Sunday, July 21, 2019

බොහෝ සුන්දර සිනහවන් යට


බොහෝ සුන්දර සිනහවන්   යට
ලියැවිලා දුක්බර කතා ඇත
දිිලෙන ලස්සන නෙත් දෙකක් යට
ගුලිව සීතල කඳුලූ බිඳු ඇත
සානුකම්පිත හදවතක් යට
පිරී තෙරපෙන වේදනා ඇත
දිනෙක කාටත් හොරෙන් වැලි යට
ඒ කතා මිහිදන්ව යනු ඇත

Tuesday, July 16, 2019

අරලිය මල්....

මං හිතන්නෙ තව ඉස්කෝලෙ ඇරෙන්න වෙලාව තියෙනවා.... මං පොඞ්ඩක් මෙතනින් වාඩිවෙලා ඉන්නවා... 
මං එහෙම හිතනකොටම සුළඟට කෝලම් කර කර කොහෙන්දෝ ඉදලා පාවෙලා ආපු අරලිය මලක් මගේ ඇගේ හැපිලා බිමට වැටුනා...
ඒත් එක්කම... 
අරලිය මලත් එක්ක මගෙ ජීවිතේ ගොඩාක් ආපස්සට දුවන්න ගත්තා...ඒ අතීතය...ඒ සුවඳට අදත් මං ආදරෙයි...
කණ්නන් වැඩ කලේ අපේ පුංචි බේබිලාගේ ඉස්කෝලෙ ලඟ ලොකු කඬේක...
මං පුංචි බේබි ඉස්කෝලෙන් ගන්න එනකොට කණ්නන් හවස උලූදු වඬේ හදන වෙලාව. මං අරලිය ගහ ලඟට වෙලා ඒ ගහකට හේත්තු වෙලා එයා දිහා බලන් ඉන්නවා මතකයි...
ඒකට හේතුව අදටත් මට හිතාගන්න අමාරුයි...සමහර විට කොළඹ රටේ උදවියගෙ මුහුණුවලට වඩා ඒ මුහුණ මට ගොඩාක් ලගින් දැනුන හින්දා වෙන්න ඇති...
ඔහොම ටික දවසක් යනකොට පත්තර කොලේක උලූදු වඬේ දෙකක් ඔතලා එයා මගෙ අතේ තියලා ගියා...ඉස්කෝලෙ ඇරෙන්න ලඟ හින්දා මං ඒක එහෙම්මම ඒක මල්ලට දා ගත්තා. නිවී සැනසිල්ලෙ කන්න කියලා...
ඒත් ඒ දවසෙ කණ්නන් මාත් එක්ක එක වචනයක්වත් කතා කලේ නෑ... 
වෙනදා පුංචි බේබිව ඉස්කෝලෙ එක්ක යන එක තරම් කරදරයක් මට තවත් තිබුණෙ නෑ... 
බේබිව වඩාගෙන ඉස්කෝලෙට ගෙනත් දාන්නයි...ආපහු ගෙදර එක්ක යන්නයි...ගියාම මගෙ මුලූ අත් දෙකම රිදුම් කනවා...
ඒ විතරක්ද? පරණ හම් බාටා දෙකත් හොඳටම ගෙවිලා...බේබි මදිවට ගල් කැටත් මට වද දෙනවා...ඒත් කණ්නන්ගෙ බැල්මෙන් පස්සෙ ඒ ගල් කැට ගැන කිසිම ගාණක් ගියේ නෑ... මට...
දවසක් මං අරලිය ගහ යටට වෙලා කණ්නන් දිහා බලන්නෙවත් නැතුව අරලිය අත්ත උඩ මූණ තියාගෙන හිටියා...මට මතක නෑ මං කොච්චර වෙලා හිටියද කියලා...
මං එක පාරටම පිටිපස්ස බලනකොට කණ්නන් මං ලඟ....
එයාගෙ මූණෙ චූටි දාඩිය බිංදු මතුවෙලා...හී...ං නාහෙ අගින් යා...ංතං කලූ වීගෙන එන උඩු හොස්සට දාඩිය බිංදු දෙක තුනක්ම වැටුණා...    
ඊයේ හවස ලොකු නෝනා ගහලා මගෙ කම්මුලක රතු පාටට ඇගිලි පාරවල් හිටලා තියෙනවා දැකලා එයාගෙ මූණ අමුතු වුණා...කන්නන් මගෙ කම්මුල ලගින් එයාගේ අත තියලා මාව අස්වැස්සුවා...
”මොකද්ද? ඔයාගෙ නම”
”මානෙල්...”
”මං නෙලී කීවට කමක් නැද්ද?”
හිතාමතාම නෙමෙයි මට එකපාරටම...හ්ම්...කියවුනා...
ඒ වෙනකොට මගෙ ඇස් දෙකේ කඳුලූ හොඳටම පිරිලා...තවමත් මගෙ කම්මුල ඇදුම් කනවා...
”අඬන්න එපා නෙලී...” අපි දෙන්නම එකයි
එකපාරටම කඬේ අයිතිකාර මුදලාලි අරලිය ගහ යට... එයා වේගෙන් දෙමළෙන් මොනවාදා් කියාගෙන ගියා...ඒ මොනවද කියලා මට තේරුනේ නැති වුණත් කණ්නන්ට හොඳටම බැනපු විත්තිය මට තේරුනා...
කණ්නන් මූණ ඇල කරන් මුදලාලිට පිංසෙණ්ඩු වෙනකොට මුදලාලි මටත් රවන් පාර මරුවෙලා කණ්නන්ට තවත් අත දික්කර දික්කර මොනවදෝ කීවා...
කඬේ වැඩ තියෙනකොට කණ්නන් මාත් එක්ක කතා කරන්න එන එක ගැන මුදලාලිට තරහ ඇති...මට එහෙම හිතුනා...
ඇස් දෙක ඇරලා ඔලූව ඉස්සුවෙ අපේ බේබි ප්ලාස්ටික් වතුර බෝතලෙන් පිටට ගහද්දී...
කාලයක් ඔහොම ගතවෙලා ගියා...ඒ කාලය ඇතුලත ගොඩක් දේවල් ඇස්වලින් අපි කතා කලා...වචනවලටත් වැඩියෙන්...
තවත් දවසක් උදා වුනා...
අදනං කණ්නන්ගෙ මූණ හරි අමුතුයි...අදත් මුදලාලි බැනලාවත්ද?
”මොකද්ද අනේ ඔයාට වෙලා තියෙන්නෙ” කිසිම කතා බහක් නැතුව බලා ගත්ත අත බලාගෙන ඔහේ කල්පනාව...
ඇත්තටම මං කලින් හිතුවෙ කණ්නන් සිංහල කෙනෙක් කියලා... දෙමළ වලටත් වඩා හොඳට එයා සිංහල කතා කළා...
ඒ හින්දා මට දැනුනෙ එයා මගෙම කෙනෙක් විදිහට 
ඇඳුමෙන් පැලඳුමෙන් පවා එයා සිංහල නෙමෙයි කියලා හොයන්න පුලූවන්කමක් තිබුනෙ නෑ...                     
අන්න ඒ පාර කණ්නන්ගෙ මූණ හොඳටම නරක් වුණා... අන්න ඒ පාර කණ්නන්ට ඇඩෙන්න වගේ එනවා.... ආ මේ මොකද? කමිසෙ ඉරිලා ආ.... මේ ලේ පාරක් නේද? කමිසෙ ඉරිච්ච තැන පිටේ වේලිච්ච ලේ වගයක්??? අයියෝ... පිට දිගේ ඇගිල්ලක් තරම් මහත ලේ පාරක්....
ඉස්සර වගේ මුණගැහෙන්න දැන් අපිට මුදලාලි බාධාවක් වුණේ නෑ පුංචි බේබිට හවස පංති තිබුණ හින්දා මං ඉස්කෝලෙ ලඟට එනකොට මුදලාලි හොඳටම නිදාගන්න වෙලාව
ඉතිං කණ්නන්ටයි මටයි නිදහසේ කතා කරන්න පුලූවන් වුණා අපේ කතාව අහගෙන හිටියෙ සුදුපාට මල් පිරුණු අරලිය ගස් විතරයි....
