Tuesday, April 30, 2019

මාධ්‍ය ආචාර ධර්ම

    
ආචාර ධර්ම සඳහා මානව සංහතියේ ආරම්භය දක්වා දිවයන දිගු ඉතිහාසයක් පවතී. ගෝත‍්‍රික මිනිසා ක‍්‍රමයෙන් ශිෂ්ට සම්පන්න යුගයකට පිවිසෙන්නේ මෙම මානව ආචාර ධර්ම තුළින් ඔහුව මෙහෙයවනු ලැබූ නිසාය. මේ සඳහා ආදී ගෝත‍්‍ර සමාජවල නොයෙකුත් ඇදහිලි, වත් පිළිවෙත් හේතු වන්නට ඇත.

ලංකාවේ සන්නිවේදන ආචාර ධර්මවල ඉතිහාසය දෙසට අවධානය යොමු කරන විට දක්නට ලැබෙන්නේ නෛතික ඉතිහාසයකට වඩා පැරණි ඉතිහාසයක් අප සතුව තිබෙන බවයි. එය අපේ බුදුදහම ඇසුරින් සම්පාදනය වූ බෞද්ධ ආචාර ධර්ම පසුබිම් කරගෙන නිර්මාණය වූවක් ලෙස හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ. බුදුරදුන් දේශනා කර වදාළ ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළ ආචාර ධර්ම ක‍්‍රියාවලියක් පවතී. එහි ‘සම්මා’ යනු යහපත යන්නයි. පන්සිල් පද පහද බෞද්ධ ආචාර ධර්මවලට කදිම නිදසුනකි. මින් සිව්වන ශික්ෂා පදය මුසාවාදය හෙවත් බොරු කීමෙන් වැළකීම සන්නිවේදන කාර්යභාරයට ඉතා වැදගත් වේ.

ආචාර ධර්ම මිනිසාගේ චර්යාව හෙවත් හැසිරීම පාදක කොටගත් ශාස්ත‍්‍රයක් ලෙස හැඳින්වීමට පුළුවන. මෙය සමාජය හා බැඳී පවතී. මේ මගින් සමාජයේ යහපැවැත්ම හා පොදු යහපත නිර්මාණය කරනු ලබයි. විවිධ සමාජයන්හි පවතින ආචාර ධර්ම පද්ධති එක් කලෙකදී මහා ඉහළින් පිළිගන්නා සමාජයක් හෝ පුද්ගලයින් හෝ පුද්ගල කණ්ඩායම් තවත් කලෙකදී එය ප‍්‍රතික්ෂේප කිරීමට පුළුවන.

ජනතාවට තොරතුරු ලබා දීමේ කාර්යයේදී ජන මාධ්‍ය මූලික වී කටයුතු කරනු ලබයි. එමෙන්ම නව මාධ්‍ය ව්‍යාප්තියත් සමඟ ජනතාව ඒ ඔස්සේද තම තොරතුරු අවශ්‍යතා ඉටු කර ගැනීමට යොමු වී සිටියි.  මෙම සන්නිවේදන මාධ්‍යවල ව්‍යාප්තියත් සමඟ නිරන්තරයෙන් සාකච්ඡුාවට බදුන් වන මාතෘකාවක් බවට මාධ්‍ය ආචාර ධර්ම පත්ව ඇත.  

ඕනෑම වෘත්තියක වෘත්තීය ගෞරවය ආරක්ෂා කර ගැනීමට ආචාර ධර්ම නිරන්තරයෙන් වැදගත් වේ. මාධ්‍ය වෘත්තියටද මෙය එක ලෙස අදාළය. මාධ්‍ය වෘත්තිකයන් උදෙසාද විවිධ ආචාර ධර්ම පද්ධතීන් නිර්මාණය වී ඇත. උදාහරණ වශයෙන් පුවත්පත් මාධ්‍ය උදෙසා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය විසින් පුවත්පත් මණ්ඩල පනත යටතේ ආචාර ධර්ම සංග‍්‍රහයක් ඉදිරිපත් කොට ඇත. එලෙසම ශ්‍රී ලංකා කතෘ සංසදය විසින් සම්පාදනය කරන ලද ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම විසින් පිළිගැනුණු ආචාර ධර්ම සංග‍්‍රහය මේ සඳහා බලපානු ලබයි. එලෙසම අනෙකුත් මාධ්‍යයන් සඳහාද එයට අනන්‍ය වූ ආචාර ධර්ම පද්ධතීන් සැකසී ඇත.                  

