Sunday, April 28, 2019

උඩරට නර්තන සම්ප‍්‍රදායට අයත් වන්නම් කෙරෙහි බලපෑ අන්තර් සංස්කෘතික ලක්ෂණ

උඩරට නර්තනයේ ආරම්භය සිදුවූයේ ලංකාවේ මධ්‍යම කඳුකර ප‍්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින්ය. සිංහල නැටුම් සම්ප‍්‍රදායන් අතරින් ප‍්‍රධානතම නර්තන සම්ප‍්‍රදාය ලෙස මෙය හඳුනාගත හැකිය. 19 වන සියවස අගභාගය වන තෙක් පිරිමින්ට පමණක් සීමා වූ මෙම සම්ප‍්‍රදාය ඉන්පසු කාන්තාවන් අතරටද ගමන් කළේය.මෙම නැටුම් ප‍්‍රචලිත වූයේ මහනුවර, උඩුනුවර, යටිනුවර, හත්කෝරළේ, හතර කෝරළේ, දුම්බර, හාරිස්පත්තුව යන ප‍්‍රදේශ ආශි‍්‍රතවය.

වන්නම් යනු එක් එක් අප‍්‍රාණික හා සප‍්‍රාණික වස්තූන් පිළිබඳ කෙරෙන වර්ණනා ඇතුළත් උඩරට නැටුම් කලාවේ ඉතා ප‍්‍රසිද්ධ අංගයකි. වර්ණ යන්න කේරළ ද්‍රවිඩ වචනයෙන් බිඳී ආ එකකි. වන්නම් ශ්‍රී වීරපරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ කාලයේ ගණිතාලංකාර නම් ඉන්දියානු පඬිවරයෙකු විසින් නිබන්ධනය කර ඇති බවද ඒ සඳහා මල්වතු විහාරවාසී භික්ෂුවකගේ සහාය ලැබී ඇති බවද සඳහන් වේ. තවත් මතයක් වන්නේ  ගණිතාලංකාර බමුණු පඬිවරයා වෙත පඬුරු පාක්කුඩම් යවා ලංකාවට ගෙන්වා ගත් නෙතර්මාලය නම් කෘතිය ඇසුරෙන් මල්වතු විහාරවාසී හිමිනමක් විසින් රචිත බවයි. ඉන්දියානු මහා සම්ප‍්‍රදායන්ගෙන් එකක් ලෙස සැලකෙන භරත නාට්‍යයේ එන වර්ණම් ආශ‍්‍රයෙන් සිංහල වන්නම් රචනා වූ බවටද මතයක් ඇත. මෙම මතවලින් පැහැදිලි වන්නේ බෞද්ධ ආභාෂය මෙන්ම භාරතීය සංස්කෘතියේ ආභාෂයද උඩරට වන්නම් රචනයේදී ලැබී ඇති බවයි.

වන්නම් 18ක් නිර්මාණය වීම පිළිබඳවද අන්තර් සංස්කෘතික ලක්ෂණ බලපා ඇත. ඉන්දියාවේ මෙන්ම ලංකාවේද 18 සුබ සංඛ්‍යාවක් ලෙස පිළිගැනෙයි. දේශීය වශයෙන් ගත්කල බුද්ධ ප‍්‍රතිමා නිර්මාණයේදී දහඅට රියන් ලෙසද ශාන්ති කර්මවලදී දහඅට සන්නිය ලෙසද ග‍්‍රන්ථ රචනයේදී දසට පුරාණ ලෙසද කුල ගෝත‍්‍ර දැක්වීමේදී දහඅටක් වනක් ලෙසද තවද දහඅට දේශය, දසට භාෂා, අෂ්ඨ දස ශීලය, දසඅට යොදුන්, දහඅට දහසක් ලෙසද පොතපතෙහි මෙන්ම ජනවහරෙහිද සඳහන්  වන්නේ මේ හේතුවෙනි.

දකුණු  ඉන්දියාවේ පාණ්ඩ්‍ය දේශයේ චූලකෘති දසඅට නමින් පොතක් තිබී ඇත. කේරළයේ දහඅට විද්‍යා නමින් ග‍්‍රන්ථයක් රචනා වී ඇත. කර්ණාටක ප‍්‍රාන්තයේ කිලක් කනත්තු දහඅට නමින් උපදේශ ග‍්‍රන්ථාවලියක් හමුවී ඇත. මේ හේතු සාධක නිසා මෙම රටවල් දෙකෙහිම 18 යන සංඛ්‍යාවට විශේෂ ස්ථානයක් හිමිවී ඇත. දකුණු ඉන්දියාව තුළ වන්නම් 18 ක් පැවති බව නීලකණ්ඨ ශාස්ත‍්‍රි මහතා ඔහුගේ දකුණු ඉන්දියා ඉතිහාසය පොතෙහි දක්වා ඇති බව එස් කුලතිලක මහතා පෙන්වා දෙනු ලබයි.

