Friday, May 31, 2019

ජනප‍්‍රිය සංස්කෘතිය

  
ජනප‍්‍රිය යන්නෙහි අර්ථය ජනයා අතර ප‍්‍රිය වූ හා ජනයා සමඟ වැඩෙන වශයෙන් සරලව අර්ථ දැක්විය හැකිය. 14 හා 16 වන සියවස්  අතර කාලයේ පුරාණ ගී‍්‍රසියේ පුනුරුද යුගයේ සිට ජනප‍්‍රිය සංස්කෘතිය යන්න හඳුනාගෙන තිබේ. 19 වන සියවසේදී  ව්‍යවහාරයට එක් වූ  ජනප‍්‍රිය සංස්කෘතිය කාර්මීකරණය, නාගරීකරණය හා ගෝලීයකරණය  සමඟ ප‍්‍රචලිත විය. 20 වන සියවස වන විට  එය වඩාත් ප‍්‍රචලිත විය. 

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් ”ජනප‍්‍රිය සංස්කෘතිය යනු ජනමෝහනීය සංස්කෘතියයි” යනුවෙන් දක්වා ඇත. නූතන කලා විචාරකයන්ට අනුව ”ජනප‍්‍රිය සංස්කෘතිය යනු බහුතර ජනතාවගේ සංස්කෘතිය වේ
.” බටහිර කලා විචාරකයන්ට අනුව ”ජනප‍්‍රිය සංස්කෘතිය සමාජයේ ජීවත්වන සියලූ දෙනාගේ සංස්කෘතිය වේ.” අතීතයේදී ජනප‍්‍රිය  සංස්කෘතිය යන්න අර්ථකථනය කළේ  එය සමාජයෙන් වෙන් වූ සීමිත වූත්  ජන කොටසක් අතර පැතිර ගිය  සංස්කෘතියක් ලෙසය. එහෙත් වර්තමාන අවධිය වනවිට  එහි අර්ථය පුළුල් වී තිබේ. සංස්කෘතිය තුළ බිහිවුණු නව ප‍්‍රපංචයක් ලෙස ජනප‍්‍රිය සංස්කෘතිය හඳුනාගත හැකිය.

වත්මන් ලෝකයේ ජනප‍්‍රිය වූ සංස්කෘතික චර්යාවන්  ව්‍යාප්ත වී තිබේ. ඒ වටා බිහිවන ජනප‍්‍රිය අංගයන් මිනිසා මිලදී ගන්නා දේ, ඇදහිලි විශ්වාස, හිතන දේ ඔස්සේද ව්‍යාප්ත  වී ඇති සේයාවක් දිටිය හැකිය. බටහිර ලෝකයේ  ජනප‍්‍රිය සංස්කෘතිය ඔස්සේ නව සංස්කෘතික රටාවන් බිහි වී තිබේ. ඇමරිකාව, ලතින් ඇමරිකාව, ප‍්‍රංශය, සෝවියට් දේශය වැනි රටවල බිහිවුණු තරුණ නැගිටීම් නිසා තරුණයින්ගේම චාරිත‍්‍ර සම්ප‍්‍රදායන් බිහිවීම තුළින් ජනප‍්‍රිය සංස්කෘතිය බිහි වී තිබේ.

