Friday, April 26, 2019

මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා....


”එකකට එකක් සම්බන්ධ එකක් පස්සෙ එකක් ගමන් කරන දේට මිනිස්සු කියන්නෙ ජීවිතය කියලා...එකකට එකක් සම්බන්ධ නැති මෙන්න මේකයි කියන්න හේතුවක් නැති දේකට මිනිස්සු කියන්නෙ ආදරය කියලා...”
මේ සමනළ සංධ්වනිය චිත‍්‍රපටයේ ආරම්භය...චිත‍්‍රපටයට තේමා වෙන්නෙ හරි අපූරු ආදර කතාවක්. ඔහු වාදීශ වික‍්‍රමනායක...

”ඉකිගසා හඩන අතීතයක 
කඳුලූ එක්ක ගණුදෙනු කරනා 
මට මගේ නොවන 
මගේම ආදරයක් තිබුණා...

හීනෙන් හිනැහී තුන්යම මා රවටා
මැදියම් මහ  රෑ  අදටත් දුක ඉගිලෙනවා
නින්දෙන් ඇහැරී කලූවරේම යළි සොයනා 
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා
මගේම ආදරයක් තිබුණා... 

රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා
උහුලනු බැරි තැන උණු කඳුලූම වගුරවනා 
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා
මගේම ආදරයක් තිබුණා... ”

මේ ගීතය තුළින් ඔහු පේ‍්‍රක්ෂකයා කොහේදෝ ලෝකයක අතරමං කරනවා කියලයි මට හිතෙන්නෙ. ඒ අතරමං කරවීම හදවතේ සියුම්ම තැන් පවා ප‍්‍රකම්පනය කරන්නට සමත්... මේ ගීතයට ගොඩාක් අය හදවතින්ම සමීප වෙනවා. හේතුව...අපි හැමෝටම අපේ ජීවිතේ එකම හරි අවස්ථාවක තමන්ගේ නොවන තමන්ගේම ආදරයක් තියෙනවා.. එහෙම නැත්නම්  ඒ වගේ ආදරයක් තිබිලා තියෙනවා..

නොකී මුත් වචනයෙන් කිසිවිට
දරා ඉන්නා නමුත් සිත යට
වසන් කරන්නට බැරිය එය මට
දෙනෙත දෙනෙතින් බැඳී ගිය විට 

මහගමසේකරයන්ගේ මෙකී පදවැල් අතර කියාගන්නට නොහැකි වූ නමුත් ජීවිත කාලය පුරාවටම බලා හිඳ මියගිය පේ‍්‍රමයන් අප අතර කොතෙකුත් ඇති. ආදරය අපි හැමෝම හොයන දෙයක් වේදනාවෙන් මිරිකි මිරිකී යදින දෙයක්.  
”ජීවිතය කියන්නෙ සුන්දර පිපාසයක්. ඒ පිපාසය යම් තරමක් හරි සංසිදෙන්නෙ ආදරය කියන දේ ලැබුනාම විතරයි. ඒකයි හැමෝම ආදරේ පිටුපස්සෙ දුවන්නෙ. කොච්චර හති වැටුනත් ඒ පස්සෙම දුවන්නෙ. හදවත් ගිනි ගනිද්දිත් සිරුරු රිදුම් දෙද්දිත් අපි හඩ හඩා, හඩ හඩා ආදරය සොයන්නෙ ඒ නිසයි.”