අව් කණ්ණාඩි පැලඳගෙන මොටෝ රියවලින් ඉස්කෝලෙ ලඟට ආව ගිය ලොකු නෝනාවරුන්ගෙ  මහත්වරුන්ගෙ ඇස් අපේ පැත්තට හැරුනෙ නෑ
ඉස්කෝලයක් කීවට මේක ඉන්ටනැෂනල් කොලිඡුියක් කියලා කණ්නන් තමයි මට කියා දුන්නෙ කොළඹ රටේ උදවියට අකුරු ඉගෙන ගන්න තියෙන තැන්වලට කියන නම වෙන්න ඇති කියලා මං හිතා ගත්තා
ඉතිං කියන්න මොකද වුණේ?
කණ්නන් මුකුත්ම කීවෙ නෑ... කියාගන්න බැරි ගොඩක් දේවල් එයාගෙ ඇස් දෙකේ ලියවිලා තිබුණා
නෙලී අදින් පස්සෙ කවදාවත් අපි හම්බ වෙන්නෙ නෑ
කණ්නන් ඒ වචන ටික කියා ගත්තෙත් බොහොම අමාරුවෙන් ඒක අහපු හැටියෙ මට ඉහිලූම් නැතුව ගියා...අරලිය ගහ යට කොච්චර සීතල වුණත් මට එකම සැනසීමක් තිබුණු මේ ගහ යට මාව පිච්චෙනවා වගේ දැනුනා...
කාත් කවුරුත් නැතිව මේ ගෙන්දගම් පොළවේ මට හිටිය එකම හිතවතා....
”කණ්නන් ඔයා ගමට යනවද?”
අරලිය ගහේ උඩ පොකුරකින් වැටිච්ච මලක් කණ්නන්ගෙ ඔලූවට වැටිලා ඔලූවෙ රැුදුනා.....
මං කණ්නන්ගෙ නාහෙ ගාවට මල ලං කොරපුවාම එය ඇස් දෙක පියාගෙන හිමිං සැරේ උඩට හුස්ම ඇදලා හිමිං හිමිං මං දිහා බැලූවා
මට බේබිලාගෙ ගෙදර ආපු හැටි මතක් වුණා...එහෙ ගියාම කෙලී හොඳට කාලා බීලාවත් ඉදීවිනෙ කියලා අම්මා මගෙ මූණ ඉඹලා කියුවා.....එතකොට මට අවුරුදු දහයයි.....මං තාත්තා ගැන අහන හැමවෙලේම අම්මගෙ ඇස් දෙකේ කඳුලූ පිරුනා විතරයි
විඡේ මාමා එක්ක මං කොළඹ ආපු හැටි...මං මෙහෙ ඇවිත් අවුරුදු දෙකකට පස්සෙ අම්මා අන්ත‍්‍රා වුනා කියලා විඡේ මාමා ටැලිපෝන් කරලා කීවා මගෙ රත්තරං අම්මා බලන්න මාව කවුරුත් ගමට එක්කන් ගියේ නෑ....
දැන් අවුරුදු අටක් ගතවෙලා ගිහිං.......                                         
කණ්නන්ට හිටියෙ අම්මා විතරයි අම්මටත් අංශභාගෙ හැදිලා එක්තැන් වෙලා....
කවදාවත් කණ්නන් මහන්සි  වුන විදිහට මුදලාලි එයාට සල්ලි දුන්නෙ නෑ....
”නෙලී ඔයා කැමතිද? මාත් එක්ක ගමේ යන්න”
කොච්චර ඇවිටිලි කලත් කණ්නන් ගමට යන්න තීරණය කලේ ඇයි කියලා මට කීවෙ නෑ....
නියඟය කාලෙට අරලිය මල්,කොල ඔක්කොම පොළවට වැටෙනවා මං දැකලා තියෙනවා.... 
ඒත් වැස්ස එක්ක ආයෙමත් අරලිය ගස්වල මල් පිපෙන්නෙ වෙනදාටත් වඩා ආඩම්බරෙන් කියලා තමයි මට හිතෙන්නෙ...
මං කණ්නන් එක්ක එයාගෙ ගමට යන්න කැමති වුණා....
මං පුංචි බේබිව ගෙදර ගිහිං දාලා මං ලඟ තිබුණු සල්ලි ටිකත් අරගෙන අම්මා, ගෙට වෙද්දි මට දාපු කරාබු කුට්ටමත් ලෙන්සුවක ඔතා ගත්තා
මං අරලිය ගහ ලඟට එනකොට කන්නන් අරලිය අත්තක් උඩ වාඩි වෙලා
මං එයා ලඟට යනකොට හෙමින් සැරේ කමිස සාක්කුවට අත දාලා මොකක්ද අතට අරන් අතමිට මොළව ගත්තා....
”ම්..... මොකක්ද?”
”බඞ්ඩක්.....අතක් දෙන්නකෝ”
මැදලා වයිරං වැටිච්ච ලස්සන පොල්කටු මුද්ද ඇඟිල්ලට දාලා එයා මගෙ අතින් අල්ල ගත්තා
අපි කණ්නන්ගෙ ගෙදර යනකොට   ? හතත් පහුවෙලා....
අපිට ඡුීවත් වෙන්න විදිහක් තිබුනෙ නෑ ටික කාලයක් යනකම් කණ්නන් කුලී වැඩ කළා
කාලයක් ගත වුණා....අපි දෙන්නගෙ මහන්සියෙන් අපි පුංචි කඩයක් දා ගත්තා  ඒ වෙද්දි මටත් පැටලි පැටලි දෙමළ කතා කරන්න පුලූවන්....
අපේ කඬේ තිබුන සිංහල කෑමවලට ගොඩක් අය කැමති වුණා
අපි පෝයට අරලිය මල් වට්ටි හදන් පන්සල් ගියා කොහේ හරි ඈතක....
කෝවිලට ගිහිං පුද පූඡුා කරලා ගොඩක් වෙලා ඉඳලා අපි එනවා
ගණ දෙවියන්ගෙ මූණ දකිනකොට මට අම්මව මතක් වුනා
මට අකුරු කියවපු දවසේ ගණදෙවි පිංතූරෙට අම්මා මගෙ අත් දෙකම එකතු කරවලා වැන්ඳුවා මට තාමත් හොඳට මතකයි
නළලට තිලකයක් තියලා කොණ්ඩ කරලක් ගොතලා පිච්ච මල් ගහන්න මං ගොඩක් ආසා කළා   වෙලාවකට කණ්නන් රතු අරලිය මල් ගොඩක් ගෙනැත් මගෙ කොණ්ඩෙ සරසනවා
එතකොට මට තනියම හිනා යනවා
අරලිය මල්.....
තවත් වෙලාවක ලස්සනට ඔසරිය ඇඳලා මම එයාට පෙන්නුවා   
තාප්පෙට එහා පැත්තෙ ඇහෙන ළමයින්ගෙ ඝෝෂාව දැන් ටිකක් වැඩියි වගේ....ඉස්කෝලෙ ඇරෙන්න ලංවෙලා....ආ.... ඔව්ම තමා එක පාරටම සීනුව නාද වෙන්න පටන් ගත්තා 
ඈතින් දුවගෙන එන මගේ පුංචි කෙල්ල මට අදනම් පෙනෙන්නෙ ලස්සන අරලිය මලක් වගේ
සකුන්තලා මහේෂ්වරී.... මගේ පුංචි ලෝකය
”අම්මේ අපි උලූදු වඬේ අරං යමුකෝ.....” කියලා එයා මගෙ අතේ එල්ලූනා
මං උත්තර දෙන්න පරක්කු වුන හින්දා එයා මෙහෙමත් කියුවා
”අම්මා එනක්කු උලූන්දු වෙඩෙයි සාප්පිට්ට වේණුම්.....”
පුංචි කෙල්ලගේ අතත් අල්ලන් යනකොට ඈතින් කණ්නන් බයිසිකලේ එනවා දැකලා අපි දෙන්නම අප්පුඩි ගැහුවා..... 