උඩරට වන්නම්වල භාෂාව විමසීමේදී විවිධ සංස්කෘතීන්ගේ ලක්ෂණ දැකගත හැකිය. ද්‍රවිඩ වචන, තෙලිගු වචන, සංස්කෘත වචන, වියත් සිංහල බස, ගැමි ව්‍යවහාරික බස, වියත් බසෙහි ඇතැම් රීතීන් බිඳහැර තමාගේම ආකෘතියකට රචනා කිරීම ආදී භාෂා රටා ප‍්‍රමුඛව දැකගත හැකිය. නිදසුන් ලෙස මුසලඩි වන්නම, මුසල් + අඩි යන තෙලිගු වචන යුගලය සන්ධි වීමෙන් නිර්මාණය වූ පදයකි. මුසල් යන පදය ද්‍රවිඩ බසෙහි සාවා යන අරුත ගෙන දෙයි. නෛඅඩි යන වචනය නාගා යන ද්‍රවිඩ වචනයෙන් සිංහලයට තත්භව වූ නයි යන වචනයට අඩි යන තෙලිගු පදය එක් වීමෙන් නිර්මාණය වී ඇත. හනුමා යන්නද ද්‍රවිඩ හනුමාන් යන වචනයේ තත්සම යෙදුමකි. වෛරෝඩි යන වචනය සංස්කෘත බසෙහි එන වෛදුර්ය යන ශබ්දයෙන් තෙලිගු හා දෙමළ භාෂාවට එක් වු වචනයකි.

සිංහරාජ වන්නමේ ප‍්‍රස්තුතය පැරණි ජන කතාවක් තේමා කරගෙන ඇත. එනම් අප කුඩාකල සිට අසා තිබෙන වයසක සිංහයෙක් ගොදුරු සොයා ගැනීමට අපහසු නිසා තමාගේ ගොඳුරු පිණිස වනාන්තරයේ සතුන් උපායශීලීව තම ගුහාව වෙත ගෙන්වා ගැනීමේ කතාන්දරයයි. බොහෝ අවස්ථාවල ගැමි සමාජය තුළ දකින උපදේශනය වන්නම් තුළ දැකගත හැකිය. මේ උඩරට වන්නම් තුළ ඇති ගැමි සංස්කෘතික ආභාසයයි. ගාහක, සැවුලා, වෛරෝඩි, මයුරා, සුරපති, ගණපති, ආදී වන්නම් දේවකතා ආශ‍්‍රිතව ගොඩනගා ඇති නිසා හින්දු සංස්කෘතික ලක්ෂණවලට සමීප වේ.

හින්දුන්ගේ ශුද්ධ වස්තුවක් වශයෙන් සැලකෙන ගංගා නම් ගගෙහි ජලය දක්ෂිණාවෘත්ත සංඛයෙන් ගෙන රජුන් නැහැවීම පැරණි රජ දරුවන් අභිෂේක කිරීමේදී යොදාගත් අනිවාර්ය චාරිත‍්‍රයකි. සංස්කෘත භාෂාවෙන් දක්ෂිණාවෘත සංඛයට ගාහක යන නම ව්‍යවහාර කෙරේ. රාජාභිෂේකයට මුල් වූ දක්ෂිණාවෘත මංගල සංඛය මුල්කොටගෙන ගාහක වන්නම සකස් වී තිබේ.

මංගල සංඛ නාදයෙන් සෑම සුභ කටයුත්තක්ම ආරම්භ කිරීම පැරණි දේශීය චාරිත‍්‍රයයි. හක්ගෙඩියේ නාදය උස්පහත් වෙමින් නැගෙන ආකාරය හා පැතිර යන ආකාරය මෙම වන්නමෙන් මූර්තිමත් වේ. එහෙයින් වන්නම් පටුන සැකසීමේදී ආරම්භක වන්නම ලෙස මෙය යොදාගෙන ඇත. සක‍්‍ර යනුවෙන් වන්නම ආරම්භයේදී ගැයෙන පදය බෞද්ධ සාහිත්‍යයේ එන සක් දෙවිඳුන් හැඳින්වීමට යොදයි.  එහෙයින් ලාංකීය සංස්කෘතික ආභාසය මෙන්ම භාරතීය ආභාසයද මෙම වන්නම කෙරෙහි බලපා ඇත. 

