Wednesday, April 24, 2019

කාටූන් සහ ළමා මනස




 
අව්‍යාජත්වයේ හා සුන්දරත්වයේ විශ්වමය සංකේතය  වශයෙන් ළමයා හඳුනාගත හැකිය.    කාටූන්, යනු අව්‍යාජ ළමා මනස තුළ ව්‍යාජ ප‍්‍රතිරූප සකසනු වස් වර්තමානය වන විට වේගයෙන් ව්‍යාප්ත වන ජනප‍්‍රිය වැඩසටහන් විශේෂයකි. මේවා නිර්මාණය කරනු ලබන්නේ වැඩිහිටියන් විසිනි. නමුත් මෙම කාටූන් නරඹනු ලබන්නේ දරුවන් විසිනි. වැඩිහිටියන් විසින් නිර්මාණය කරනු ලබන මෙම වැඩසටහන් තුළ ළමයින්ගේ සිතුම් පැතුම් නියෝජනය වනවාද? යන්න ගැටලූවකි. අතීතයේදී දරුවන්ගේ ලෝකයේ වීර ප‍්‍රතිරූප චරිත වූයේ ඉතිහාස කතා, ජාතක කතා, ජන කතා, සුරංගනා කතාවල එන ආදර්ශවත් චරිතයන්ය. ඔවුන්ගේ ළමා මනස පෝෂණය වූයේ වැඩිහිටියන්ගෙන් අසා දැනගත් එම කතා තුළිනි. වර්තමානය වන විට කුඩා දරුවන්ගේ සිත් තුළ වීරයන් බවට පත්ව ඇත්තේ කාටූන් තුළ අන්තර්ගත චරිතයන්ය.  ඕනෑම දෙයක හොඳ සහ නරක අඩු වැඩි වශයෙන් ඇත. වර්තමාන කාටූන් වැඩසටහන්වල අන්තර්ගතය පරික්ෂා කිරීමේදී යහපත් දේ වලට ළමයා පෙළඹවීමට වඩා ළමා මනස තුළ සංකීර්ණ අයහපත් සිතුවිලි වර්ධනයට කාටූන් වැඩසටහන් බලපාන බව හඳුනාගත හැකිය.

කාටූන් වැඩසටහන්වලට ඇබ්බැහි වීම නොමේරු දරුවන්ට බලපාන අයුරු පිළිබඳ පර්යේෂණ බොහොමයක් වෙයි. ප‍්‍රබන්ධ සහ සත්‍ය ලෝකය අතර වෙනස වැඩිහිටියන් විසින් අවබෝධ කර දුන්නොත් මිස ළමයින් ඒවා තේරුම් ගන්නේ නැත. ඔවුන්ට ඒවා තේරුම් ගැනීමේ ශක්තියක්ද නොමැත. කාටූන්වල චරිත සහ ඔවුන්ගේ ගති ලක්ෂණ ළමා මනස තුළ ගැඹුරින්ම තැන්පත් වෙයි. දිනකට පැය තුන හතරක් කාටූන් නරඹන දරුවන් තුළින් ප‍්‍රචණ්ඩකාරී සහ අකීකරු හැසිරීම් ප‍්‍රකට කෙරෙන බව පර්යේෂණ වලින් හෙළිවී තිබේ. බොහෝ කාටූන්වල අනුකම්පා විරහිතව සිදු කෙරෙන පහර දීම් සහ මරා දැමීම් සුලභව අන්තර්ගත වන අතර එසේ කිරීම සමාජ විරෝධී ක‍්‍රියාවක් සහ වින්දිතයාට හෝ මරණයට පත් වන්නාට වේදනාවක් ඇතිවන දෙයක් බවත් නොහැඟවෙයි. මෙම තත්ත්වය විසින් දරුවා ප‍්‍රචණ්ඩකාරී සමාජ විරෝධී ක‍්‍රියාවල නිරත වීමේ නොතිත් ආශාවකින් පෙළෙන තත්ත්වයකට පත්වන බව මනෝ විද්‍යාඥයෝ අවධාරණය කරති.

වර්තමානය වන විට ළමයාගේ විවේක කාලය සොරාගන්නා මාධ්‍යයක් වශයෙන් කාටූන් හඳුනා ගැනීමට හැකිය. බොහෝ විට සවස් කාලයම ඔවුන් ගතකරනුයේ රූපවාහිනිය තුළින් කාටූන් නැරඹීමෙනි. ඔවුන්ගේ සෙමෙන් වැඩෙන මනස වර්ධනය වන්නේ මෙම කතා මාලාවන් හරහාය. ළමයා වැරදි ආහාර රටාවන් කෙරෙහි යොමුවීම, සංවේදිතාවයෙන් තොර පිරිසක් බවට පත්වීම, ත‍්‍රාසජනක අත්දැකීම් ලබා ගැනීමට වැඩි කැමැත්තක් දැක්වීම, ආත්මාර්ථකාමී සිතුවිලි වර්ධනය වීම, නිර්මාණශීලීත්වය හීනවීම යනාදිය ඇතිවීම කෙරෙහි කාටූන් සෘජු වශයෙන්ම බලපානු ලබයි. බොහෝ විට මෙම වැඩසටහන් කෙරෙහි ළමයා ආකර්ෂණය වන්නේ ළමා මනස තුළ අත්දැකීම් අඩු වීම නිසාය. එබැවින් මෙමගින් ඉදිරිපත් කරන තේමාවන් ළමයාගේ ජීවිතයට නව අත්දැකීමකි. ඔවුන් එහෙයින් මෙම චරිත අනුකරණයට පෙළඹෙයි. සමාජය තුළදී තම තමන්ට රුචි වූ වීර චරිතයන් ආරූඩ කර ගනිමින් ඔවුන් තම හැසිරීම සකස් කරගනු ලබයි. බැට්මෑන්, සුපර්මෑන්, ස්පයිඩර් මෑන් වැනි කාටූන් තුළ, රූපරාමු හා දර්ශන වල වේගවත් බව, අස්වාභාවික සිදුවීම් වැනි දෑ නැරඹීම තුළ ළමයා තුළ ඇති ස්වභාවික චින්තන හැකියාවන් ඔවුන් කෙරෙන් දුරස්වීමට ඇති ප‍්‍රවණතාවය වැඩිය. යථාර්ථය සහ කල්පිතය වෙන් කර ගැනීමට තරම් ඔවුන්ගේ මනස දියුණු වී නොමැත.

කාටූන් යනු අතිශය නිර්මාණශීලී ප‍්‍රකාශන මාධ්‍යයක් වශයෙන් හඳුනාගත හැකිය. විශේෂයෙන්ම මේ තුළින් ළමයාට වඩාත් සමීප වන ලෙස රූප රාමු සහ භාෂා මාධ්‍යය උපයෝගී කරගත හැකිය. දරුවන්ගේ මනසට අවශ්‍ය දෑ මෙන්ම අනවශ්‍ය දෑ හඳුනා ගැනීම නිසිආකාරව වැඩිහිටියන්ට සිදු කළ හැකි නම් ඔවුන්ගේ චර්යාවන් හා සිතුවිලි කෙරෙහි වඩාත් හිතකර මාධ්‍යයක් වශයෙන් කාටූන් භාවිත කරලීම කිසිලෙසකින් වරැද්දක් වශයෙන් හඳුනාගත නොහැකිය. 


     

No comments:

Post a Comment