ඉතිහාසය විමසන විට හැම සමාජයකටම ආවේණික ජනප‍්‍රිය සංස්කෘතියක් තිබී ඇත. අද දවසේ ජනප‍්‍රිය සංස්කෘතිය, ජනතාව විසින්  නිෂ්පාදනය කළ දෙයක් වන අතර  එය මහා පරිමාණයෙන් පැතිර යන්නේ ජන මාධ්‍ය කරණකොට ගෙනය. ජනප‍්‍රිය සංගීතය, බාල කඩදාසියේ මුද්‍රිත නවකතා, ටෙලි නාට්‍ය, වීඩියෝ සිනමා පට, නව පන්නයේ කලිසමක සිට ඉවතලන රේසරය දක්වා නිෂ්පාදිත දැන්වීම් සමුදාය ආදියෙන් අපගේ දිනපතා පරිසරය සැකසී තිබේ. මෙබඳු ක්ෂණිකව හඳුනාගත හැකි සංකේතවලින් නූතන ජනප‍්‍රිය සංස්කෘතිය සෑදී ඇත. ජනප‍්‍රිය සංස්කෘතිය ජනයා විසින් නිර්මාණය කරන ලද්දක්ද, ජනමාධ්‍යවල නිර්මිතයක්ද යන්න නිසැකව නිර්වචනය කළ නොහැක්කේ හැම විටම එය එකිනෙකට වෙනස්ව අන්තර් පෝෂණය වන බැවිනි. ජනප‍්‍රිය සංස්කාතිය මාධ්‍ය සංස්කෘතිය සමඟ අත්‍යන්තයෙන්ම බැඳී පවතී. මෙහි ප‍්‍රධාන ලක්ෂණය වනුයේ ග‍්‍රාහකයා ඉතා ඉක්මනින් ඇඳ බැඳ තබා ගැනීමයි. ජනප‍්‍රිය සංස්කෘතිය දිගු කාලීන මෙන්ම  කෙටි කාලීනද වේ. ජනප‍්‍රිය සංස්කෘතිය වෙත ඉක්මනින්ම ආකර්ෂණය වනුයේ  කාන්තාවන්, ළමුන් හා තාරුණ්‍ය වේ. සෑම විටම ජනප‍්‍රිය සංස්කෘතියට පදනම් වන්නේ සමාජ සංස්කෘතික මිථ්‍යාවන් හා ජනප‍්‍රවාදයන්ය.
ජනප‍්‍රිය සංස්කෘතිය යන්න පොදු ජන විඥානය මෙහෙයවන නව හෙජමනියක් ලෙස ජන මාධ්‍ය ක‍්‍රියාත්මක කරයි. එය විවිධ පුද්ගල හා ව්‍යාපාරික අපේක්ෂාවන් මත පදනම්ව බිහිව ඇති සංස්කෘතික කර්මාන්තයකි. ජන විඥානයට නව අංග හඳුන්වා දෙන නමුත් එම නව අංග පුද්ගල චර්යාවට නිශේධනාත්මකව බලපෑ හැකිය. භාණ්ඩ හා සේවා මූලික කරගත් වාණිජකරණය තුළ සංස්කෘතික නිෂ්පාදන සියල්ල බහුජන මාධ්‍ය විසින් ජනප‍්‍රිය සංස්කෘතික අංග බවට පත් කරයි.    

Saturday, May 25, 2019

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත පිළිබඳ ඔබ දැනුවත්ද?


තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යනු, යම් පොදු අධිකාරියක් විසින්  තම සන්තකයේ රඳවා ගනු ලැබ ඇති තොරතුරු කරා ප‍්‍රවේශ වීමට පුරවැසියන්ට හිමිකම ලබා දෙන්නා වූ අයිතිවාසිකමකි. 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත මගින් ජනතාවට තොරතුරු වෙත ප‍්‍රවේශ වීමට නීතිමය විධිවිධාන සලසා ඇත. තොරතුරු දැනගැනීමේ අයිතිය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය මගින් සහතික වුවද එය යථාර්ථයක් ලෙස භුක්ති විදීමට පුරවැසියන්ට අවස්ථාව ලැබෙන්නේ තොරතුරු දැනගැනීම පිළිබඳ නීතියක් පාර්ලිමේන්තුව විසින් සම්මත කළ පසුවය.