                                            

     


































Saturday, July 6, 2019

අපේම වරදින් සෑදෙන බෝ නොවන රෝග


සෞඛ්‍ය යනු පුද්ගලයෙකුගේ මානසික ශාරීරික හා සමාජීය  තත්ත්වය හොඳ මට්ටමක සමබරව පැවතීමයි. බුද්ධ වචනයට අනුව නීරෝගී බව පරම ලාභය වේ. නිරෝගි පුද්ගලයෝ රටක සම්පතකි. සංවර්ධනයට දායක වෙයි.

බෝ නොවන රෝග යනු,පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට  ආසාදනය නොවන ජානමය හේතු හෝ අහිතකර ජීවන රටා හේතු කොටගෙන ඇති වන රෝග බෝ නොවන රෝග නම් වේ.

දියවැඩියාව, අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, ස්ථූලතාවය, හෘද රෝග, මුඛ රෝග, ශ්වසන රෝග    වකුගඩු රෝග, තැලිසීමියාව, පිලිකා ආදිය ප‍්‍රධාන වශයෙන් බෝ නොවන රෝගවලට අයත් වේ.

බෝ  නොවන රෝගවලට හේතු

දුම්කොල භාවිතය, මානසික ආතතිය, මධ්‍යසාර හෝ මධ්‍යසාර අඩංගු පාන භාවිතය, සෞඛ්‍යට හිතකර නොවන ආහාර පුරුදු, පවුල් පරිසරය, වයස ස්තී‍්‍ර පුරුෂ භාවය ආදිය මෙම රෝගයන්ට හේතු සාධක වේ. මෙම රෝගවලින් වැළකීම සඳහා මෙම ක‍්‍රියාමාර්ග අනුගමනය කළ හැකිය.

