Wednesday, April 10, 2019

මලියදේව මහරහතන් වහන්සේ පිලිබඳ ජනප්‍රවාද


ශ්‍රී ලාංකීය බෞද්ධ ඉතිහාසය තුළ අවසන් මහරහතන් වහන්සේ ලෙස ජනප්‍රවාදගත වී ඇති, මලියදේව මහරහත් වහන්සේ පිලිබඳ තොරතුරු ඇති මූලාශ්‍ර ලෙස මහාවංශය, මහාවංශටීකා, විශුද්ධිමග්ග, සීලවත්ථුප්‍රකරණය, පාලි රසවාහිනී, විභංග අටුවා, මැදුම් සඟි අටුවාව, සඟසරණ, සද්ධර්මාලංකාරය, ආදිය හැඳින්විය හැකිය. අංගුත්තර අටුවාවේ, මහාදේව හිමි මලියදේව නමින්ද, මහාවංශටීකාවේ මලය මහාදේව නමින්ද උන්වහන්සේ හැඳින්වෙයි. ආචාර්ය අධිකාරම් මහතාට අනුව මහාදේව, මලයදේව, මලියදේව, කාලදේවවාසී මහා මලියදේව යන නම් රැසකින් උන්වහන්සේ විවිධ මූලාශ්‍ර වල හඳුන්වා ඇත. මෙසේ මූලාශ්‍ර ගණනාවක විවිධ නම් වලින් හඳුන්වා ඇත්තේ එකම හිමිනමක් බව තොරතුරු විශ්ලේෂණය කිරීමේදී පැහැදිලි වෙයි.

ලංකාවේ කඳුරටේදී හෝ මාලදිවයිනේ දී හෝ ඈත පෙරදිග මලය රාජ්‍යයේ උපන් මලියදේව හිමි ලංකාවේ මණ්ඩලාරාමයේදී ශිල්ප හදාරා ඇත. මණ්ඩලාරාමය යනු කෑගල්ල පොල්ගහවෙල ප්‍රදේශයන්ට නුදුරුව පිහිටි වට්ටාරම නම් පූජා භූමියයි.මෙම රහතන් වහන්සේ කුඩා කල කල්ගෙවා ඇත්තේ වට්ටාරම නම් විහාරයේ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. එසේම බාල වයසෙදීම රහත් වූ මේ හිමි රහත්භාවයට පත් වූයේ ද, අපවත් වූයේ ද වෙසක් පොහොය දිනක බව සදහන්ය. වට්ටාරම විහාරයට අමතරව පුහුරිය රජමහා විහාරය, අරණායක දික්පිටියේ රාජගිරි මල්පා විහාරය, කුරුණෑගල කටගමු විහාරය, නාරම්මල රජමහා විහාරය යන විහාරස්ථානවල වැඩ වසමින් ධර්ම දේශනා පවත්වමින් බොදු ජනයාට ධර්මාවබෝධය ලබා දීමට කටයුතු කල බව සඳහන් වේ. පුහුරිය රජමහා විහාරය හා වට්ටාරම රජමහා විහාරය යා කරමින් ඉපැරණි උමං මාර්ගයක් අදටත් පුහුරිය රජමහා විහාරයේ දක්නට ඇත.

මෙම මාර්ගය උන්වහන්සේ විසින් තම ගමනාගමනය උදෙසා උපයෝගී කරගන්නට ඇති බව මෙම ප්‍රදේශයේ ජනතාව අතර පැවත එන විශ්වසායකි. එසේම මෙම උමං මාර්ගය තුලට කිසිවෙකුට යා නොහැකි බවත් සුදු නාගයෙක් විසින් එය ආරක්ෂා කරන බවටත් ජනප්‍රවාදයක් ඇත. එලෙසම මෙම හිමියන් ස්නානය කල ලිඳ අදටත් පුහුරිය රජමහා විහාරස්ථානය ආශ්‍රිතව දක්නට ඇත. අවුරුද්දේ කිසිම දවසක මෙම ළිඳෙහි ජලය අඩු නොවන බවත්, එහි ජල මට්ටම එකම උසකට පවතින බවත්, කිසිදු නියං කාලයකදී ලිදෙහි ජල මට්ටම අඩු නොවීමටත් හේතුව උන්වහන්සේගේ හාස්කම් බවට ජනප්‍රවාදයක් ඇත.