තොරතුරු ලබා ගැනීමේ පනතේ මූලික කොටස්

  • මහජනතාවට ලබාදෙන නිළ තොරතුරු සඳහන් ප‍්‍රතිපාදන
  • ලබානොදෙන තොරතුරු  සඳහන් ප‍්‍රතිපාදන
  • තොරතුරු ලබාදීමේ ක‍්‍රමවේදය පිළිබඳ විධිවිධාන
  • අදාල ක‍්‍රමවේදය මගින් තොරතුරු නිසි පරිදි නොලැබෙන විට අභියාචනා කිරීමේ මණ්ඩලය       

තොරතුරු ලබා ගැනීමේ ක‍්‍රියාපටිපාටිය   
සෑම පොදු අධිකාරියක්ම තොරතුරු නිළධාරියෙකු හා අභියාචනා විභාග කිරීම සඳහා නිළධාරියෙකු පත් කරයි. ඔවුන් වෙතින් ජනතාවට තොරතුරු ලබාගත හැකිය. තොරතුරු ලබා ගැනීම සඳහා දැරිය යුතු වියදම හා ආකෘති පිළිබඳ තොරතුරු කොමිසම විසින් 2017 පෙබරවාරි 3 වන දින ගැසට් පත‍්‍රයේ පලකර ඇත.
තොරතුරු ලබාදීම ප‍්‍රතික්ෂේප කළ අවස්ථාවකදී අතෘප්තිමත්වන පුරවැසියෙකුට පිළිවෙලින් අභියාචනා විභාග කිරීමේ නිළධාරියාට හා තොරතුරු කොමිසම වෙත අභියාචනා කළ හැකිය. තොරතුරු කොමිසමේ තීරණයෙන් තෘප්තිමත් නොවන ඉල්ලූම්කරුවෙකුට අභියාචනාධිකරණයට අභියාචනාවක් කළ හැකිය.       
මෙම තොරතුරු දැනගැනීමේ පනත මගින් 5 වන වගන්තියේ විධිවිධානවලට යටත්ව පොදු කටයුතු සිදුකරන ආයතනවල සන්තකයේ, භාරයේ හෝ පාලනයේ ඇති තොරතුරු සම්පූර්ණ වශයෙන් හෝ කොටස් වශයෙන් ලබා ගැනීමේ හැකියාව ඇත. ඒ අනුව,
  1. අමාත්‍යාංශ
  2.  දෙපාර්තමේන්තු
  3.  සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල
  4.  පළාත් පාලන ආයතන
  5.  25%කට වඩා කොටස් රජයට හිමි සමාගම්
  6.  මහජන කාර්යයන් පිළිබඳව රජය සමග ගිවිසුමකට එළඹ ඇති පෞද්ගලික ආයතන
  7.  රාජ්‍ය නොවන සංවිධාන වෙතින් පුරවැසියන්ට තොරතුරු ඉල්ලා සිටිය හැකිය.

තොරතුරු ලබා ගැනීම හා සම්බන්ධ විවිධ අයදුම්පත‍්‍ර හා ලිපි      
  1. තොරතුරු ලබා ගැනීමේ අයදුම් පත‍්‍රය
  2.  තොරතුරු ඉල්ලීම ලැබුණු බව දැන්වීමේ ලිපිය 
  3.  තොරතුරු ඉල්ලීම් ලියාපදිංචි ලේඛනයට ඇතුළත් කිරීම
  4.  තොරතුරු ඉල්ලීම භාරගත් බව දැන්වීමේ ලිපිය 
  5.  තොරතුරු ඉල්ලීම ප‍්‍රතික්ෂේප කිරීමේ ලිපිය 
  6.  තොරතුරු ලබාදීමේ කාලය දීර්ඝ කිරීමේ ලිපිය 
  7.  රහසිගත තොරතුරු සම්බන්ධ ඉල්ලීම් පිළිබඳ ලිපිය 
  8.  තොරතුරු ඉල්ලා සිටීම පිළිබඳ අභියාචනා ලද බව දැන්වීමේ ලිපිය 
  9.  අභියාචනා ලේඛනයට ඇතුළත් කිරීම
  10.  නම්කළ නිළධාරියා වෙත අභියාචනා අයදුම් පත‍්‍රය යොමුකිරීම
  11.  ප‍්‍රතික්ෂේප විස්තර ලේඛන