දුම් පානය නැවැත්වීම

මත්පැන් පානය  නැවැත්වීම

නියමිත ශරීර ස්කනධ  දර්ශකය පවත්වා ගැනීම

දිනපතා සිරුරට  හොඳින් ව්‍යායාම ලබාදීම

වැඩි වශයෙන් එළවලූ හා පලතුරු ආහාරයට ගැනීම

ආහාරවලට එකතු කරන ලූණු  ප‍්‍රමාණය අඩු කිරීම

සීනි භාවිතය හැකි තරම්  අඩු කිරීම

මේද ආහාර අඩු කිරීම

මානසික සෞඛ්‍ය හැකිතාක් නිරෝගිව පවත්වා  ගැනීම

තමාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ මනා අවබෝධය


බෝ නොවන රෝගවලින් වැළකීම සඳහා ඒ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම වැදගත්ය.        

දියවැඩියාව

දියවැඩියාව යනු මිනිස් සිරුරේ රුධිරයේ තිබිය යුතු නියමිත සීනි මට්ටම පැවතිය යුතු සාමාන්‍ය මට්ටම ඉක්මවා යාම නිසා ඇතිවන පරිවෘත්තීය කි‍්‍රයාවලිය හා සම්බන්ධ රෝගී තත්ත්වයකි.

රුධිරයේ ඇති  සීනි මට්ටම පාලනය වන අගන්‍යාසයේ නිපදවන ඉන්සියුලින් හෝමෝනය නිපදවීමේ හා එහි කි‍්‍රයාකාරිත්වයේ ඇති වන ගැටලූ නිසා  මෙම රෝගය ඇති වේ අධික රුධිර පීඩනය, මුත‍්‍රා රෝග හා වකුගඩු රෝග, ප‍්‍රතිශක්තීකරණ බලය හීන ව්ම, දෙපා ඇගිලි ආදිය කපා ඉවත් කිරීමට සිදුවීම, ලිංගික දුර්වලතා ආදිය දියවැඩියා රෝගයේ අතුරු ආබාධ වේ.

කොලෙස්ටරෝල්

අනවශ්‍ය මේද කොටස් රුධිර නාලවල තැන්පත් වීමෙන් ඇතිවන  රෝගයකි. සිරුරට අවශ්‍ය මේද ප‍්‍රමාණයෙන්  65% ක් අකමාව නිපදවයි ඉතිරි 35%  අප ගන්නා මේද සහිත ආහාරවලින් පූර්ණය වේ.              

මේදය වැඩිපුර ගැනීමෙන් අතිරික්ත මේදය රුධිරයට  මුදා හැරෙයි. රුධිරයේ මේවා  දිය නොවන නිසා ඒවා රුධිර නාලවල තැන්පත් වේ. හෘදයේ ඇති ධමනිවල තැන්පත් වීමෙන් හෘදයාබාධද මොළයේ තැන්පත්  වීමෙන් අංශභාගය ද සෑදේ.

පක්ෂඝාතය, අමතක  වීමේ රෝග, වකුගඩු රෝග, හෘදයාබාධ, ලිංගක අප‍්‍රාණිකත්වය මෙහි අතුරු ආබාධ වේ.

හෘදයාබාධ

නිරෝගි වැඩිහිටියෙකුගේ හෘදය විනාඩියට 72ක් වාරයක් ස්පන්දනය වේ. මෙම කාර්යය නිසි අයුරින් සිදු වීමට නම් හෘදයට නිරන්තර ඔක්සිඡුන් සහ පෝෂක ද්‍රව්‍යවල සැපයුමක් අවශ්‍ය වේ. හෘදයේ ඇති පේශිවලට අවශ්‍ය ඔක්සිඡුන් බහුල රුධිරය කිරීටක ධමනි මගින් සපයනු ලබයි. කිරීටක ධමනිවල සිදුවන අවහිරවීම් නිසා අවශ්‍ය තරම් රුධිර සැපයුමක් හෘත් පේශිවලට නොලැබීමෙන් හෘදයාබාධ ඇතිවේ.

පිළිකා

පිලිකා යනු සිරුරේ ෙසෙලවල  ඇතිවන රෝගී තත්ත්වයකි. විවිධාකාරයේ ෙසෙල සිරුරේ ඇති අතර විවිධ පිලිකා එම ෙසෙලවලින් හටගනී. සියලූම පිලිකාවලට පොදු ලක්ෂණය නම් එම පිලිකා  ෙසෙල අසාමාන්‍ය වීමත් පාලනයකින් තොරව ගුණනය වීමත් යන කරුණුය.සෑම පුද්ගලයෙකුගේම සිරුර තුල පිලිකා ෙසෙල පවතී. නමුත් ඒවා බිලියන කිහිපයක් දක්වා වර්ධනය වන තුරු කිසිදු පරික්ෂාවකට හඳුනාගත නොහැක.මිනිසෙකුගේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත්ව තිබෙන  කාලය තුල දී මෙම ෙසෙල වරින් වර විනාශ කරනු ලබයි.මෙය දුර්වල වු විට එම ෙසෙල ඉස්මතු වේ.පෝෂණ  ඌණතා මග හරිමින්  ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම  සඳහා ආහාර රටාව සහ  ජීවන රටාව වෙනස් කිරීම අනිවාර්ය වේ.        

ස්ථූලභාවය

පුද්ගලයෙකුට දිනකට අවශ්‍ය වන නියමිත කැලරි ප‍්‍රමාණයක් තිබේ. එම කැලරි ප‍්‍රමාණය ඉක්මවා ආහාර මගින් වැඩිපුර කැලරි ප‍්‍රමාණයක් දිගු කාලයක් තිස්සේ ලබාගන්නේ නම් ස්ථූලභාවය ඇති වේ. වැඩිපුර ගන්නා අමතර කැලරි ප‍්‍රමාණය සිරුරේ මේද පටකවල මේදය ලෙස තැන්පත් වේ.