තොරතුරු සමාජගත කිරීමේ ක‍්‍රියාවලියේදී ජන මාධ්‍යවේදීන් තරඟකාරී මාධ්‍ය සංස්කෘතිය හමුවේ සිය සමාජ වගකීමෙන් බැහැරව කටයුතු කරන ආකාරය පැහැදිලි වේ. කුඩා දැරියන් කාමාතුරයින් විසින් බිලිගන්නා ලද පුවත් වාර්තාකරණයේදී අමු අමුවේම ආචාර ධර්ම විරෝධී ලෙස ඡුායාරූප හා තොරතුරු සමාජගත කිරීම මෑත කාලීන සිදුවීම් වාර්තාකරණයේදී පැහැදිලි විය. මනුෂ්‍යත්වය තුළින් නිසඟයෙන්ම මතුව එන සංවේදී  ගුණය මුදලට හා ජනප‍්‍රියත්වයට විකිණී  ඇති  බව කණගාටුවෙන් වුවද සඳහන් කළ යුතුය. ”සියොතුන්ට නිළඹර අරා පියාසර කිරීමට අයිතිය ඇත. එහෙත් පියාසර කරවිත් මගේ හිසේ හා කොණ්ඬේ  කූඩු බැඳීමට අයිතියක් නැත.” යනුවෙන් හැරල්ඞ් ජේ ලැස්කි විසින් දක්වා ඇති ප‍්‍රකාශය ජන මාධ්‍යවේදීන් විසින් තරයේ සිහි තබාගත යුතුය. නිදහස භුක්ති විඳීමට තමන්ට අයිතියක් තිබූ පමණින් එය අයුතු ලෙස භාවිතයට ගැනීම  නොකළ යුතුය. තම තමන්ට පැවරී ඇති සමාජ වගකීම හා වගවීම පිළිබඳව සංවේදී ලෙස  කටයුතු කරලීම තුළ යහපත් මාධ්‍ය සංස්කෘතියක් බිහි කරලීම එතරම් අසීරු කරුණක් නොවනු ඇත.             

Monday, April 29, 2019

නොමියෙමි...මහගමසේකර





දහස් මුවකින් නැගෙන ඔල්වර
සිනා හඩ දසතින් ඇසේ
දහස් ගණනක් සෙනඟ අතරේ
මහා තනියක් මට දැනේ


Sunday, April 28, 2019

උඩරට නර්තන සම්ප‍්‍රදායට අයත් වන්නම් කෙරෙහි බලපෑ අන්තර් සංස්කෘතික ලක්ෂණ

උඩරට නර්තනයේ ආරම්භය සිදුවූයේ ලංකාවේ මධ්‍යම කඳුකර ප‍්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින්ය. සිංහල නැටුම් සම්ප‍්‍රදායන් අතරින් ප‍්‍රධානතම නර්තන සම්ප‍්‍රදාය ලෙස මෙය හඳුනාගත හැකිය. 19 වන සියවස අගභාගය වන තෙක් පිරිමින්ට පමණක් සීමා වූ මෙම සම්ප‍්‍රදාය ඉන්පසු කාන්තාවන් අතරටද ගමන් කළේය.මෙම නැටුම් ප‍්‍රචලිත වූයේ මහනුවර, උඩුනුවර, යටිනුවර, හත්කෝරළේ, හතර කෝරළේ, දුම්බර, හාරිස්පත්තුව යන ප‍්‍රදේශ ආශි‍්‍රතවය.