උන්වහන්සේ වටා ගෙතී ඇති තවත් ජනප්‍රවාදයක් මෙසේය. දැදුරු ඔයට ආසන්නයේ සුළුගලු නම් ගම තුළ විශාල විහාරයක් පිහිටා ඇත. මෙහි වැඩසිටි මලියදේව මහරහතන් වහන්සේට රාත්‍රියේ බඬේ අමාරුවක් වැළදී ඇත. එම බඬේ අමාරුව මීටත් පෙර හැදුනු අවස්ථාවක ඖෂධ වර්ග 11ක් එක්කොට සාදන ලද එකාදසයාගු නම් ඖෂධීය කැඳ කොහෙන් හෝ ලබාගන්නට හැකි වේ දැයි දිවැසින් බලා එය ලබාගන්නට හැකි ස්ථානය දැක සුලුගුළු නම් උපාසක වෙදැදුරුතුමා හමුවට වැඩම වූහ. එහිදී අවශ්‍ය ඖෂධ ඔහුගේ නිවසේ පිළියෙල කෙරෙන තුරු උන්වහන්සේ ඔහුත් සමඟ දෙව්ලොවට වැඩිය බවත් එතැනදී සිළුමිණි සෑය, වන්දනාවට පැමිණි මෛත්‍රී බෝසතුන් හමුවූ බවත්, සක් දෙවිඳුන්ගේ සුලුගුළු උපාසකතුමාට තෑගි වශයෙන් දිවසළු තුනක් ලැබුණු බවත් එම දිවසළු ගෙනැවිත් තැන්පත් කර නාරම්මල විහාරයේ චෛත්‍යයක් ඉදිකල බවත් කියැවේ. මේ සෑය වඳින්නට සුලුගුළු වෙදැදුරුතුමා කැමති වුවත් අහසින් යන්නේ කෙසේ දැයි රහත්න් වහනසේගෙන් අසනු ලබයි. එහිදී තමන් වහන්සේ වැඩ හිඳින් සම්කඩෙහි වාඩි කරවා සිළුමිණ සෑය වදින්නට ගිය බව සදහන් වේ.
 දුර්භික්ෂ සමයකදී මලියදේව හිමි නාරම්මල රජමහා විහාරයේ චූලනාග ලෙනට වැඩ භාවනායෝගීව සිටි බව කියවේ. උන්වහන්සේ පිඬුසිඟා දෙවරක්ම වැඩිමුත් දනට කිසිවක් ලැබී නැත. තෙවන දින ආපසු වැඩිය උන් වහන්සේට තම කුටියේ පාත්‍රා දෙකක් දක්නට ලැබුණි. ඒවා පිරි තිබුනේ ලුණු හා ඇඹුල් වලිනි. මේවායින් විහාරයේ ආහාර පිළිබෙල කර ගැනීමට කලක් යනතුරු හැකි වූ බව ජනප්‍රවාදගතය. එලෙසම සුලුගුළු උපාසක වෙදැදුරුතුමාට ලැබුණු දිවසළු ද මෙම පාත්‍රා දෙකද තබා ගල් ලෙන තුල විහාරයක් කල බව සඳහන්ය.   

බුදුන් වහන්සේගේ සෑයට රජවරුන් පිදූ ඔටුන්න උණුවී සෑය හතර කොනින් පැන නැගී ඒවා යැයි විශ්වාස කරන දඹරන් පිලිම හතරක් මෙම හිමියන්ට ලැබුණු බව සඳහන්ය. මෙම දඹරන් පිලිම පොල්ගහවෙල - වට්ටාරම, කොත්මලේ - පුහුල්පිටිය, මහනුවර - මාදන්වල සහ මොරපාය යන විහාරස්ථානවල තැන්පත් කල බව ජනතාව අතර ප්‍රචලිත වී ඇත. කොත්මලේ පුහුලුපිටියේ තැන්පත් කර ඇති දඹරන් පිලිමය එලිමහනෙන් තැබූ විට මහවැසි ඇතිවන බවට ජනප්‍රවාදයක් පවතියි. එලෙසම මොරපායේ තැන්පත්ව ඇති දඹරන් පිළිමය වටාද කතාවක් ගෙතී පවතී. මෙම පිලිමය මහත් ප්‍රාතිභාර්යක් පෑ බව සඳහන්ය. වරක් මෙහි විහාරාධිපතින් වහන්සේ එක් උදෑසනක විහාර මිදුල ඇමදීමේදී යෙදී සිටියදී නා ගස මුදුනේ රශ්මිධාරා විහිදුවමින් මෙම පිළිම වහන්සේ වැඩ සිටිනු දැක ඇත. මෙම හිමියන් සාධුකාර දී දොහොත් පෑ කල එම හිමියන්ගේ සිරස මුදුනට වැඩි බව කියැවේ. විහාරයේ තැන්පත් කරන ලද එය එතනින් අසල වූ ගල් ගුහාවකට වැඩි අතර තවලම්කාරයන් පිරිසකට අයත්ව ඉන්පසු දඩයම්කාරයන් අතටද පත්වී නැවත නායයාමකට අසුව යලිත් මොරපාය විහාරස්ථානයට වැඩම කල බව කියැවේ.
මලියදේව මහරහතන් වහන්සේ හා වට්ටාරම පුදබිම එකම වංශ කතාවක් බව නිසැකය. අදටත් වට්ටාරම රජමහා විහාරය හැඳින්වෙන්නේ ශ්‍රි අරහත්ත මලියදේව රජමහා විහාරය යනුවෙනි.