අතුරු ආබාධ ලෙස දියවැඩියාව, හෘද රෝග, පිත්තාශයේ ගල්, ප‍්‍රජනන ගැටලූ, ගර්භනී අවධියේ සංකූලතා, මානසික ගැටලූ ආදිය හඳුනාගත හැකිය. 

අධිරුධිර පීඩනය

මිනිස් සිරුරේ ධමනි තුල ගලා යන  රුධිරයෙහි සාමාන්‍යයෙන් තිබිය යුතු පීඩන අගයන් ඉහල යාම අධිරුධිර පීඩනය ලෙස හැදින් වේ.                                                                                                                  

එනම් හෘද මාංශ පේශින් සංකෝචනය වන අවස්ථාවේදී ධමනි තුල තිබිය යුතු පීඩන අගය සහ හෘද මාංශ පේශින් ඉහිල් වන අවස්ථාවේ තිබිය යුතු පීඩන අගයන් හේතවක්  රහිතව ඉහල යාමයි.

වකුගඩු රෝගය

හේතුවඃ රතු දුඹුරු පසේ වැඩිපුර රඳන  ආසනික් ජලයේ   කියුල සමග බැදෙමින් සාදන කැල්සියම් ආසනේට් සංයෝග පානීය ජලය  හරහා  සිරුරට ඇතුලූ වී වකුගඩුවල සිදුවන දීර්ඝ කාලීන  ආසාදනයයි. 

ආසනික් පසට එකතු වන ප‍්‍රභවය කෘෂි රසායන වේ මෙම විෂකාරකයන් පසට පොලවට වතුරට හා ආහාර බෝගවලට කාන්දු වීමෙන් ඒවා ආහාරපාන හරහා  සිරුරට එකතු වීමෙන් රුධිරයට මුහු වී රුධිරය පිරිපහදු කරන වකුගඩුවල පවතින  වෘක්කානු දියකිරීමෙන් වකුගඩු අකරණයට පත් වේ.

ඉහත දක්වා ඇත්තේ  වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ ප‍්‍රධාන වශයෙන් ඇතිවී තිබෙන බෝ නොවන රෝගයන්ය. මෙම රෝගවලින් වැළකීම උදෙසා අපගේ ජීවන රටාවේ ඇති වැරදි පුරුදුවලින් වැළකීම අතිශයින්ම වැදගත් වේ.          

Thursday, July 4, 2019

ඔබ ඈතින් ඉන්න.....මතකෙට නෑවිත් ඉන්න.....


සඳ මඩලට හිනැහෙන්නට එපා කියන්න
වසන්තයට යළි එන්නට එපා කියන්න
මගෙ පාළුව විඳගන්නට මට ඉඩ දෙන්න
ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න....
ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න....

මතකය කියන්නෙ හරි අපූරු වචනයක්. ජීවිත කාලය පුරාවට අපි විවිධ මතකයන් හදවතේ තුරුළු කරගෙන ජීවත් වෙනවා. ඒ මතකයන්ගෙන් සමහර දේවල් ආදරණීය වෙන්න පුළුවන්. ඒත් සමහර මතකයන් ජීවිතයට ගොඩක් අමිහිරි මතකයන් වෙන්නත් පුළුවන්. ඒ කොහොම වුනත් මතකය කියන්නෙ අමතක කරන්න බැරි දෙයක්. සමහර මතකයන් කොච්චර අමතක කරන්න උත්සාහ කළත් හදවතේ කොහේ හරි තැනක ඉදන් අපිත් එක්කම ජීවත් වෙනවා කියලයි මටනම් හිතෙන්නෙ

අපි කෙනෙක්ට ආදරය කරනකොට කීයක් නම් මතකයන් අපි පරිස්සම් කරලා තියාගන්නවද? ඒ මතකයන් දිගේ කොච්චර නම් ඇවිදගෙන යනවද? දවසක ඒ ආදරය අහිමි වුනොත්? ඒ මතකයන් කොච්චර නම් අපිව රිදවනවද? මේ කියන්නෙත් ඒ වගේ ආදරයක් ගැන 

සඳ මඩල අහස පුරා හිනාවෙනකොට මට ඔයාව මතක් වෙනවා. ඒ සඳ දකිනකොට මට ඔයාට ආදරේ හිතෙනවා. අපේ ආදර මතකයන් මගෙ හදවතේ දෝංකාර දෙනවා. මට ඔයාව අයිති නෑ මට තනියම ඉන්න. දෙන්න ආයෙ මට වසන්නයක් එපා ඔයා මගෙ මතකයෙන් ඈතට යන්න.

ගං ඉවූරට මුමුණන්නට එපා කියන්න
තරු යායට ඉඟිලන්නට එපා කියන්න
මං කෙලෙසක ඒ විසිතුරු බලා හිදිම්ද
ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න....
ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න....

ඔයාගෙයි මගෙයි ආදරයේ සමරු සටහන්  තියෙන්නෙ මේ ලස්සන තරු යායෙ. ඒ තරු යාය වගේමයි ඔයා මං දිහා බලලා හිනාවෙන්නෙ. මේ ලස්සන ගං ඉවුර වගේ තමයි ඔයා මට රහස් මිමුණුවේ. මට ඔයා නැතුව මේ දේවල් දිහා බලාගෙන ඉන්න බෑ ඒ හින්දා දැන්වත් මගෙ මතකයෙන් ඔයා ඈත්වෙලා යන්න.

මද පවනට දැවටෙන්නට එපා කියන්න
මල් සුවඳට ලං වෙන්නට එපා කියන්න
මං කෙලෙසක ඒ සිහිලැල් දරා හිදිම්ද
ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න....
ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න....

මේ මද පවන එක්ක එන මල් සුවඳ මට දරා ගන්න බෑ. මල් සුවඳ එක්ක මට දැනෙන්නෙ ඔයාගෙ සුවඳ. මේ සිසිලස එක්ක මට දැනෙන්නෙ ඔයාගෙ ආදරේ. මට ඒ දේවල් අමතක කරන්න බැරි මතකයන් වෙලා. තවත් මාව රිදවන්න එපා මගෙ මතකයෙන් ඔයා ගොඩක් ඈතට යන්න.