වන්නම් යනු එක් එක් අප‍්‍රාණික හා සප‍්‍රාණික වස්තූන් පිළිබඳ කෙරෙන වර්ණනා ඇතුළත් උඩරට නැටුම් කලාවේ ඉතා ප‍්‍රසිද්ධ අංගයකි. වර්ණ යන්න කේරළ ද්‍රවිඩ වචනයෙන් බිඳී ආ එකකි. වන්නම් ශ්‍රී වීරපරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ කාලයේ ගණිතාලංකාර නම් ඉන්දියානු පඬිවරයෙකු විසින් නිබන්ධනය කර ඇති බවද ඒ සඳහා මල්වතු විහාරවාසී භික්ෂුවකගේ සහාය ලැබී ඇති බවද සඳහන් වේ. තවත් මතයක් වන්නේ  ගණිතාලංකාර බමුණු පඬිවරයා වෙත පඬුරු පාක්කුඩම් යවා ලංකාවට ගෙන්වා ගත් නෙතර්මාලය නම් කෘතිය ඇසුරෙන් මල්වතු විහාරවාසී හිමිනමක් විසින් රචිත බවයි. ඉන්දියානු මහා සම්ප‍්‍රදායන්ගෙන් එකක් ලෙස සැලකෙන භරත නාට්‍යයේ එන වර්ණම් ආශ‍්‍රයෙන් සිංහල වන්නම් රචනා වූ බවටද මතයක් ඇත. මෙම මතවලින් පැහැදිලි වන්නේ බෞද්ධ ආභාෂය මෙන්ම භාරතීය සංස්කෘතියේ ආභාෂයද උඩරට වන්නම් රචනයේදී ලැබී ඇති බවයි.

වන්නම් 18ක් නිර්මාණය වීම පිළිබඳවද අන්තර් සංස්කෘතික ලක්ෂණ බලපා ඇත. ඉන්දියාවේ මෙන්ම ලංකාවේද 18 සුබ සංඛ්‍යාවක් ලෙස පිළිගැනෙයි. දේශීය වශයෙන් ගත්කල බුද්ධ ප‍්‍රතිමා නිර්මාණයේදී දහඅට රියන් ලෙසද ශාන්ති කර්මවලදී දහඅට සන්නිය ලෙසද ග‍්‍රන්ථ රචනයේදී දසට පුරාණ ලෙසද කුල ගෝත‍්‍ර දැක්වීමේදී දහඅටක් වනක් ලෙසද තවද දහඅට දේශය, දසට භාෂා, අෂ්ඨ දස ශීලය, දසඅට යොදුන්, දහඅට දහසක් ලෙසද පොතපතෙහි මෙන්ම ජනවහරෙහිද සඳහන්  වන්නේ මේ හේතුවෙනි.

දකුණු  ඉන්දියාවේ පාණ්ඩ්‍ය දේශයේ චූලකෘති දසඅට නමින් පොතක් තිබී ඇත. කේරළයේ දහඅට විද්‍යා නමින් ග‍්‍රන්ථයක් රචනා වී ඇත. කර්ණාටක ප‍්‍රාන්තයේ කිලක් කනත්තු දහඅට නමින් උපදේශ ග‍්‍රන්ථාවලියක් හමුවී ඇත. මේ හේතු සාධක නිසා මෙම රටවල් දෙකෙහිම 18 යන සංඛ්‍යාවට විශේෂ ස්ථානයක් හිමිවී ඇත. දකුණු ඉන්දියාව තුළ වන්නම් 18 ක් පැවති බව නීලකණ්ඨ ශාස්ත‍්‍රි මහතා ඔහුගේ දකුණු ඉන්දියා ඉතිහාසය පොතෙහි දක්වා ඇති බව එස් කුලතිලක මහතා පෙන්වා දෙනු ලබයි.