තොරතුරු ලබා ගැනීම වෙනුවෙන් අනුගමනය කළ හැකි පියවර  
 

  • තොරතුරු ඉල්ලීමේ අයදුම්පත සකස් කිරීම
  •  අදාළ තොරතුරු ඇති ආයතනය තෝරා ගැනීම
  •  ආයතනයේ තොරතුරු නිළධාරියාට අයදුම්පත භාරදිම
  •  තොරතුරු ලබා දෙන හෝ නොදෙන බව දින 14 ක් තුළ අදාළ පුද්ගලයාට ආයතනය මගින් දැන්වීම
  •  තොරතුරු ලැබේනම් අදාළ ගාස්තුව ගෙවිය යුතුය
  •  ගාස්තු ගෙවා දින 14කින් තොරතුරු ලැබෙයි
  •  තොරතුරු නොලැබුණහොත් අභියාචනා පත‍්‍රයක් සැකසිය යුතුය
  •  දින 14 ක් තුළ අභියාචනා පත‍්‍රය අදාළ ආයතනයේ නම්කළ නිළධාරියාට භාරදිය යුතුය
  •  නම් කළ නිළධාරියාගේ තීරණය පිළිබඳ නොසෑහේ නම් මාස 2ක් තුළ තොරතුරු කොමිසමට       අභියාචනයක් ඉදිරිපත් කිරීමට හැකිය
  •  තොරතුරු කොමිසම එම ඉල්ලීම නොපිළිගනී නම් මාසයක් තුළ අභියාචනාධිකරණයට යා හැකිය                 



    


Monday, May 20, 2019

පත්තිනි ඇදහිල්ල

   
පත්තිනි දෙවියන්ගේ උපත පිළිබඳව සඳහන්වන ප‍්‍රධාන මූලාශ‍්‍රයක් වන්නේ සුළු සිද්ධ වේර කවියෙකු වන ඉලන්තෝ අඬිගල් විසින් රචිත සීලප්පදිකාර් හෙවත් සළඹේ කතාව නැමැති කාව්‍ය ග‍්‍රන්ථයයි. එහි සඳහන් වන ආකාරයට ගජබා රජු සොලී රටට ගොස් මෙරටට පත්තිනි දේවියගේ පා සළඹ  රැගෙන ආ පුවතත් එම පා සළඹ තැන්පත් කර පත්තිනි දෙවියන් වෙනුවෙන් දේවාළයක් තනා ඇසළ පෙරහැර පැවැත්වූ බවත් සඳහන්ව ඇත. මෙම දේවාලය නවගමුවේ ඓතිහාසික පත්තිනි දේවාලය බව ඉතිහාස කතාවයි. මේ පිළිබඳව තවත් ඓතිහාසික මූලාශ‍්‍ර ඇති අතර රාජාවලිය, පූජාවලිය සහ පැරකුම්බා සිරිත වැනි ග‍්‍රන්ථයන්ද මේ අතර දැකගත හැකිය. මෙම දේව ඇදහිල්ල ශ්‍රී ලංකාවේ ආරම්භ වීම තුළින් මෙරට ජන සමාජයට ඉතා වැදගත් කරුණු බොහොමයක් මෙන්ම හුරු පුරුදු රැසක්ද දායාද වී ඇත.

කාන්තාව සතු වටිනාම දේ වන්නේ ඇයගේ පතිවතයි. මෙය උතුම් දහමකි. එම උතුම් දහමේ වටිනාකම කෙරෙහි මහත් බලපෑමක් ඇති කරන ලද්දේ මෙම දෙවඟන හා සබැඳි කතා පුවතයි. එහෙයින් විශේෂයෙන්ම පෙරදිග රටවල කාන්තාවන්ගේ ආදර්ශය බවට පත්වූ විශේෂ චරිතයක් වන්නේ පත්තිනි දෙවඟනයි.