මේ ගීතය පුරාවට තියෙන්නෙ අමතක කරන්න බැරි මතකයන් ගොඩක්. මෙහි පේ‍්‍රමවන්තයා හෝ පේ‍්‍රමවන්තිය ඉල්ලන්නෙ එකම එක දෙයයි මගෙ මතකයට ලං වෙන්න එපා කියන එක. ඒත් ඇයට හෝ ඔහුට මේ විසිතුරු අතරින් තමන්ගෙ ආදරය මතක් වෙනවා. ආදරණීය මතකයන්ගෙන් දුරස් වීම ලේසි දෙයක් නෙමෙයි. කොච්චර උත්සාහ කළත් සමහරවිට කරන්න බැරි දෙයක් අමතක කරන්න බැරි හරි අපූරු ආදරයක් තමයි මේ ගීතයට තේමා වෙලා තියෙන්නෙ. සමහර විට මේක ඒකපාර්ශවීය ආදරයක් වෙන්නත් පුළුවන්. එහෙම ආදර කතා කීයක් නම් මේ මහපොළවෙ නිදන්ගත වෙලා ඇත්ද?

බිදී ගිය ආදරයක මතකයන්ද සිතින් බිද දැමීමට හැකිනම් මෙවන් සුන්දර ගීත බිහිවෙන්නෙ නැහැ අපි හැමෝටම එහෙමයි. ආදරණීය මතකයන් විඳින ගමන් ඔබට අමිහිරි මතකයන් තුළින් යළි ජීවය ලබන්නට පුළුවන් නම් ජීවිතේ ගොඩාක් සුන්දර මතකයක් වේවි. ඒ මතකයන් ජීවිතයට හරි අපූරු රහක් එකතු කරාවි. ඒ මතකය දිගේ ඇවිදගෙන යන වෙලාවක මේ ගීතය ඔබට ඇසුනොත් එය අපි කාටත් පොදු හැගීමක් බව ඔබට සිහිපත් වේවි. 

ගීතය පද රචනය ආනන්ද ජයවික‍්‍රම විසින් ගීතය සංගීතවත් කළේ ශාන්ත ජයලත් තිසේරා ගීතය ගායනය සෝමතිලක ජයමහ විසින් 




Saturday, June 29, 2019

අයියනායක දෙවියෝ


උතුරු මැද පළාතේ දැදුරු ඔයෙන් ඉහළ සිට යාපනය දක්වා වූ වන්නි හත්පත්තුවට අධිපති දෙවියන් ලෙස ශ්‍රී ලාංකීය ජනතාවගේ ගෞරවයටත්, වන්දනාමානයටත් ලක්ව ඇති අයියනායක දෙවියන් වූ කලී ඉතා බලසම්පන්න දේව ආත්මයකි.

කරේනාරේ, කයියනාරේ, අයියනායගම්, අරියනායගම් ආදී නම්වලින්
විවිධ ප‍්‍රදේශවල ජනයා අයියනායක දෙවියන් හඳුන්වන අතර කතරගම සන්නසෙහි අයියනාරායන් ලෙසත් කෝකිල සන්දේශයෙහි අයියන් ලෙසත් හඳුන්වා ඇති බැවින් පුරාණ ශ්‍රී ලංකාවේ ආදිවාසීන්ගේ බුහුමනට පවා ලක්වූ දෙවි කෙනෙකු බව සනාථ වේ.

පුරා විද්‍යාවට අනුව අනුරාධපුරයේ ජේතවනාරාමයට නුදුරින් පිහිටි වාහල්කඬේ කුලූනක සත්ත්ව රූප තුනක් සහිත වාහනයක වැඩ සිටින දේව රූපයේ සිටින්නේ අයියනායක දෙවියන් බවට සනාථ කොටගෙන තිබුණද උන්වහන්සේ වෙනුවෙන් වෙන්වුණ දෙවොලක් මේ ලංකාද්වීපයේ නොමැති වීම විශේෂත්වයකි. එහෙත් උන්වහන්සේගේ බලය හඳුනාගත් අප රටේ පැරණි ජනතාව අයියනායක දෙවියන් වෙනුවෙන් මල්, පහන්, සුවඳ දුම් වැනි දෑ එක් එක් ප‍්‍රදේශවල තිබෙන නුග, නා, රුක්අත්තන වැනි දේවාකර්ෂණය වැඩි වශයෙන් පවතින රූස්ස ගස් ඉදිරිපිට උන්වහන්සේගේ නමට කැපකර පූජා කිරීමෙන් පසු වැඳ නමස්කාර කොට පින් අනුමෝදන් කර පිහිට පැතූ බවට බොහෝ සාක්ෂි තිබෙන අතර අද ද උන්වහන්සේගේ බලය පවතින ප‍්‍රදේශවලට ඇතුළු වන බොහෝ දෙනා ගසකින් අතු රිකිල්ලක් කඩා ආරක්ෂාව පතා අයියනායක දෙවියන් සිහිකර එම අතුරිකිල්ල තවත් ගසක එල්ලා යෑම සිරිතකි.

අයියනායක දෙවියන්ගේ උප්පත්තිය පිළිබඳ විවිධ කතා ජනප‍්‍රවාදයේ දැක්වෙන අතර ඊශ්වර දෙවියන්ට වසර දොළහක් බැල මෙහෙවරකම් කළ භෂ්මාසුරයා ඊශ්වර දෙවියන් සතු බලගතු දැහැන ලබා ගැනීමට ලොබ බැඳ උන්වහන්සේගේ බිසව වු උමයංගනා දේවිය රවටා දැහැන ලබාගෙන ඊශ්වර දෙවිදුන් විනාශ කිරීමට පසුපස ලූහුබඳිනු දුටු ශ්‍රී විෂ්ණු දෙවිදුන් භෂ්මාසූරයා යන මග හරස්කොට ඔංචිලි පදින මෝහිණී වේශයක් මවා ගනිමින් ඔහු ඉදිරියේ පෙනී සිටි අවස්ථාවේ මෝහිණිය කෙරෙහි උපන් දැඩි රාග චේතනාවේ අවසන් ප‍්‍රතිඵලය ලෙස මෝහිණියගේ වේශයෙන් පෙනී සිටි ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ ශ්‍රී හස්තයේ දරු ගැබක් හටගත් බවත් දස මසක් ඇවෑමෙන් ශ්‍රී හස්තය පලාගෙන මෙලොවට බිහිවූ කුමරු අයියනායක දෙවියන් බවත් වඩා ප‍්‍රචලිත ජනප‍්‍රවාද කතා වේ.