උඩරට වන්නම්වල භාෂාව විමසීමේදී විවිධ සංස්කෘතීන්ගේ ලක්ෂණ දැකගත හැකිය. ද්‍රවිඩ වචන, තෙලිගු වචන, සංස්කෘත වචන, වියත් සිංහල බස, ගැමි ව්‍යවහාරික බස, වියත් බසෙහි ඇතැම් රීතීන් බිඳහැර තමාගේම ආකෘතියකට රචනා කිරීම ආදී භාෂා රටා ප‍්‍රමුඛව දැකගත හැකිය. නිදසුන් ලෙස මුසලඩි වන්නම, මුසල් + අඩි යන තෙලිගු වචන යුගලය සන්ධි වීමෙන් නිර්මාණය වූ පදයකි. මුසල් යන පදය ද්‍රවිඩ බසෙහි සාවා යන අරුත ගෙන දෙයි. නෛඅඩි යන වචනය නාගා යන ද්‍රවිඩ වචනයෙන් සිංහලයට තත්භව වූ නයි යන වචනයට අඩි යන තෙලිගු පදය එක් වීමෙන් නිර්මාණය වී ඇත. හනුමා යන්නද ද්‍රවිඩ හනුමාන් යන වචනයේ තත්සම යෙදුමකි. වෛරෝඩි යන වචනය සංස්කෘත බසෙහි එන වෛදුර්ය යන ශබ්දයෙන් තෙලිගු හා දෙමළ භාෂාවට එක් වු වචනයකි.

සිංහරාජ වන්නමේ ප‍්‍රස්තුතය පැරණි ජන කතාවක් තේමා කරගෙන ඇත. එනම් අප කුඩාකල සිට අසා තිබෙන වයසක සිංහයෙක් ගොදුරු සොයා ගැනීමට අපහසු නිසා තමාගේ ගොඳුරු පිණිස වනාන්තරයේ සතුන් උපායශීලීව තම ගුහාව වෙත ගෙන්වා ගැනීමේ කතාන්දරයයි. බොහෝ අවස්ථාවල ගැමි සමාජය තුළ දකින උපදේශනය වන්නම් තුළ දැකගත හැකිය. මේ උඩරට වන්නම් තුළ ඇති ගැමි සංස්කෘතික ආභාසයයි. ගාහක, සැවුලා, වෛරෝඩි, මයුරා, සුරපති, ගණපති, ආදී වන්නම් දේවකතා ආශ‍්‍රිතව ගොඩනගා ඇති නිසා හින්දු සංස්කෘතික ලක්ෂණවලට සමීප වේ.

හින්දුන්ගේ ශුද්ධ වස්තුවක් වශයෙන් සැලකෙන ගංගා නම් ගගෙහි ජලය දක්ෂිණාවෘත්ත සංඛයෙන් ගෙන රජුන් නැහැවීම පැරණි රජ දරුවන් අභිෂේක කිරීමේදී යොදාගත් අනිවාර්ය චාරිත‍්‍රයකි. සංස්කෘත භාෂාවෙන් දක්ෂිණාවෘත සංඛයට ගාහක යන නම ව්‍යවහාර කෙරේ. රාජාභිෂේකයට මුල් වූ දක්ෂිණාවෘත මංගල සංඛය මුල්කොටගෙන ගාහක වන්නම සකස් වී තිබේ.

මංගල සංඛ නාදයෙන් සෑම සුභ කටයුත්තක්ම ආරම්භ කිරීම පැරණි දේශීය චාරිත‍්‍රයයි. හක්ගෙඩියේ නාදය උස්පහත් වෙමින් නැගෙන ආකාරය හා පැතිර යන ආකාරය මෙම වන්නමෙන් මූර්තිමත් වේ. එහෙයින් වන්නම් පටුන සැකසීමේදී ආරම්භක වන්නම ලෙස මෙය යොදාගෙන ඇත. සක‍්‍ර යනුවෙන් වන්නම ආරම්භයේදී ගැයෙන පදය බෞද්ධ සාහිත්‍යයේ එන සක් දෙවිඳුන් හැඳින්වීමට යොදයි.  එහෙයින් ලාංකීය සංස්කෘතික ආභාසය මෙන්ම භාරතීය ආභාසයද මෙම වන්නම කෙරෙහි බලපා ඇත. 