පත්තිනි දෙවියන් දේවත්වයට පත් වීමට පෙර සොලී රටේ ”කන්නගී” නම් කාන්තාව වුවාය. ඇයගේ සැමියා වූ ”කෝවලන් ” නොකළ වරදකට මධුරාපුර රජු විසින් මරා දැමීම හේතු කොටගෙන තම වම් පියයුර කඩා පොළවේ ගසා තමන්ගේ පතිවෘතා බලයෙන් මුළු මධුරාපුරයම ගිනිලවන මෙන් ශාප කළ අතර එම ගිනි ලෑමෙන් දරුවන්, රෝගීන්, ගැබිනි මව්වරුන් හා  සතුන් බේරන ලෙසද ප‍්‍රාර්ථනාවක් කළාය. මධුරාපුරය පුරා ගිනි ගන්නා විට එම ගින්න නිවා දමන මෙන් රජු ඇයගෙන් ඉල්ලීමක් කොට තිබේ. නැවුම් එළදෙනකගේ නැවුම් කිරි මුළු මධුරාපුරයේම ඉසීම හේතුවෙන් ගින්න නැවතුන බව ඉතිහාසයේ සඳහන් වේ.

කිරි ඉතිරවීමේ චාරිත‍්‍රය ජන සමාජයට එක් කරලීම සඳහා ඉහත කතා පුවත හේතු වී ඇත. නව වසර ආරම්භය, අලූත් අවුරුදු උදාව, නව නිවසකට ගොඩ වැදීම ආදිය තුළ මෙම චාරිත‍්‍රය දක්නට ඇත. ගැබිනි මව තම කුසේ සිටින දරුවා ආරක්ෂා කර දෙන මෙන් ඉල්ලා සිටින්නේ මෙම දෙවියන්ගෙන්ය. රෝගීන්ද පිහිට පතන්නේ මෙම දේව මෑණියන්ගෙනි. කිරි අම්මාවරුන්ගේ දානය, පඬුරු බැදීම ආදිය සිදු කරනුයේ මේ උදෙසාය. මේ සියල්ල මධුරාපුරයේ ගිනිලෑමට සම්බන්ධය.
තවද කී‍්‍රඩාව මිනිසාගේ නිරෝගීභාවයට ඉතාම වැදගත් දෙයකි. මේ අනුව පත්තිනි ඇදහීම සම්බන්ධව ක‍්‍රීඩා 64 ක් ඇති බව පත්තිනි පුරා කතාවන්ගෙන් පැවසෙයි. අං කෙළිය, ඔලිිද කෙළිය, සොකරි නැටීම, පොල් කෙළිය, ගුඩු ගැසීම, තට්ටු පැනීම ඒ අතර වෙයි. දෙවියන්ගේ ලෙඩ යැයි විශ්වාස කරන වසංගත රෝග 64 ක් ඇති බවද සඳහන්ය. 

පත්තිිනි මෑණියන්ගේ පිහිට සතා සීපාවටද නොඅඩුව ලැබෙන බව තහවුරු වන එක් අවස්ථාවක් වන්නේ  ගොනුන් පිට සධාතුක කරඬුව සහ දේවාභරණ වඩම්වන අතිශය දුර්ලභ පෙරහැරය. මෙම පෙරහැර නවගමුව පත්තිනි දේවාලයට පමණක් ආවේණික වූවකි. මේ පෙරහැර පවත්වන්නේ අත්ිතයේ ගොනුන්ට වැළදුණු වසංගත රෝගයකින් බේරීමට පත්තිනි මෑණියන්ට වූ භාරයක් ඔප්පු කිරීමටය. 

”පත්තිනි මෑණියෝ , පත්තිනි අම්මා” වශයෙන් හඳුන්වනු ලබන මෙම දෙවඟන බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවාදරයට පත්ව ඇත. ඇය ශාන්තිවාදී දෙවි කෙනෙකි. පිරිමි ආත්මයක් ලැබ මතු බුදුවන්නට පෙරුම් පුරයි. වර්තමානය වන විටද ශ්‍රී ලාංකික ජනයාගේ දේව ඇදහිලි හා විශ්වාස අතර පත්තිනි දේව ඇදහිල්ලට ලැබෙනුයේ සුවිශේෂී ස්ථානයකි.      