හිසෙහි ජටාවක් බැඳ වමතින් සැරයටියක්ද, දකුණතින් පුස්තකයක්ද ගෙන රන්වන් පැහැති වස්ත‍්‍රාභරණයෙන් සැරසී හස්තියෙකු පිට වඩිමින් තම පිහිට අයැද සිටින දුකටපත් ජනතාවගේ දුක නිවාලන බලවත් දේවාත්මයක් වන අයියනායක දෙවියන් පුත්තලම,අනුරාධපුරය, නිකවැරටිය, මින්නේරිය, පොළොන්නරුව, හබරණ හා තවත් බොහෝ ප‍්‍රදේශවල තම බලය පතුරුවාගෙන ප‍්‍රධාන වශයෙන් එම ප‍්‍රදේශවල පවතින දැඩි නියගයෙන් ගොවිතැන් කටයුතු ආරක්ෂා කර දෙන අතරතුර නඩු, අවනඩු, විස, සතුරු උපද්‍රව පීඩා හානි දුරුකොට සියලූ යහපත උදා කර දෙන්නා වූ සර්වාරක්ෂක දේවාත්මයක් බැවින් එකී ප‍්‍රදේශවල ජනයා තම තමන්ගේ ගැටලූ හමුවේ අයියනායක දෙවියන්ගේ පිහිට පැතීමට නැඹුරු වී සිටිති.  

Thursday, June 27, 2019

සාම්ප‍්‍රදායික කෙම් ක‍්‍රම

  
ශ්‍රී ලංකාවේ සාම්ප‍්‍රදායික වෛද්‍ය කර්මයේ තවමත් ශේෂව පවත්නා අංගයක් වශයෙන් කෙම් ක‍්‍රම හැඳින්විය හැකිය. කෙම් යනු ආරක්ෂාව, ක්ෂේම, ක‍්‍රමය, උගුල යන අරුත් ලබාදෙන වචනයකි. ශාන්තිය, සුවය, සහනය යන අදහස් රාශියක් එම වචනයෙන් අර්ථ ගැන්වෙයි. කෙම්වල දක්නට ලැබෙනා විශේෂත්වයක් වන්නේ ඖෂධ ගුණවලට අමතරව ජ්‍යොතිෂය්‍ය, ඇදහිලි, ගුප්ත විශ්වාස, විවිධ වත් පිළිවෙත්, ඇස්වහ කටවහ ආදිය ඒ සමඟ බැදී තිබීමය. මේවායේ ජීව ගුණය විශ්වාසය මිස තර්කය නොවේ.

අනාදිමත් කාලයක සිට ජනතාවට සුවසෙත සැදූ  නිසා ඒවා පාරම්පරික උරුමයන් බවට පත්ව ඇත. කෙම්වල පවත්නා තවත් සුවිශේෂිත්වයක් වන්නේ ඒ හා බැදුනු රහස්‍යතාවයයි. රහස්‍යතාව නොමැති විට එයින් අපේක්ෂිත ප‍්‍රතිඵල නොලැබී යාමටද ඉඩ තිබේ. ඇතැම් කෙම් තවත් අයෙකුට කියා දීමෙන් එහි බලය පිරිහී යන බවට ද විශ්වාසයක් පවතී. මේවා මුඛ පරම්පරාගතව පැවැත්මට හේතු වී ඇත්තේ මේ රහස්‍යතාවයයි.

වෙදකමේදී විවිධ පැල වර්ගවල කොටස් විවිධ වෙලාවන්හිදී ගැනීමට කියා ඇත. මෙහි අරුත ඒ ඒ වෙලාවන්හිදී ඒ ඒ ඔසුවල ක‍්‍රියාකාරීභාවය වැඩියෙන්ම පැවතීමය. යම් යම් දිසාවලට ගිය මුල් අතු ආදිය ගැනීමට කියා ඇත. එහි අර්ථයද එයම වේ. මේවා සාමාන්‍ය පුද්ගලයින්ට තේරුම් බේරුම් කර ගැනීමට බැරිය. එහෙයින් එය සඟවා ඇත. අද  පවා බොහෝ දේ ක‍්‍රියා කරවීමට සාමාන්‍ය ජනයාට හැකි වූවද ඒ ඒ දේ ක‍්‍රියා කරන අන්දම තේරුම් කර ගැනීමට බැරිය. කෙම් ක‍්‍රමයේද ඇත්තේ මෙයමය. එහි විද්‍යාත්මකභාවය හැම අයෙකුටම වටහා ගැනීමට නොහැකි නිසා ව්‍යංගාර්ථයෙන් පවසා ඇත.

බොහෝ විට කෘෂිකර්මාන්තයේදී කෙම් ක‍්‍රම සුලභව භාවිත වේ. කෙම් ක‍්‍රම ආසියාතික රටවල වැඩියෙන් භාවිතා වන ආකාරය දැකගත හැකිය. රෝග උපද්‍රවයන් ඉතා පහසුවෙන් දුරුකර ගැනීම සඳහා කෙම් ඉතා මානසික වූත්, සූක්ෂම වූත් ක‍්‍රමයක් විය. චිත්ත බලය, විෂබීජනාශක ගුණය මෙන්ම ඖෂධ ගුණයද මෙම කෙම් තුළ අන්තර්ගතව ඇත. කෙමක් සිදු කරන්නේ ඉතා පිරිසිදුවය. කෙමක් සඳහා අවශ්‍ය ඖෂධ සොයන විට සකසන විට සහ බදිනවිට කතා කිරීම තහනම්ය. මුඛයෙන් පිටවන විෂබීජවලින් ඖෂධ ආරක්ෂා කර ගැනීම එහි අදහස විය හැකිය.   