සැවුලා වන්නම ස්කන්ධ පුරාණයේ එන සුර අසුර යුද්ධයේදී ස්කන්ධ කුමරුන්(කඳ කුමරු* විසින් තාරක නම් අසුරයා දෙපලූ කොට මැරීමේ පුවත පසුබිම් කොටගත් නිසා හින්දු දේව සංකල්ප මත පදනම් වේ. සැවුලා යන පදය ෂාවල් යන ද්‍රවිඩ පදයෙන් උපන් සිංහල තත්භවයකි. වෛරොඩි වන්නම ඉසුරු හා කෙහෙතු යන චරිත වටා ගෙතී ඇති නිසා හින්දු සංකල්ප හා සම්බන්ධ වේ. හින්දු ආගම මගින් සමාජය කෙරෙහි ඇතිකල බලපෑම මෙමගින් පැහැදිලි කරයි. මයුරා වන්නම කතරගම දෙවිඳුන්ගේ වාහනය වන මොණරා පිළිබඳ සිහිපත් කරයි. සුරපති වන්නම ඊශ්වර හා උමයංගනාව අතර පේ‍්‍රමය අලලා කෙරෙන ඊශ්වර දෙවි පිළිබඳ වර්ණනයකි. ගණපති වන්නමෙන් ගණ දෙවිඳුන් ගැන විස්තර වේ . මේ සියලූ දෙවිවරුන් හින්දු සංස්කෘතිය හා සම්බන්ධ වේ.
තුරඟා වන්නම සිදුහත් කුමරුන් ගිහිගෙයින් නික්මීම හෙවත් මහා අභිනිෂ්ක‍්‍රමණය පිළිබඳව සිහිපත් කරයි. ගජගා, ඊරඩි, උදාර යන වන්නම් පැරණි සිංහල ග‍්‍රන්ථවල වෘත්තාන්ත අනුව සැකසී ඇත. තවද ගජගා වන්නමෙන් දළඳා කරඬුව හිස මත තබාගෙන ගමන් කරන මංගල හස්ති රාජයාගේ ගමන් විලාශය  නිරූපණය කරයි. සරත් විජේවර්ධන මහතා පෙන්වා දෙන්නේ මේ සියල්ල චිරන්තන සිංහල සාහිත්‍යයේ ආභාසය ලබා ඇති බවයි. උරගා වන්නම ජන සංස්කෘතියෙන් උපත ලබා ඇත. එය ”නයි පොළොන් වෛරය” ඇතිවූ ජන කතාව සිහිපත් කරයි. උකුසා, මුසලඩි, කිරලා, හනුමා යන වන්නම් ගැමි පරිසරයේ නිරන්තර දක්නට ඇති සතුන්ගේ හැසිරීම් තාත්වික ලෙස පෙන්නුම් කරයි. අසදෘස වන්නමේ ආරම්භයේදී ත‍්‍රිවිධ රත්නයට වැඳ නමස්කාර කරන නිසා බෞද්ධ ලක්ෂණ පෙන්නුම් කලද එහි අන්තර්ගතය තුළ හින්දු ආගමික තොරතුරු විස්තර වේ. නෛඅඩි වන්නම භූරිදත්ත ජාතකය පදනම් කර ගනිමින් අප බෝසතුන් එක් කලෙක නාග  ලෝකයේ ඉපිද බොහෝ දුක් ගැහැට විඳිබව පෙන්නුම් කරයි.

ඇතැම් වන්නම්වල නාද මාලාව දකුණු ඉන්දියානු ජන සංගීතයෙන් ආභාසය ලබා ඇති බව සරත් විජේවර්ධන මහතා පෙන්වා දෙනු ලබයි. ඇතැම් නාදමාලා සිංහල ගැමි නාදමාලා අනුව සකස් වී ඇත. නිදසුනක් ලෙස උදාර වන්නමේ නාද මාලාව පාරම්පරික නෙලූම් ගීතයකට අයත් නාද මාලාවක් අනුව සකස් වී ඇත. වන්නම් සංගීතය ගත්කල එය මහනුවර සමයේ සිංහල ජන ගැයුම්වල මෙන්ම ද්‍රවිඩ ගැයුම්වලද එකතුවක් බව සඳහන් වේ. මේ අනුව පැහැදිලි වන්නේ උඩරට වන්නම් 18 නිර්මාණය වීම උදෙසා විවිධ සංස්කෘතික ලක්ෂණ බලපා ඇති බවයි.