වාදීශ වික‍්‍රමනායක ආදරේ කරන්නෙ පුණ්‍යාගේ මේ සිතුවිලිවලට. වාදීශට පාසල් යන අවධියේ අහම්බෙන් ලිපියක් කියවන්න ලැබෙනවා. චිත‍්‍රපටය පුරාවටම විහිදී ගිය කතාවේ හටගැන්ම එයයි. එය ආදර ලිපියක්. නමුත් එය ඔහුට අයිති ලිපියක් නොවෙයි. පුණ්‍යා නැමැති තරුණියක් රේවත නැමැති තරුණයෙකුගේ ආදරය පිළිගත් බව සඳහන් කෙරුණු ලිපියක්. මේ ලිපිය වාදීශගෙ මුලූ ජීවිතයම වෙනස් කරවනවා. කෙනෙකුට හිතෙන්න පුලූවන් ලියුමකට මෙච්චර දෙයක් කරන්න පුලූවන්ද කියලා. වාදීශට තමන්ව අමතක වන තරමටම මේ අකුරු ඔහු වෙනස් කළාද කියන එක. නමුත් ඔහු කෑගසා ආමන්ත‍්‍රණය කරන්නෙ පුණ්‍යාවයි. උනුන් නොදැන නොදැක වූවද ආදරයේ සියුම් ස්පර්ශය ආත්මය වසාගත් කළ එයින් හද පාරාගත් මිනිසුන්ගේ කතාව මෙයම නොවේදැයි මට සිතෙයි.

ඔහු වසර දෙකක්ම ලිපියේ සඳහන් ආකාරයට පුණ්‍යා හමුවීමට මාර්තු 7 වෙනිදාට කුමාරි උයනට යනවා. ඇයව දැක ගැනීමට හැකි වූවත් කතා කිරීමට අවස්ථාවක් ඔහුට උදා වෙන්නෙ නැහැ. මෙම ලිපිය ආපසු භාරදීමට නොහැකි වීම ගැන ඔහු පසුතැවෙනවා. එය විසි කිරීමට තැත් කළද එය ඔහුගේ ආත්මය තුළටම රිංගා ඔහු තුළම ජීවත් වෙනවා. පුණ්‍යා යනු ඔහුට වඩා වයසින් වැඩි තරුණියක්. ඔහු කුඩා දරුවෙක්. නමුත් ඔහු පෙම් බඳින්නේ ඇයගේ සිතුවිලිවලට. ඔහුගේ හදවත පුරා දෝංකාර දෙන්නේ ඒ සිතුවිලි. ඔහු තරුණ වියට පත්වූ පසුත් ඔහු තුළ ඇය ජීවත් වෙනවා. ඔහු ඒ දුක සිතේ සිර කරගෙන ගී ගයමින් වේදනාව ඉගෙන ගන්නවා. කිසිවෙකුට කියන්නට නොහැකි වූ ඒ වේදනාවේ දෝංකාරය මෙම ගීතය බවට පත්වෙනවා.         

වාදීශ හරි අපූර්ව දෙයක් අවසානයේ කියනවා.” මුතු ඇටයක් බවට පත් වෙන්නෙ බෙල්ලෙකුගෙ බෙලි කටුව තුළ සිරවූ වැලි කැටයේ වේදනාව...” ඔහු කියන්නෙ සියල්ල පැමිණෙන්නෙ වේදනාවෙන් කියලා... චිත‍්‍රපටය අවසන් වෙන්නෙත් මෙම ගීතයෙන්. ඇත්තටම මෙම ගීතය ආදරයේ සංධ්වනියක් කියලයි මට හිතෙන්නෙ. චිත‍්‍රපටය අධ්‍යක්ෂණය  ජයන්ත චන්ද්‍රසිරි. මෙම ගීතයේ පද රචනය අමිල තේනුවර. ගීතය සංගීතවත් කළේ දර්ශන රුවන් දිසානායක. ගීතය ගායනය අමරසිරි පීරිස්.

ඔබත් ඔබේම ලෝකයක තනිවී සිටිනා මොහොතක මෙම ගීතය රසවිඳින්න. කිසිදා හිමිකරගන්නට නොහැකි වූ නමුත් සිතුවිල්ලකින් ඔබේම පමණක් වූ ඒ ආදරය ඔබේ හදවත කොනක තවමත් ජීවත් වන බව ඔබට දැනේවි...  

No comments:

Post a Comment