Sunday, June 9, 2019

උඩරට නර්තනයේ සාම්ප‍්‍රදායික වෙස් ඇඳුම හා අන්තර් සංස්කෘතික ලක්ෂණ


උඩරට වෙස් ඇඳුම පිළිබඳව විමසීමේදී එහි විවිධ අන්තර් සංස්කෘතික ලක්ෂණයන් දැකගත හැකිය. කොහොඹා කංකාරිය ශාන්තිකර්මය සිදු කරලීම උදෙසා ඉන්දියාවේ සිට පැමිණි පිරිස මලය රජුගේ සර්ව ආභරණයෙන් කොටසක් ශ්‍රී ලංකාවේ තෝරා ගන්නා ලද ජන කොටසකට දායාද කොට තිබේ. එයට හේතුව වන්නේ නැවත එවැනි උවඳුරක් ඇති වුවහොත් එය සුවපත් කරලීමට බල වරමක් සහිත ඇඳුමක් ලාංකිකයන්ට ලබා දීමයි. මෙම ඇඳුමේ කොටස් උඩරට නර්තනයේ ඇඳුම් ලෙස අද දක්වා භාවිතා කෙරෙයි.

මෙහිදී වෙස් ඇඳුම සකස් වී ඇත්තේ මලය රජුගේ ඇඳුම ආශ‍්‍රයෙන් බව පැහැදිලිය. මෙය ආභරණ 64 කින් සමන්විත වී ඇත. සිංහල සමාජය තුළද රාජාභරණ 64ක් පිළිබඳව අදහසක් ඇත. රජෙකුට ආභරණ කට්ටල් ෞදකකි. එනම් රාජ කකුධ භාණ්ඩ, පෞද්ගලික ආභරණ යනුවෙනි. පෞද්ගලික ආභරණවල, ආභරණ 64 කි. මෙම ඇඳුම් කට්ටල දෙකෙහි විවිධ සමානතාද පවතියි. වෙස් ඇඳුම දේශීය ඇඳුම් සමඟද ඥාති සබඳතා දක්වයි. 

වෙස් නැට්ටුවාගේ ඉනෙන් පහළ ඇඳුම සලකා බැලූ විට උඩරට නිලමේවරයෙකුගේ ඇඳුමේ යටි කොටස අඳින ආකාරයට සකස් වී ඇත. තවද බෞද්ධ භික්ෂුවක් ස්වකීය උපසම්පදා කර්මයේදී අඳින ඇඳුමේ යටි කොටස අඳින ආකාරයට සමානකමක් දක්වන බව මුදියන්සේ දිසානායක මහතාගේ මතයයි. ඉන්දීය ඇඳුම්වලටද මෙය සමානකම් දක්වයි. වෙස් ඇඳුමේ හිසට පලඳින ශීර්ෂාභරණ කොටස මලබාරයේ රාජකීය ශීර්ෂාභරණයන්ගේ අනුකරණයක් බව සඳහන්ය. එදිරිවීර සරච්චන්ද්‍ර මහතා දක්වන්නේ වෙස් ඇඳුමේ යටි කොටස ගුජරාටි ධෝතිය අඳින ක‍්‍රමයට සකස් වී ඇති බවයි. මුදියන්සේ දිසානායක මහතා දක්වන්නේ වෙස් ඇඳුම් කට්ටලයට සමාන ඇඳුම් කට්ටලයක් දකුණු ඉන්දීය ”තෙයියම්” නම් නැටුමේ යොදා ගන්නා බවයි. 

වෙස් ඇඳුමට සමාන ඇඳුම් කට්ටලයක් බෙංගාලි දඩයක්කරුවන් ආදි කාලයේ ඇඳි බවටද මතයක් ඇත. මෙහි පපුව මත ඇති අවුල් හැරය නම් කොටස ශ්‍රී ලාංකික ජන සමාජයේ ප‍්‍රධාන ආර්ථික මාර්ගය වන වී ගොවිතැන් කරන කුඹුරු යායක ලියැද්ද බෙදී ඇති ආකාරයට සකස් වී ඇති බවට මතයක් ඇත. වෙස් තට්ටුව රාවණා රජුගේ ඔටුන්නේ නිරූපනයක් බවද කියවේ. තවත් මතයක් වන්නේ මලය රජුගේ ඔටුන්න රාවණා රජුගේ ඔටුන්න අනුව සකසා ඇති බවයි. රාවණා පෙලපතේ පාලන මධ්‍යස්ථානය වූ ආලකපුරය හෙවත් වර්තමාන සීගිරියේ චිත‍්‍රවල නිරූපිත රජ බිසවකගේ හිස් පළඳනාව ,විශේෂයෙන් එහි පායිම්පත නම් කොටස වෙස් තට්ටුවට නෑකම් කියන බව කියවේ. වෙස් ඇඳුමේ ශීර්ෂ ආභරණ අතර මුලින්ම දක්නට ඇත්තේ ජටාවයි. ජටාව මහා බ‍්‍රහ්මයා පැලඳගෙන සිටින සිලූමිණේ අනුරුවක් බවට විශ්වාසයක් ඇත. එහි බ‍්‍රහ්මයාගේ වරම් ඇති බව කියයි. මෙය ස්ථුපයක හැඩය ගැනීමට බෞද්ධාගමික අර්ථයක් බලපාන්නට ඇති බව අනුමාන කරයි. තෝඩුපත යනු වෙස් නැට්ටුවාගේ කන් වැසීමට යොදා ගන්නා කර්ණාභරණයයි. එහි පත්තිනියගේ වරම් ඇති බව විශ්වාස කරනු ලැබේ.