ආශ‍්‍රිත මූලාශ‍්‍ර
උඩරට නැටුම් කලාව, ජේ.ඊ සේදරමන්
සිංහල නර්තන කලාව, මහාචාර්ය මුදියන්සේ දිසානායක
වන්නම් ගීත සාහිත්‍ය විචාරය, ඥානසිරි පීරිස්, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව                                                 

Friday, April 26, 2019

මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා....


”එකකට එකක් සම්බන්ධ එකක් පස්සෙ එකක් ගමන් කරන දේට මිනිස්සු කියන්නෙ ජීවිතය කියලා...එකකට එකක් සම්බන්ධ නැති මෙන්න මේකයි කියන්න හේතුවක් නැති දේකට මිනිස්සු කියන්නෙ ආදරය කියලා...”
මේ සමනළ සංධ්වනිය චිත‍්‍රපටයේ ආරම්භය...චිත‍්‍රපටයට තේමා වෙන්නෙ හරි අපූරු ආදර කතාවක්. ඔහු වාදීශ වික‍්‍රමනායක...

”ඉකිගසා හඩන අතීතයක 
කඳුලූ එක්ක ගණුදෙනු කරනා 
මට මගේ නොවන 
මගේම ආදරයක් තිබුණා...

හීනෙන් හිනැහී තුන්යම මා රවටා
මැදියම් මහ  රෑ  අදටත් දුක ඉගිලෙනවා
නින්දෙන් ඇහැරී කලූවරේම යළි සොයනා 
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා
මගේම ආදරයක් තිබුණා... 

රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා
උහුලනු බැරි තැන උණු කඳුලූම වගුරවනා 
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා
මගේම ආදරයක් තිබුණා... ”

මේ ගීතය තුළින් ඔහු පේ‍්‍රක්ෂකයා කොහේදෝ ලෝකයක අතරමං කරනවා කියලයි මට හිතෙන්නෙ. ඒ අතරමං කරවීම හදවතේ සියුම්ම තැන් පවා ප‍්‍රකම්පනය කරන්නට සමත්... මේ ගීතයට ගොඩාක් අය හදවතින්ම සමීප වෙනවා. හේතුව...අපි හැමෝටම අපේ ජීවිතේ එකම හරි අවස්ථාවක තමන්ගේ නොවන තමන්ගේම ආදරයක් තියෙනවා.. එහෙම නැත්නම්  ඒ වගේ ආදරයක් තිබිලා තියෙනවා..

නොකී මුත් වචනයෙන් කිසිවිට
දරා ඉන්නා නමුත් සිත යට
වසන් කරන්නට බැරිය එය මට
දෙනෙත දෙනෙතින් බැඳී ගිය විට 

මහගමසේකරයන්ගේ මෙකී පදවැල් අතර කියාගන්නට නොහැකි වූ නමුත් ජීවිත කාලය පුරාවටම බලා හිඳ මියගිය පේ‍්‍රමයන් අප අතර කොතෙකුත් ඇති. ආදරය අපි හැමෝම හොයන දෙයක් වේදනාවෙන් මිරිකි මිරිකී යදින දෙයක්.  
”ජීවිතය කියන්නෙ සුන්දර පිපාසයක්. ඒ පිපාසය යම් තරමක් හරි සංසිදෙන්නෙ ආදරය කියන දේ ලැබුනාම විතරයි. ඒකයි හැමෝම ආදරේ පිටුපස්සෙ දුවන්නෙ. කොච්චර හති වැටුනත් ඒ පස්සෙම දුවන්නෙ. හදවත් ගිනි ගනිද්දිත් සිරුරු රිදුම් දෙද්දිත් අපි හඩ හඩා, හඩ හඩා ආදරය සොයන්නෙ ඒ නිසයි.”