Monday, May 13, 2019

මහජන සම්බන්ධතා

   
මහජන සම්බන්ධතාවයේ ඉතිහාසය මානව ඉතිහාසයේ ඉතා ඈතට දිවයන්නකි. ඉතා නොදියුණු ප‍්‍රාථමික වනචාරී ගෝත‍්‍රවල පවා සිය මහජන සම්බන්ධතා ක‍්‍රියාදාමය පවත්වාගෙන යෑම සඳහා කිසියම් නොදියුණු ක‍්‍රමයක් හෝ පවත්වාගෙන ගියබව පෙනෙයි. සමාජය ක‍්‍රමයෙන් විකාශනය වත්ම මහජන සම්බන්ධතාවල ස්වරූපයද විවිධ වෙනස්කම්වලට බඳුන් විය. වර්තමානය වනවිට මහජන සම්බන්ධතාවය වෘත්තියක් දක්වා වර්ධනය වී ඇත. වර්තමානය වන විට බොහෝ රටවල්වල  මහජන සම්බන්ධතා ක‍්‍රියාවලිය පිළිබඳව දැඩි අවධානයක් යොමු වී ඇති බව පෙනෙයි. ඒ සමඟම මෙම ක‍්‍රියාවලිය ප‍්‍රායෝගිකව භාවිතා කිරීමේදී ජන මාධ්‍ය ප‍්‍රබල අවියක් ලෙස යොදා ගනියි. නමුත් ජනමාධ්‍යකින් තොරව වූවද මහජන සම්බන්ධතාවය ගොඩනැගිය හැකිය. 

මූලිික වශයෙන්  මහජන සම්බන්ධතාවය අභ්‍යන්තර හා බාහිර මහජන සම්බන්ධතාවය වශයෙන් කොටස් දෙකකි. අභ්‍යන්තර මහජන සම්බන්ධතාවය තුළදී ආයතනයේ සාමාජිකයින් තුළ ආයතනයේ ප‍්‍රතිරූපය ගොඩනැංවීම මූලික අරමුණ බවට පත්කර ගනියි. බාහිර මහජන සම්බන්ධතාවය තුළදී මූලිකම පරමාර්ථය වන්නේ බාහිර පාර්ශවකරුවන් හා ආයතනය අතර සුහදත්වය වර්ධනය කරලීමයි.

මහජන සම්බන්ධතාවේ තවත් මූලික අරමුණක් වන්නේ කිසියම් අදහසක්, ආකල්පයක් හෝ සාරාර්ථයක් කිසියම් පිරිසක් වෙත පිළිගැන්වීම වේ. තවත් අවස්ථාවක මහජන සම්බන්ධතාවයේ මූලික අරමුණක් වන්නේ කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් පාරිභෝගිකයා වෙත පිළිගැන්වීම වේ. මේ සෑම අවස්ථාවකදීම මූලික වන්නේ මහජන සම්බන්ධතා නිළධාරිවරයාය. ඒ නිසා ඔහු මහජන මතය පිළිබඳ විශේෂඥයෙකු විය යුතුය. මහජන සම්බන්ධතා තවත් අතකින් සැලසුම්කරණු ලැබූ ක‍්‍රියාවක් ලෙසද හැඳින්විය හැකිය. ඒ අනුව මහජන සම්බන්ධතා යනු මහජන මතය සමඟ සම්බන්ධ වූද, සන්නිවේදනය සමඟ ගණුදෙනු කරන්නාවූද කළමණාකරණ කාර්යයභාරයක් කරන්නා වූද යන ත‍්‍රිවිධ කාරණා මූලික ක‍්‍රියාවලියක් බව හඳුනාගත හැකිය. ඒ නිසා සන්නිවේදන විශාරදයින් විසින් මහජන සම්බන්ධතාව ක‍්‍රියාදාමයන්  රැසක ගොණුවක් ලෙසද හඳුන්වනු ලැබේ.