මලියදේව මහ රහතන් වහන්සේගේ නිත්‍ය වාසස්ථානය මෙම විහාරය බවට ඇති ප්‍රබල සාධක බොහෝය. ඓතිහාසික ලේඛනවල මෙන්ම පොදු ජනතාව අතර ද පැවති මතයක් වන්නේ ලක්දිව කලල ග්‍රාමයේ මණ්ඩලාරාම මහා විහාරයේ (වට්ටාරම) උන්වහන්සේ ත්‍රිපිටකය ඉගෙනගෙන කමටහන් වඩා රහත් වූ බවයි. උන්වහන්සේ පිරිනිවන් පා ඇත්තේ ද මෙම භුමියේ බව ජනප්‍රවාදගතය. (මෙම විහාරයේ පිහිටි මලියමහාපායේදී) විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා සක්දෙවිඳුන්ගේ නියාමනයෙන් මිහින්තලාවට ගොස් ශිලාල චෛත්‍යයට නුදුරු නැනක තිබුණු පොකුණක තිබූ ගල්ටැම් 65ක් හා මිහිඳු රහතුන්වන්සේගේ ධාතු හා සිවුරු ගෙනවිත් මෙම භූමිය සකස් කොට කොටස් 24 කට බෙදා හතලිස් මහලකින් යුතුව මලියමහාපාය හා ආරාමය සාදා ඇති බව සදහන්ය. අදටත් මෙම ස්ථානයේදී මෙහි නටඹුන් දැකගත හැකිය.

මෙම රහතන් වහන්සේ පිළිබඳ තවත් සුප්‍රසිද්ධ ජනප්‍රවාදයක් මෙසේය. මෙම හිමියන් වට්ටාරම සිටියදී අන්ධ වූ සහෝදරියක දෙනගමුවේ සිටි බවත්, අනෙක් සොයුරිය නාරම්මල පැන්නැතිගොඩ වාසය කලබවත් සදහන්ය. මලියදේව හිමියන් මෞර්ය වංශයේ කුමාරයෙකුගේ දරුවෙකු වන බවට විශ්වාසයක් ඇති අතර මේ නිසා පිරිනිවන් පෑමෙන් අනතුරුව උන්වහන්සේ අධිෂ්ඨාන කලේ තමන් වහන්සේගේ මෘත ශරීරය සයනය කල ඇඳත් සමග දෙනගමුවට ගෙන්වීමටයි. එම දේහය දුටු ඇස් අන්ධව සිටි සොහොයුරියගේ දෑස් පෙනෙන්නට වූ බව සදහන්ය. මෙම දේහය ප්‍රථමයෙන් ගමන් කර ඇත්තේ දෙනගමුවටයි. පසුව මෙම දේහය නාරම්මල පැන්නැතිගොඩ විහාරයට අහසින් ගමන් කර පහත්වුනු පසුව ඉතාමත් ගෞරවයෙන් දහස් ගණන් බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් ආදාහනය කරන ලද බව පැවසෙයි. එහි ඉඳිකල චෛත්‍ය අදටත් නිරපද්‍රිතව පවතියි. මෙම හිමියන් ග්‍රන්ථධූරය පුරමින් විදර්ශනා ධූරයද පුරමින් සිටින අතර එක් දිනක් කලල ග්‍රාමගේ (වර්තමාන හැලමඩ) ගමේ සිටින උපාසිකාවක විසින් පිඬුසිඟා වඩිමින් සිටි මෙම හිමියන්ට කැඳ පිලිගන්වා පුත්‍ර සෙනෙහසින් ඇතුළු ගෙයි වඩා හිඳුවා දවල් දානය ප්‍රණීත ලෙස සකසා දෙන ලද බවත්, වාසය කරන ස්ථානය විමසූ විට මණ්ඩලාරාමය බවත් උන්වහන්සේ පවසන ලද බව සදහන්ය. එහිදී ග්‍රන්ථධූරය පුරා නිමවන තෙක් (ත්‍රිපිටක ධර්මය ඉගෙන ගෙන අවසන් වනතුරු) ඇයගේ නිවසින් දානය වළදනන්නට ආරාධනා කල බව මෙම ප්‍රදේශයේ ජනතාව අතර ප්‍රචලිතය. මෙය පිලිගත් තෙරණුවෝ සුවපත් වේවා ෟ දුකින් මිදේවා ෟ යැයි දේශනා කළහ. එහෙත් ටික කලකින් රහත් වූ මලියදේව තෙරුන් දහම් දෙසන බව දන්වා සිටියද උපාසිකාව විහාරයට නොගොස් සිටි බවද සාමණේර තෙරනමකගේ බලවත් ඉල්ලීම අනුව ආරාමයට ගොස් පහන් වනතුරු ධර්මය අසා සෝවාන් ඵලයට පත්වූ බව ජනප්‍රවාදයේ සදහන්ය.