වාදීශ වික‍්‍රමනායක ආදරේ කරන්නෙ පුණ්‍යාගේ මේ සිතුවිලිවලට. වාදීශට පාසල් යන අවධියේ අහම්බෙන් ලිපියක් කියවන්න ලැබෙනවා. චිත‍්‍රපටය පුරාවටම විහිදී ගිය කතාවේ හටගැන්ම එයයි. එය ආදර ලිපියක්. නමුත් එය ඔහුට අයිති ලිපියක් නොවෙයි. පුණ්‍යා නැමැති තරුණියක් රේවත නැමැති තරුණයෙකුගේ ආදරය පිළිගත් බව සඳහන් කෙරුණු ලිපියක්. මේ ලිපිය වාදීශගෙ මුලූ ජීවිතයම වෙනස් කරවනවා. කෙනෙකුට හිතෙන්න පුලූවන් ලියුමකට මෙච්චර දෙයක් කරන්න පුලූවන්ද කියලා. වාදීශට තමන්ව අමතක වන තරමටම මේ අකුරු ඔහු වෙනස් කළාද කියන එක. නමුත් ඔහු කෑගසා ආමන්ත‍්‍රණය කරන්නෙ පුණ්‍යාවයි. උනුන් නොදැන නොදැක වූවද ආදරයේ සියුම් ස්පර්ශය ආත්මය වසාගත් කළ එයින් හද පාරාගත් මිනිසුන්ගේ කතාව මෙයම නොවේදැයි මට සිතෙයි.

ඔහු වසර දෙකක්ම ලිපියේ සඳහන් ආකාරයට පුණ්‍යා හමුවීමට මාර්තු 7 වෙනිදාට කුමාරි උයනට යනවා. ඇයව දැක ගැනීමට හැකි වූවත් කතා කිරීමට අවස්ථාවක් ඔහුට උදා වෙන්නෙ නැහැ. මෙම ලිපිය ආපසු භාරදීමට නොහැකි වීම ගැන ඔහු පසුතැවෙනවා. එය විසි කිරීමට තැත් කළද එය ඔහුගේ ආත්මය තුළටම රිංගා ඔහු තුළම ජීවත් වෙනවා. පුණ්‍යා යනු ඔහුට වඩා වයසින් වැඩි තරුණියක්. ඔහු කුඩා දරුවෙක්. නමුත් ඔහු පෙම් බඳින්නේ ඇයගේ සිතුවිලිවලට. ඔහුගේ හදවත පුරා දෝංකාර දෙන්නේ ඒ සිතුවිලි. ඔහු තරුණ වියට පත්වූ පසුත් ඔහු තුළ ඇය ජීවත් වෙනවා. ඔහු ඒ දුක සිතේ සිර කරගෙන ගී ගයමින් වේදනාව ඉගෙන ගන්නවා. කිසිවෙකුට කියන්නට නොහැකි වූ ඒ වේදනාවේ දෝංකාරය මෙම ගීතය බවට පත්වෙනවා.         

වාදීශ හරි අපූර්ව දෙයක් අවසානයේ කියනවා.” මුතු ඇටයක් බවට පත් වෙන්නෙ බෙල්ලෙකුගෙ බෙලි කටුව තුළ සිරවූ වැලි කැටයේ වේදනාව...” ඔහු කියන්නෙ සියල්ල පැමිණෙන්නෙ වේදනාවෙන් කියලා... චිත‍්‍රපටය අවසන් වෙන්නෙත් මෙම ගීතයෙන්. ඇත්තටම මෙම ගීතය ආදරයේ සංධ්වනියක් කියලයි මට හිතෙන්නෙ. චිත‍්‍රපටය අධ්‍යක්ෂණය  ජයන්ත චන්ද්‍රසිරි. මෙම ගීතයේ පද රචනය අමිල තේනුවර. ගීතය සංගීතවත් කළේ දර්ශන රුවන් දිසානායක. ගීතය ගායනය අමරසිරි පීරිස්.

ඔබත් ඔබේම ලෝකයක තනිවී සිටිනා මොහොතක මෙම ගීතය රසවිඳින්න. කිසිදා හිමිකරගන්නට නොහැකි වූ නමුත් සිතුවිල්ලකින් ඔබේම පමණක් වූ ඒ ආදරය ඔබේ හදවත කොනක තවමත් ජීවත් වන බව ඔබට දැනේවි...  