ස්වභාවයෙන්ම පවත්වාගෙන යන මහජන සම්බන්ධතා, සංස්කෘතික සබඳතා, විෂයක් වශයෙන් ඉගෙනීමෙන් යුතුව වෘත්තියක් ලෙස පවත්වාගෙන යනු ලබන මහජන සම්බන්ධතා වශයෙන්ද කොටස් කළ හැකිය.

මහජන සම්බන්ධතා ක‍්‍රියාවලියේ අන්තර්ගතය තුළ පහත සඳහන් දෑ අන්තර්ගත වේ.  
 
ආයතනයක් ඇතුළත හා ඉන් පිටත සිට එය හා සම්බන්ධකම් ඇති කර ගන්නා හා ආයතනයක් අතර අන්‍යොන්‍ය අවබෝධය වැඩි දියුණු කරලීමට ගන්නා සියලූ පියවර
 
ආයතනයක් පිළිබඳව මහජනයාගේ සිත තුළ හැඟීමක් ඇති කිරීම සඳහා දෙනු ලබන උපදෙස්
 
ආයතනයක් පිළිබඳව වැරදි අවබෝධයක් ඇතිවීමේ හේතු සාධක සොයා ගැනීමටත් ඒවා තුරන් කිරීමටත්        ගන්නා ක‍්‍රියාමාර්ග

 අදාළ ප‍්‍රචාර, දැන්වීම්, ප‍්‍රදර්ශන, චිත‍්‍රපට ආදිය මඟින් ආයතනයක බලපෑම් සීමාව පුළුල් කිරීම
 
ජනතාව සහ ආයතන අතර සන්නිවේදනය සෘජුවම වර්ධනය කිරීමට තුඩුදෙන සෑම දෙයක්මය.   


Tuesday, May 7, 2019

මතකය



දන්නවද නුඹ තාම ඉඳ හිට
නතර වෙනවා තමයි හදවත....
වෙනස් කළ යුතු බවට පිළිවෙත
මටම පවසා ගනිමි හිතවත....

කළු කුමාර සංකල්පය

  
යක්ෂයන් පිළිබඳව විවිධ විශ්වාසයන් අපේ පැරණි ජන සමාජය තුළ ගැමියන් අතර පැවතුණි. කළු කුමාරයා යනු ඔවුන් අතර පැවති තවත් එක් විශ්වාසයකි. කළු යකා සහ කළු කුමාරයා යනු දෙදෙනෙකු යැයිද මතයක් වේ. තවත් මතයක් අනුව කළු කුමාරයා යනු කළු යකාගේම අවතාරයකි. සත් සමුදුරින් එතෙර කළු ගල්දුව නැමැති ස්ථානයක මා ඉලූක් රන් විමනක කරඬුබානා නැමැති බිසවකට දාව කළු කුමරුගේ උපත සිදුවු බව සඳහන් වේ. ඈත අතීතයේ සිටම ස්ත‍්‍රීන්ට විශේෂයෙන්ම ගර්භනී කාන්තාවන්ට වෛර කරන මෙම යකා ගබ්සා කිරීමත්, ස්ත‍්‍රීන් වඳ භාවයට පත් කිරීමත් කරන බව ගැමියන් විශ්වාස කළෝය. ඒ බව මෙමගින් කියැවේ.

”දහ අට මායමට
උන හිසරද හදන්නට 
බිළිඳුන් නසන්නට
ගතිය ඒ කළු වරම් පෙර සිට” 

