Thursday, July 4, 2019

ඔබ ඈතින් ඉන්න.....මතකෙට නෑවිත් ඉන්න.....


සඳ මඩලට හිනැහෙන්නට එපා කියන්න
වසන්තයට යළි එන්නට එපා කියන්න
මගෙ පාළුව විඳගන්නට මට ඉඩ දෙන්න
ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න....
ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න....

මතකය කියන්නෙ හරි අපූරු වචනයක්. ජීවිත කාලය පුරාවට අපි විවිධ මතකයන් හදවතේ තුරුළු කරගෙන ජීවත් වෙනවා. ඒ මතකයන්ගෙන් සමහර දේවල් ආදරණීය වෙන්න පුළුවන්. ඒත් සමහර මතකයන් ජීවිතයට ගොඩක් අමිහිරි මතකයන් වෙන්නත් පුළුවන්. ඒ කොහොම වුනත් මතකය කියන්නෙ අමතක කරන්න බැරි දෙයක්. සමහර මතකයන් කොච්චර අමතක කරන්න උත්සාහ කළත් හදවතේ කොහේ හරි තැනක ඉදන් අපිත් එක්කම ජීවත් වෙනවා කියලයි මටනම් හිතෙන්නෙ

අපි කෙනෙක්ට ආදරය කරනකොට කීයක් නම් මතකයන් අපි පරිස්සම් කරලා තියාගන්නවද? ඒ මතකයන් දිගේ කොච්චර නම් ඇවිදගෙන යනවද? දවසක ඒ ආදරය අහිමි වුනොත්? ඒ මතකයන් කොච්චර නම් අපිව රිදවනවද? මේ කියන්නෙත් ඒ වගේ ආදරයක් ගැන 

සඳ මඩල අහස පුරා හිනාවෙනකොට මට ඔයාව මතක් වෙනවා. ඒ සඳ දකිනකොට මට ඔයාට ආදරේ හිතෙනවා. අපේ ආදර මතකයන් මගෙ හදවතේ දෝංකාර දෙනවා. මට ඔයාව අයිති නෑ මට තනියම ඉන්න. දෙන්න ආයෙ මට වසන්නයක් එපා ඔයා මගෙ මතකයෙන් ඈතට යන්න.

ගං ඉවූරට මුමුණන්නට එපා කියන්න
තරු යායට ඉඟිලන්නට එපා කියන්න
මං කෙලෙසක ඒ විසිතුරු බලා හිදිම්ද
ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න....
ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න....

ඔයාගෙයි මගෙයි ආදරයේ සමරු සටහන්  තියෙන්නෙ මේ ලස්සන තරු යායෙ. ඒ තරු යාය වගේමයි ඔයා මං දිහා බලලා හිනාවෙන්නෙ. මේ ලස්සන ගං ඉවුර වගේ තමයි ඔයා මට රහස් මිමුණුවේ. මට ඔයා නැතුව මේ දේවල් දිහා බලාගෙන ඉන්න බෑ ඒ හින්දා දැන්වත් මගෙ මතකයෙන් ඔයා ඈත්වෙලා යන්න.

මද පවනට දැවටෙන්නට එපා කියන්න
මල් සුවඳට ලං වෙන්නට එපා කියන්න
මං කෙලෙසක ඒ සිහිලැල් දරා හිදිම්ද
ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න....
ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න....

මේ මද පවන එක්ක එන මල් සුවඳ මට දරා ගන්න බෑ. මල් සුවඳ එක්ක මට දැනෙන්නෙ ඔයාගෙ සුවඳ. මේ සිසිලස එක්ක මට දැනෙන්නෙ ඔයාගෙ ආදරේ. මට ඒ දේවල් අමතක කරන්න බැරි මතකයන් වෙලා. තවත් මාව රිදවන්න එපා මගෙ මතකයෙන් ඔයා ගොඩක් ඈතට යන්න.

මේ ගීතය පුරාවට තියෙන්නෙ අමතක කරන්න බැරි මතකයන් ගොඩක්. මෙහි පේ‍්‍රමවන්තයා හෝ පේ‍්‍රමවන්තිය ඉල්ලන්නෙ එකම එක දෙයයි මගෙ මතකයට ලං වෙන්න එපා කියන එක. ඒත් ඇයට හෝ ඔහුට මේ විසිතුරු අතරින් තමන්ගෙ ආදරය මතක් වෙනවා. ආදරණීය මතකයන්ගෙන් දුරස් වීම ලේසි දෙයක් නෙමෙයි. කොච්චර උත්සාහ කළත් සමහරවිට කරන්න බැරි දෙයක් අමතක කරන්න බැරි හරි අපූරු ආදරයක් තමයි මේ ගීතයට තේමා වෙලා තියෙන්නෙ. සමහර විට මේක ඒකපාර්ශවීය ආදරයක් වෙන්නත් පුළුවන්. එහෙම ආදර කතා කීයක් නම් මේ මහපොළවෙ නිදන්ගත වෙලා ඇත්ද?

බිදී ගිය ආදරයක මතකයන්ද සිතින් බිද දැමීමට හැකිනම් මෙවන් සුන්දර ගීත බිහිවෙන්නෙ නැහැ අපි හැමෝටම එහෙමයි. ආදරණීය මතකයන් විඳින ගමන් ඔබට අමිහිරි මතකයන් තුළින් යළි ජීවය ලබන්නට පුළුවන් නම් ජීවිතේ ගොඩාක් සුන්දර මතකයක් වේවි. ඒ මතකයන් ජීවිතයට හරි අපූරු රහක් එකතු කරාවි. ඒ මතකය දිගේ ඇවිදගෙන යන වෙලාවක මේ ගීතය ඔබට ඇසුනොත් එය අපි කාටත් පොදු හැගීමක් බව ඔබට සිහිපත් වේවි. 

ගීතය පද රචනය ආනන්ද ජයවික‍්‍රම විසින් ගීතය සංගීතවත් කළේ ශාන්ත ජයලත් තිසේරා ගීතය ගායනය සෝමතිලක ජයමහ විසින් 




No comments:

Post a Comment