සැවුලා වන්නම ස්කන්ධ පුරාණයේ එන සුර අසුර යුද්ධයේදී ස්කන්ධ කුමරුන්(කඳ කුමරු* විසින් තාරක නම් අසුරයා දෙපලූ කොට මැරීමේ පුවත පසුබිම් කොටගත් නිසා හින්දු දේව සංකල්ප මත පදනම් වේ. සැවුලා යන පදය ෂාවල් යන ද්‍රවිඩ පදයෙන් උපන් සිංහල තත්භවයකි. වෛරොඩි වන්නම ඉසුරු හා කෙහෙතු යන චරිත වටා ගෙතී ඇති නිසා හින්දු සංකල්ප හා සම්බන්ධ වේ. හින්දු ආගම මගින් සමාජය කෙරෙහි ඇතිකල බලපෑම මෙමගින් පැහැදිලි කරයි. මයුරා වන්නම කතරගම දෙවිඳුන්ගේ වාහනය වන මොණරා පිළිබඳ සිහිපත් කරයි. සුරපති වන්නම ඊශ්වර හා උමයංගනාව අතර පේ‍්‍රමය අලලා කෙරෙන ඊශ්වර දෙවි පිළිබඳ වර්ණනයකි. ගණපති වන්නමෙන් ගණ දෙවිඳුන් ගැන විස්තර වේ . මේ සියලූ දෙවිවරුන් හින්දු සංස්කෘතිය හා සම්බන්ධ වේ.
තුරඟා වන්නම සිදුහත් කුමරුන් ගිහිගෙයින් නික්මීම හෙවත් මහා අභිනිෂ්ක‍්‍රමණය පිළිබඳව සිහිපත් කරයි. ගජගා, ඊරඩි, උදාර යන වන්නම් පැරණි සිංහල ග‍්‍රන්ථවල වෘත්තාන්ත අනුව සැකසී ඇත. තවද ගජගා වන්නමෙන් දළඳා කරඬුව හිස මත තබාගෙන ගමන් කරන මංගල හස්ති රාජයාගේ ගමන් විලාශය  නිරූපණය කරයි. සරත් විජේවර්ධන මහතා පෙන්වා දෙන්නේ මේ සියල්ල චිරන්තන සිංහල සාහිත්‍යයේ ආභාසය ලබා ඇති බවයි. උරගා වන්නම ජන සංස්කෘතියෙන් උපත ලබා ඇත. එය ”නයි පොළොන් වෛරය” ඇතිවූ ජන කතාව සිහිපත් කරයි. උකුසා, මුසලඩි, කිරලා, හනුමා යන වන්නම් ගැමි පරිසරයේ නිරන්තර දක්නට ඇති සතුන්ගේ හැසිරීම් තාත්වික ලෙස පෙන්නුම් කරයි. අසදෘස වන්නමේ ආරම්භයේදී ත‍්‍රිවිධ රත්නයට වැඳ නමස්කාර කරන නිසා බෞද්ධ ලක්ෂණ පෙන්නුම් කලද එහි අන්තර්ගතය තුළ හින්දු ආගමික තොරතුරු විස්තර වේ. නෛඅඩි වන්නම භූරිදත්ත ජාතකය පදනම් කර ගනිමින් අප බෝසතුන් එක් කලෙක නාග  ලෝකයේ ඉපිද බොහෝ දුක් ගැහැට විඳිබව පෙන්නුම් කරයි.

ඇතැම් වන්නම්වල නාද මාලාව දකුණු ඉන්දියානු ජන සංගීතයෙන් ආභාසය ලබා ඇති බව සරත් විජේවර්ධන මහතා පෙන්වා දෙනු ලබයි. ඇතැම් නාදමාලා සිංහල ගැමි නාදමාලා අනුව සකස් වී ඇත. නිදසුනක් ලෙස උදාර වන්නමේ නාද මාලාව පාරම්පරික නෙලූම් ගීතයකට අයත් නාද මාලාවක් අනුව සකස් වී ඇත. වන්නම් සංගීතය ගත්කල එය මහනුවර සමයේ සිංහල ජන ගැයුම්වල මෙන්ම ද්‍රවිඩ ගැයුම්වලද එකතුවක් බව සඳහන් වේ. මේ අනුව පැහැදිලි වන්නේ උඩරට වන්නම් 18 නිර්මාණය වීම උදෙසා විවිධ සංස්කෘතික ලක්ෂණ බලපා ඇති බවයි.

ආශ‍්‍රිත මූලාශ‍්‍ර
උඩරට නැටුම් කලාව, ජේ.ඊ සේදරමන්
සිංහල නර්තන කලාව, මහාචාර්ය මුදියන්සේ දිසානායක
වන්නම් ගීත සාහිත්‍ය විචාරය, ඥානසිරි පීරිස්, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව                                                 

No comments:

Post a Comment