අදහසක්, ආකල්පයක් හෝ සාරාර්ථයක් කිසියම් පිරිසක් වෙත පිළිගැන්වීම වේ. තවත් අවස්ථාවක මහජන සම්බන්ධතාවයේ මූලික අරමුණක් වන්නේ කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් පාරිභෝගිකයා වෙත පිළිගැන්වීම වේ. මේ සෑම අවස්ථාවකදීම මූලික වන්නේ මහජන සම්බන්ධතා නිළධාරිවරයාය. ඒ නිසා ඔහු මහජන මතය පිළිබඳ විශේෂඥයෙකු විය යුතුය. මහජන සම්බන්ධතා තවත් අතකින් සැලසුම්කරණු ලැබූ ක‍්‍රියාවක් ලෙසද හැඳින්විය හැකිය. ඒ අනුව මහජන සම්බන්ධතා යනු මහජන මතය සමඟ සම්බන්ධ වූද, සන්නිවේදනය සමඟ ගණුදෙනු කරන්නාවූද කළමණාකරණ කාර්යයභාරයක් කරන්නා වූද යන ත‍්‍රිවිධ කාරණා මූලික ක‍්‍රියාවලියක් බව හඳුනාගත හැකිය. ඒ නිසා සන්නිවේදන විශාරදයින් විසින් මහජන සම්බන්ධතාව ක‍්‍රියාදාමයන්  රැසක ගොණුවක් ලෙසද හඳුන්වනු ලැබේ.

ස්වභාවයෙන්ම පවත්වාගෙන යන මහජන සම්බන්ධතා, සංස්කෘතික සබඳතා, විෂයක් වශයෙන් ඉගෙනීමෙන් යුතුව වෘත්තියක් ලෙස පවත්වාගෙන යනු ලබන මහජන සම්බන්ධතා වශයෙන්ද කොටස් කළ හැකිය.

මහජන සම්බන්ධතා ක‍්‍රියාවලියේ අන්තර්ගතය තුළ පහත සඳහන් දෑ අන්තර්ගත වේ.  
 
ආයතනයක් ඇතුළත හා ඉන් පිටත සිට එය හා සම්බන්ධකම් ඇති කර ගන්නා හා ආයතනයක් අතර අන්‍යොන්‍ය අවබෝධය වැඩි දියුණු කරලීමට ගන්නා සියලූ පියවර
 
ආයතනයක් පිළිබඳව මහජනයාගේ සිත තුළ හැඟීමක් ඇති කිරීම සඳහා දෙනු ලබන උපදෙස්
 
ආයතනයක් පිළිබඳව වැරදි අවබෝධයක් ඇතිවීමේ හේතු සාධක සොයා ගැනීමටත් ඒවා තුරන් කිරීමටත්        ගන්නා ක‍්‍රියාමාර්ග

 අදාළ ප‍්‍රචාර, දැන්වීම්, ප‍්‍රදර්ශන, චිත‍්‍රපට ආදිය මඟින් ආයතනයක බලපෑම් සීමාව පුළුල් කිරීම
 
ජනතාව සහ ආයතන අතර සන්නිවේදනය සෘජුවම වර්ධනය කිරීමට තුඩුදෙන සෑම දෙයක්මය.   


2 comments: