පෙර එක් කලෙක අප මහ බෝසතාණෝ සා කුලයක ඉපිද සිල්වත්ව සිටින විට සක්දෙව් රජු ඒ බව දැක සාවාගේ ශීලය පරික්ෂා කර බලනු පිණිස සාවා කරා දුගී වෙසක් ගෙන පැමිණ කුසගිනි බව පවසා කෑමට යමක් ඉල්ලූ විට, තමාගේ ඇඟ මස් කෑමට දීමට කැමති බවත් මස් පිලිස්සීම සඳහා ගිනි ගොඩක් ගසන ලෙස කී විට සක් දෙව් රජු ගිනි මැලයක් මවා ගිනි මැලයට පනින ලෙසත් කීයෙන් බෝසත් හාවා පිම්මේ ගිනි මැලයට පැන්න නමුත් සක්දෙව් රජු සාවා අල්ලාගෙන මුදාහැර පසුව සාවාගේ රුව තෙලිතුඩින් හඳේ ඇද තෙලිකූර විසිකළ විට තෙලිකූර නාග භවනේ පෙණය කරගෙන සිටි නාගයෙකුගේ පෙණය මතට වැටී පෙණය සිදුරු වීම නිසා නයා මැරී ගියෙන් නයි මළකුණ භූමදානය කළ තැනින් ”නාගවල්ලී” නම් වූ බුලත් උපන් බවත් නාගයෙකු විසින්ම එම බුලත බුලතේ නැට්ටෙන් හි තුඩුවෙන් අල්ලාගෙන මනුලොව ගෙන ආ බවත් කියවේ.
බුලත් විටක් කෑමට සැරසෙන පුද්ගලයෙක් බුලත් කොළයක් ගෙන එය අතින් පිසදමා එම කොළයේ අගිස්සත්, මුල ඇති නටුවත් මඳක් අතින් කඩා දමා කෑමට ගනියි. ඈත අතීතයේ පටන්ම පැරණි ගම්බද ගැමියන් විසින් එසේ කරන ලද්දේ බුලත් කොළයේ අගත්,මුලත් නාගලෝකයේ විෂ ඇතැයි යන්න ඔවුන් විශ්වාස කළ නිසාය. ඊට හේතුව වූයේ ඔවුන් විසින් බුලත් කොළයේ උපත සම්බන්ධව ගොඩනගා තිබුණු උපත් කතාවයි.

No comments:
Post a Comment