කළු කුමාර බැල්ම හෙලනු  ලැබූ කාන්තාවකගේ ශරීරය වැහැරීම නියතය. ඒ හැර ඔල්මාද විකාර ගති ස්වරූපයක්ද ඔවුන් තුළ ඇතිවේ. විශේෂයෙන්ම විකාර බස් දෙඞීම වැනි දේ කරනුයේ පිරිතක් හෝ බෙර හඩක් ඇසෙන විටය. තවද සිහිනෙන් මළ දරුවන් මෙන්ම කහ පාට, කළු පාට දරුවන් පෙනීම වැනි විෂමාචාර ලක්ෂණ කළු කුමරුගේ බලපෑම මත ඇති කරනු ලැබේ. මෙසේ කාන්තාවන්ට බැල්ම හෙලීම සඳහා කළු කුමාරයාට සුදුසු අවස්ථා සහ ස්ථානද වේ. පාලූ මං පෙත්, සොහොන් බිම් වැනි ස්ථාන මෙන්ම ඒ සඳහා ගොම්මන් වේලාව වැනි අවස්ථාද ඇත. අතීත ගැමියන් වැඩිවිය පැමිණි තරුණියන්ට ගොන්මන් යාමයේ ගමන් බිමන් යාමේදී විවිධ තහංචි පනවන ලද්දේ  එම තරුණියන්  කළු කමාර දෘෂ්ටියට හසු වේ යැයි බියෙනි.   එලෙසම ගස් ගෙඩි කැඞීම, ළඳු කැළෑ, තනිමඟ, කඩුල්ල, හන්දි, පිට්ටනි, කමත වැනි තැන්වල වීණා වාදනය කරන අවස්ථා වලද මෙම යකාගේ දිෂ්ටියට ලක්වේ.තවද ළිං, ඇළවල්, පීල්ල, ගං ඉවුරු, වැව් ඉවුරු වැනි ජලස්නානය කරන ස්ථානවල හෝ දිය පිරි කළ උකුළේ තබාගෙන එන විටද මෙම දෝෂය ඇතිවිය හැකිය. 

මෙම යකාට අත් හතරක් ඇති බව යකැදුරන්ගේ මතයයි. ඉන් දෙකක ඇතුන් දෙදෙනෙකි. එක් අතක කුකුළෙකි. හිසෙහි නයි පෙණ තුනක් ඇත. තවත් මතයක් අනුව මෙම යකාට අවතාර හතකින් පෙනී සිටිය  හැකිය. මෙම යකාගෙන් ගර්භනී කතුන්ට සිදුවිය හැකි අපල උපද්‍රව භයානක බැවින් කාන්තාව ගැබ්ගත් මොහොතේ සිට භාරහාර වීම තවමත් ගැමි සමාජයේ සාම්ප‍්‍රදායිකව පවතියි. බලි තොවිල් හා ශාන්තිකර්ම තුළින් කළු කුමාර දෝෂය  නොහොත් තනිකම් දෝෂය පලවා හැරිය හැකි බව ගැමියන්ගේ විශ්වාසයයි.

අදටත් විද්‍යාත්මකව තහවුරු කළ නොහැකි මෙම සංකල්පය හරහා කාන්තාවගේ ආරක්ෂාව වෙනුවෙන් බොහෝ තහංචි ඇති කරනු ලබයි. එලෙසම ප‍්‍රබල මනෝ විද්‍යාත්මක හරයක්ද මේ තුළ ගැබ්ව ඇත. මෙහි සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත් අපුර්ව, නිර්මාණාත්මක ලක්ෂණ ප‍්‍රකට කරන ජනශ‍්‍රැතියක් වශයෙන් මෙය හඳුනාගත හැකිය. විවිධ නිර්මාණයන් උදෙසා මෙම සංකල්පය වර්තමානයේදීද භාවිත වන අතර ජයන්ත චන්ද්‍රසිරි විසින් අධ්‍යක්ෂණය කරන ලද ඝරසරප සිනමා නිර්මාණය මෑත කාලීනව මෙම සංකල්පය හරහා බිහි වූ එක් සොඳුරු නිර්මාණයකි.  
  



Friday, May 3, 2019

සිතිවිලි


රැස් වූ තැනක නොලද සහනය
ලදිමි මම හිස් වූ කලෙක
යදම් බැඳකොට සිර කළේ ලොව තුළ
සිතිවිලිම බව දුටිමි මිදුණු දින....