Tuesday, May 7, 2019

කළු කුමාර සංකල්පය

  
යක්ෂයන් පිළිබඳව විවිධ විශ්වාසයන් අපේ පැරණි ජන සමාජය තුළ ගැමියන් අතර පැවතුණි. කළු කුමාරයා යනු ඔවුන් අතර පැවති තවත් එක් විශ්වාසයකි. කළු යකා සහ කළු කුමාරයා යනු දෙදෙනෙකු යැයිද මතයක් වේ. තවත් මතයක් අනුව කළු කුමාරයා යනු කළු යකාගේම අවතාරයකි. සත් සමුදුරින් එතෙර කළු ගල්දුව නැමැති ස්ථානයක මා ඉලූක් රන් විමනක කරඬුබානා නැමැති බිසවකට දාව කළු කුමරුගේ උපත සිදුවු බව සඳහන් වේ. ඈත අතීතයේ සිටම ස්ත‍්‍රීන්ට විශේෂයෙන්ම ගර්භනී කාන්තාවන්ට වෛර කරන මෙම යකා ගබ්සා කිරීමත්, ස්ත‍්‍රීන් වඳ භාවයට පත් කිරීමත් කරන බව ගැමියන් විශ්වාස කළෝය. ඒ බව මෙමගින් කියැවේ.

”දහ අට මායමට
උන හිසරද හදන්නට 
බිළිඳුන් නසන්නට
ගතිය ඒ කළු වරම් පෙර සිට” 

කළු කුමාර බැල්ම හෙලනු  ලැබූ කාන්තාවකගේ ශරීරය වැහැරීම නියතය. ඒ හැර ඔල්මාද විකාර ගති ස්වරූපයක්ද ඔවුන් තුළ ඇතිවේ. විශේෂයෙන්ම විකාර බස් දෙඞීම වැනි දේ කරනුයේ පිරිතක් හෝ බෙර හඩක් ඇසෙන විටය. තවද සිහිනෙන් මළ දරුවන් මෙන්ම කහ පාට, කළු පාට දරුවන් පෙනීම වැනි විෂමාචාර ලක්ෂණ කළු කුමරුගේ බලපෑම මත ඇති කරනු ලැබේ. මෙසේ කාන්තාවන්ට බැල්ම හෙලීම සඳහා කළු කුමාරයාට සුදුසු අවස්ථා සහ ස්ථානද වේ. පාලූ මං පෙත්, සොහොන් බිම් වැනි ස්ථාන මෙන්ම ඒ සඳහා ගොම්මන් වේලාව වැනි අවස්ථාද ඇත. අතීත ගැමියන් වැඩිවිය පැමිණි තරුණියන්ට ගොන්මන් යාමයේ ගමන් බිමන් යාමේදී විවිධ තහංචි පනවන ලද්දේ  එම තරුණියන්  කළු කමාර දෘෂ්ටියට හසු වේ යැයි බියෙනි.   එලෙසම ගස් ගෙඩි කැඞීම, ළඳු කැළෑ, තනිමඟ, කඩුල්ල, හන්දි, පිට්ටනි, කමත වැනි තැන්වල වීණා වාදනය කරන අවස්ථා වලද මෙම යකාගේ දිෂ්ටියට ලක්වේ.තවද ළිං, ඇළවල්, පීල්ල, ගං ඉවුරු, වැව් ඉවුරු වැනි ජලස්නානය කරන ස්ථානවල හෝ දිය පිරි කළ උකුළේ තබාගෙන එන විටද මෙම දෝෂය ඇතිවිය හැකිය. 

මෙම යකාට අත් හතරක් ඇති බව යකැදුරන්ගේ මතයයි. ඉන් දෙකක ඇතුන් දෙදෙනෙකි. එක් අතක කුකුළෙකි. හිසෙහි නයි පෙණ තුනක් ඇත. තවත් මතයක් අනුව මෙම යකාට අවතාර හතකින් පෙනී සිටිය  හැකිය. මෙම යකාගෙන් ගර්භනී කතුන්ට සිදුවිය හැකි අපල උපද්‍රව භයානක බැවින් කාන්තාව ගැබ්ගත් මොහොතේ සිට භාරහාර වීම තවමත් ගැමි සමාජයේ සාම්ප‍්‍රදායිකව පවතියි. බලි තොවිල් හා ශාන්තිකර්ම තුළින් කළු කුමාර දෝෂය  නොහොත් තනිකම් දෝෂය පලවා හැරිය හැකි බව ගැමියන්ගේ විශ්වාසයයි.

අදටත් විද්‍යාත්මකව තහවුරු කළ නොහැකි මෙම සංකල්පය හරහා කාන්තාවගේ ආරක්ෂාව වෙනුවෙන් බොහෝ තහංචි ඇති කරනු ලබයි. එලෙසම ප‍්‍රබල මනෝ විද්‍යාත්මක හරයක්ද මේ තුළ ගැබ්ව ඇත. මෙහි සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත් අපුර්ව, නිර්මාණාත්මක ලක්ෂණ ප‍්‍රකට කරන ජනශ‍්‍රැතියක් වශයෙන් මෙය හඳුනාගත හැකිය. විවිධ නිර්මාණයන් උදෙසා මෙම සංකල්පය වර්තමානයේදීද භාවිත වන අතර ජයන්ත චන්ද්‍රසිරි විසින් අධ්‍යක්ෂණය කරන ලද ඝරසරප සිනමා නිර්මාණය මෑත කාලීනව මෙම සංකල්පය හරහා බිහි වූ එක් සොඳුරු නිර්මාණයකි.  
  



No comments:

Post a Comment