Tuesday, April 30, 2019

මාධ්‍ය ආචාර ධර්ම

    
ආචාර ධර්ම සඳහා මානව සංහතියේ ආරම්භය දක්වා දිවයන දිගු ඉතිහාසයක් පවතී. ගෝත‍්‍රික මිනිසා ක‍්‍රමයෙන් ශිෂ්ට සම්පන්න යුගයකට පිවිසෙන්නේ මෙම මානව ආචාර ධර්ම තුළින් ඔහුව මෙහෙයවනු ලැබූ නිසාය. මේ සඳහා ආදී ගෝත‍්‍ර සමාජවල නොයෙකුත් ඇදහිලි, වත් පිළිවෙත් හේතු වන්නට ඇත.

ලංකාවේ සන්නිවේදන ආචාර ධර්මවල ඉතිහාසය දෙසට අවධානය යොමු කරන විට දක්නට ලැබෙන්නේ නෛතික ඉතිහාසයකට වඩා පැරණි ඉතිහාසයක් අප සතුව තිබෙන බවයි. එය අපේ බුදුදහම ඇසුරින් සම්පාදනය වූ බෞද්ධ ආචාර ධර්ම පසුබිම් කරගෙන නිර්මාණය වූවක් ලෙස හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ. බුදුරදුන් දේශනා කර වදාළ ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළ ආචාර ධර්ම ක‍්‍රියාවලියක් පවතී. එහි ‘සම්මා’ යනු යහපත යන්නයි. පන්සිල් පද පහද බෞද්ධ ආචාර ධර්මවලට කදිම නිදසුනකි. මින් සිව්වන ශික්ෂා පදය මුසාවාදය හෙවත් බොරු කීමෙන් වැළකීම සන්නිවේදන කාර්යභාරයට ඉතා වැදගත් වේ.

ආචාර ධර්ම මිනිසාගේ චර්යාව හෙවත් හැසිරීම පාදක කොටගත් ශාස්ත‍්‍රයක් ලෙස හැඳින්වීමට පුළුවන. මෙය සමාජය හා බැඳී පවතී. මේ මගින් සමාජයේ යහපැවැත්ම හා පොදු යහපත නිර්මාණය කරනු ලබයි. විවිධ සමාජයන්හි පවතින ආචාර ධර්ම පද්ධති එක් කලෙකදී මහා ඉහළින් පිළිගන්නා සමාජයක් හෝ පුද්ගලයින් හෝ පුද්ගල කණ්ඩායම් තවත් කලෙකදී එය ප‍්‍රතික්ෂේප කිරීමට පුළුවන.

ජනතාවට තොරතුරු ලබා දීමේ කාර්යයේදී ජන මාධ්‍ය මූලික වී කටයුතු කරනු ලබයි. එමෙන්ම නව මාධ්‍ය ව්‍යාප්තියත් සමඟ ජනතාව ඒ ඔස්සේද තම තොරතුරු අවශ්‍යතා ඉටු කර ගැනීමට යොමු වී සිටියි.  මෙම සන්නිවේදන මාධ්‍යවල ව්‍යාප්තියත් සමඟ නිරන්තරයෙන් සාකච්ඡුාවට බදුන් වන මාතෘකාවක් බවට මාධ්‍ය ආචාර ධර්ම පත්ව ඇත.  

ඕනෑම වෘත්තියක වෘත්තීය ගෞරවය ආරක්ෂා කර ගැනීමට ආචාර ධර්ම නිරන්තරයෙන් වැදගත් වේ. මාධ්‍ය වෘත්තියටද මෙය එක ලෙස අදාළය. මාධ්‍ය වෘත්තිකයන් උදෙසාද විවිධ ආචාර ධර්ම පද්ධතීන් නිර්මාණය වී ඇත. උදාහරණ වශයෙන් පුවත්පත් මාධ්‍ය උදෙසා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය විසින් පුවත්පත් මණ්ඩල පනත යටතේ ආචාර ධර්ම සංග‍්‍රහයක් ඉදිරිපත් කොට ඇත. එලෙසම ශ්‍රී ලංකා කතෘ සංසදය විසින් සම්පාදනය කරන ලද ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම විසින් පිළිගැනුණු ආචාර ධර්ම සංග‍්‍රහය මේ සඳහා බලපානු ලබයි. එලෙසම අනෙකුත් මාධ්‍යයන් සඳහාද එයට අනන්‍ය වූ ආචාර ධර්ම පද්ධතීන් සැකසී ඇත.                  

තොරතුරු සමාජගත කිරීමේ ක‍්‍රියාවලියේදී ජන මාධ්‍යවේදීන් තරඟකාරී මාධ්‍ය සංස්කෘතිය හමුවේ සිය සමාජ වගකීමෙන් බැහැරව කටයුතු කරන ආකාරය පැහැදිලි වේ. කුඩා දැරියන් කාමාතුරයින් විසින් බිලිගන්නා ලද පුවත් වාර්තාකරණයේදී අමු අමුවේම ආචාර ධර්ම විරෝධී ලෙස ඡුායාරූප හා තොරතුරු සමාජගත කිරීම මෑත කාලීන සිදුවීම් වාර්තාකරණයේදී පැහැදිලි විය. මනුෂ්‍යත්වය තුළින් නිසඟයෙන්ම මතුව එන සංවේදී  ගුණය මුදලට හා ජනප‍්‍රියත්වයට විකිණී  ඇති  බව කණගාටුවෙන් වුවද සඳහන් කළ යුතුය. ”සියොතුන්ට නිළඹර අරා පියාසර කිරීමට අයිතිය ඇත. එහෙත් පියාසර කරවිත් මගේ හිසේ හා කොණ්ඬේ  කූඩු බැඳීමට අයිතියක් නැත.” යනුවෙන් හැරල්ඞ් ජේ ලැස්කි විසින් දක්වා ඇති ප‍්‍රකාශය ජන මාධ්‍යවේදීන් විසින් තරයේ සිහි තබාගත යුතුය. නිදහස භුක්ති විඳීමට තමන්ට අයිතියක් තිබූ පමණින් එය අයුතු ලෙස භාවිතයට ගැනීම  නොකළ යුතුය. තම තමන්ට පැවරී ඇති සමාජ වගකීම හා වගවීම පිළිබඳව සංවේදී ලෙස  කටයුතු කරලීම තුළ යහපත් මාධ්‍ය සංස්කෘතියක් බිහි කරලීම එතරම් අසීරු කරුණක් නොවනු ඇත.             

No comments:

Post a Comment