ජනප්‍රවාදවලට අනුව මලියදේව හිමි ධජග්ග සූත්‍රය දේශනා කොට භික්ෂූන් 60 නමක් රහත් භාවයට පත් කරවූහ. එසේම දීඝවාපි, මිහින්තලේ, මහියංගනය, සිතුල්පව්ව, කැලණිය යන ස්ථාන වලද උන්වහන්සේ 60 නම බැගින් රහත් කරවා ඇත. ඒ අනුව උන්වහන්සේ ලංකාවේ 60 පොළකදී බණ දේශනා කොට 60 බැගින් 3600ක පිරිසකට රහත්භාවය ලබාදුන් බව සඳහන්ය. මෙම රහතන් වහන්සේලාගේ විශේෂ හැකියාව වූයේ ඒ ඒ පුද්ගලයාගේ චරිත ලක්ෂණ බලා සුදුසු කමටහන් ලබා දී භාවනා කරවා රහත්භාවය ලබාදීමයි. සැළලිහිණි සංදේශයේ ද උන්වහන්සේ බණ දේශනා කල ආකාර පිලිබඳව මෙසේ දැක්වේ.
          
           "ගිලිය නොදී සැට මහණන් බව             මහණ
මලියදෙවි තෙරිඳු වැඩ හිද දෙසු               බණ
            දිලිය පස් මහල් පායෙහි මිණි              කිරණ
බැලිය හැකි විනම් දැක වැඳ යා             කලණ

මලියදේව මහරහතන් වහන්සේ ලංකාවේ අවසන් මහරහතන් වහන්සේ බව සැලකේ. සමහරුන් පවසන්නේ එය එසේ නොවන බවයි. ඒ කෙසේ වෙතත් උන්වහන්සේ බොහෝ කාලයක් වැඩ විසූ බව පැවසෙන වට්ටාරම විහාරයට අදටත් වෙසක්, පොසොන් පොහොය දිනවන දස දහස් ගණන් ජනතාව ඇදී එන්නේ කිසියම් මාධ්‍යගත ප්‍රචාරයක් නිසා නොවේ. වසර දහස් ගණනක් මුළුල්ලේ පාරම්පරිකව පවතින දැනුම නිසාය. අවසාන වශයෙන් සදහන් කල හැක්කේ ලංකාවේ විවිධ ප්‍රදේශවල වැඩවාසය කරමින් හුදී ජනයාගේ සිත් සදහම් කිරණින් පුරවන්නට උන්වහන්සේ ලබාදුන්  දායකත්වය අනර්ඝ ධර්ම දානයක් බවට ඉතිහාසගත වී ඇති බවයි. එහෙයින් මලියදේව හිමියන් හා බැඳි එම සුන්දර කතාව අදටත් අප අතරේම ජීවමානව නොමැකී පවතී.




2 comments: