Sunday, July 28, 2019

මයිකල් ජැක්සන් හා ජනප‍්‍රිය සංස්කෘතිය


මයිකල් 1958 වසරේ අගෝස්තු 29 වන දින ඇමරිකාවේ ඉන්ඩියානාහිදී මයිකල් ජැක්සන් උපත ලැබීය. මයිකල් නව දෙනෙකුගෙන් යුත් පවුලක අටවෙනි සාමාජිකයාය. ගායකයෙකු, ගීත රචකයෙකු, නර්තන ශිල්පියෙකු, රංගන ශිල්පියෙකු, දානපතියෙකු වශයෙන් මොහු ලෝකය පුරා ප‍්‍රසිද්ධ විය King of pop යන විරුධාවලියෙන් හඳුන්වන්නේද මොහුය. ඇමරිකානු පොප් සංගීතය තුළ මොහු නොමැකෙන නාමයක් සනිටුහන් කළේය. පොප් සංගීතය ජනතාව අතරට ගෙන යාම සඳහා මයිකල් විසින් උපයෝගී කරගත් ශෛලීන් වඩාත් සාර්ථක විය. පොප් සංගීතය ජනතාව අතර වඩාත් ප‍්‍රිය වූ කලාවක් බවට පත්වූයේ එහි ප‍්‍රතිඵලයක් ලෙසය. ඔහුගේ නර්තන ශෛලීන් හා ගායන ශෛලීන් ජනතාවගේ වඩාත් සිත්ගත් ශෛලීන් බවට පත්විය. ඇමරිකානු පොප් සංගීතය වෙනස් මඟකට ගත් පුද්ගලයෙකු වශයෙන් මොහු හඳුනාගත හැකිය. මෙම සුවිශේෂී ජනතා ආකර්ෂණය නිසාම මොහුගේ පෞද්ගලික ජීවිතයේ යම් යම් අංගයන්ද ජනතාව විසින් අනුකරණය කරන්නට විය. උදාහරණ වශයෙන් ජැක්සන්ගේ ඇඳුම් විලාසිතා, ඔහුගේ කොණ්ඩ විලාසිතා, ඔහු පරිහරණය කළ උපකරණ හා භාණ්ඩ, සපත්තු විලාසිතා, තොප්පි විලාසිතා ආදිය ජනතාව අතර වේගයෙන් ජනප‍්‍රිය විය. ඇමරිකාව තුළ පමණක් නොව ලෝකය පුරාම ජනතාවගේ සිත්ගත් තරුවක් බවට මයිකල් ජැක්සන් පත්විය. පොප් ගායනය තුළ වේදිකාවේදී ඔහු විසින් අනුගමනය කළ රංගන ශෛලීන් ජනප‍්‍රිය රංගන ශෛලීන් බවට පත්විය. මයිකල් ජැක්සන් කෙරෙහි ජනතා උන්මාදයක් ඇති වීමට සෘජු වශයෙන්ම බලපෑවේ පොප් සංගීතයයි. 


ජනප‍්‍රිය යන  අර්ථය ඇති ඉංගී‍්‍රසි වචනය වන පොපියුලර් කෙටි වී පොප් නිර්මාණය වී තිබේ. පොප් සංගීත ශෛලියට පදනම් වී ඇත්තේ රොක් ඇන්ඞ් රෝල් වශයෙන් 1950 ගණන්වල පැවති සම්ප‍්‍රදායමය. පොප් සංගීතය පෝෂණය වී ඇත්තේ විවිධ සංගීත ශෛලීන් වෙතින් ලද මූලද්‍රවයන් උපයෝගී කර ගනිමිනි. නාගරික සංගීතය, රොක් සංගීතය, නැටුම් සංගීතය, ගැමි සංගීතය උදාහරණ වශයෙන් දැක්විය හැකිය. පොප් ගීතයේ ඉලක්කය වූයේ තරුණ පරපුරය. මෙය ශාස්ත‍්‍රිය ජෑස්, රොක්  නවීනතම ගීත ආදී සියල්ලගේම එකතුවක් මිස තනිව වර්ධනය වූ ශෛලියක් වූයේ නැත. පොප් ගීතයේ ඉතිහාසය 1920 ගණන් දක්වා අතීතයට දිවෙන බව සමහරු කියති. එහෙත් සමහර අයගේ මතය වන්නේ 1950 මැද භාගයේදී බි‍්‍රතාන්‍යයේදී තරුණ පරපුර වෙනුවෙන් අලූත් ගීත ශෛලියක් වශයෙන් මෙය වර්ධනය වූ බවය.

මොහුගේ සංගීත දිවියේ සුවිශේෂි අවස්ථාවන් රැුසක් දැකගත හැකිය. මයිකල්ගේ ප‍්‍රථම වෘත්තිමය සංගීත ආගමනය 1964 දී ඔහුගේ සහෝදරයන් හා ඔහු එක්ව කරන ලද  Jackson 5 සංගීත කණ්ඩායම හරහා සිදුවිය. 1967 දී  I want you back සංගීත ඇල්බමයට ඉහළ ප‍්‍රතිචාර හිමිවිය. එවිට ඔහුගේ වයස අවුරුදු 11කි. වර්ෂ 1978 දී ඔහු විසින් සිය ඒක පුද්ගල ගීත ඇල්බමය එළිදක්වන ලදී. එහි මිලියන 10ක පිටපත් ලොව පුරා අලෙවි වීම විශේෂත්වයකි. 1982 දී  THRILLER ඇල්බමය ලෝක සංගීත ඉතිහාසයේ ඉතා වේගයෙන් පිටපත් අලෙවි වූ ඇල්බමයක් වශයෙන් හඳුනාගත හැකිය. මිලියන 65ක පිටපත් අලෙවි වීම  හා එය ගිනස් වාර්තා පොතට එක්වීම තවත් විශේෂත්වයකි. 1987 දී එළිදක්වන ලද  BAD ගීත ඇල්බමය වඩා ජනප‍්‍රිය ගීත ඇල්බමයක් බවට පත්විය. 1996 සැප්තැම්බර් මාසයේ History world tour සංචාරය අරඹමින් යුරෝපයේ නගර 58ක ගීත සංදර්ශන පැවැත්වීම හරහා ඔහු වඩාත් ජනප‍්‍රිය චරිතයක් බවට පත්විය. එය 1997 ඔක්තෝබර් දක්වා සිදුවීම හා මිලියන 4.5 කට අධික රසික පිරිසක් මෙම සංදර්ශනයට පැමිණීම විශේෂත්වයක් බවට පත්විය. මෙම ලෝක සංචාරය මහද්වීප 5ක රටවල් 35කදී ඔහු විසින් ඉතා සාර්ථකව ඉදිරිපත් කිරීම සිදුවිය.    Got to be there, Ben, Music and me, Off the Wall, We are the world යනාදී ගීත ඇල්බම්ද ජනතා ආකර්ෂණය නොමඳව ලබාගත් සංගීත නිර්මාණ බවට පත්විය.

ජැක්සන් උපතින් කළු ජාතිකයෙකි. නමුත් ඇමරිකාව තුළ පැවති වර්ණ භේදය නිසා මෙන්ම පවුලේ ගැටලූ නිසා ඔහු තමාගේ සමෙහි වර්ණය පවා වෙනස් කර ගත්තේය. පෞද්ගලික ජීවිතයේ පවුලේ අයගේ වංචාවලට අසුවී අතීත අමිහිරි අත්දැකීම් සමඟ ජීවත් වූ ඔහුට තම ස්වභාවය වෙනස් කර ගැනීමට අවශ්‍ය විය. ඔහු කාල වර්ණයෙන් ශ්වේත වර්ණයට වෙස් ගැන්වූයේ දිගුකාලීන ඉතා වේදනාකාරී ප්ලාස්ටික් සැත්කම් කිරීමෙන් පසුවය. මිය යාමට පෙර තම මොළය පවා ඉවත් කර වෙනත් මොළයක් බද්ධ කිරීමට හැකිදැයි ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයා වන ”කොන්රඞ් මරේ” වෛද්‍යවරයාගෙන් ඔහු විමසා තිබේ. මේ බව මෙම වෛද්‍යවරයා This is it කෘතියේ දක්වා ඇත.  ඔහුගේ විවාහ ජීවිතය එතරම් සාර්ථක වූයේ නැත. පොප් ගායක එල්විස් ප්රෙස්ලිගේ දියණිය වන ලීසා මාරි ප්රෙස්ලි විවාහ වූ ජැක්සන්ගේ විවාහ ජීවිතය පැවතියේ වසර දෙකක් වැනි කෙටි කාලයකි. පුණ්‍ය කටයුතු උදෙසා මනා දායකත්වයක් ලබා දුන් පුද්ගලයෙකු වශයෙන් මොහු සැලකේ. කුඩා ළමුන් අපචාරවලට යොමුකර ගැනීම පිළිබඳ චෝදනා එල්ල වීම ඔහුගේ නාමයට කළු පැල්ලමක් බවට පත්විය. 2009 ජූනි 25 වෙනිදා හදවත් රෝගයකින් මොහුගේ මරණය සිදුවිය.                                                         
  

No comments:

Post a Comment