Wednesday, April 24, 2019

කාටූන් සහ ළමා මනස




 
අව්‍යාජත්වයේ හා සුන්දරත්වයේ විශ්වමය සංකේතය  වශයෙන් ළමයා හඳුනාගත හැකිය.    කාටූන්, යනු අව්‍යාජ ළමා මනස තුළ ව්‍යාජ ප‍්‍රතිරූප සකසනු වස් වර්තමානය වන විට වේගයෙන් ව්‍යාප්ත වන ජනප‍්‍රිය වැඩසටහන් විශේෂයකි. මේවා නිර්මාණය කරනු ලබන්නේ වැඩිහිටියන් විසිනි. නමුත් මෙම කාටූන් නරඹනු ලබන්නේ දරුවන් විසිනි. වැඩිහිටියන් විසින් නිර්මාණය කරනු ලබන මෙම වැඩසටහන් තුළ ළමයින්ගේ සිතුම් පැතුම් නියෝජනය වනවාද? යන්න ගැටලූවකි. අතීතයේදී දරුවන්ගේ ලෝකයේ වීර ප‍්‍රතිරූප චරිත වූයේ ඉතිහාස කතා, ජාතක කතා, ජන කතා, සුරංගනා කතාවල එන ආදර්ශවත් චරිතයන්ය. ඔවුන්ගේ ළමා මනස පෝෂණය වූයේ වැඩිහිටියන්ගෙන් අසා දැනගත් එම කතා තුළිනි. වර්තමානය වන විට කුඩා දරුවන්ගේ සිත් තුළ වීරයන් බවට පත්ව ඇත්තේ කාටූන් තුළ අන්තර්ගත චරිතයන්ය.  ඕනෑම දෙයක හොඳ සහ නරක අඩු වැඩි වශයෙන් ඇත. වර්තමාන කාටූන් වැඩසටහන්වල අන්තර්ගතය පරික්ෂා කිරීමේදී යහපත් දේ වලට ළමයා පෙළඹවීමට වඩා ළමා මනස තුළ සංකීර්ණ අයහපත් සිතුවිලි වර්ධනයට කාටූන් වැඩසටහන් බලපාන බව හඳුනාගත හැකිය.

කාටූන් වැඩසටහන්වලට ඇබ්බැහි වීම නොමේරු දරුවන්ට බලපාන අයුරු පිළිබඳ පර්යේෂණ බොහොමයක් වෙයි. ප‍්‍රබන්ධ සහ සත්‍ය ලෝකය අතර වෙනස වැඩිහිටියන් විසින් අවබෝධ කර දුන්නොත් මිස ළමයින් ඒවා තේරුම් ගන්නේ නැත. ඔවුන්ට ඒවා තේරුම් ගැනීමේ ශක්තියක්ද නොමැත. කාටූන්වල චරිත සහ ඔවුන්ගේ ගති ලක්ෂණ ළමා මනස තුළ ගැඹුරින්ම තැන්පත් වෙයි. දිනකට පැය තුන හතරක් කාටූන් නරඹන දරුවන් තුළින් ප‍්‍රචණ්ඩකාරී සහ අකීකරු හැසිරීම් ප‍්‍රකට කෙරෙන බව පර්යේෂණ වලින් හෙළිවී තිබේ. බොහෝ කාටූන්වල අනුකම්පා විරහිතව සිදු කෙරෙන පහර දීම් සහ මරා දැමීම් සුලභව අන්තර්ගත වන අතර එසේ කිරීම සමාජ විරෝධී ක‍්‍රියාවක් සහ වින්දිතයාට හෝ මරණයට පත් වන්නාට වේදනාවක් ඇතිවන දෙයක් බවත් නොහැඟවෙයි. මෙම තත්ත්වය විසින් දරුවා ප‍්‍රචණ්ඩකාරී සමාජ විරෝධී ක‍්‍රියාවල නිරත වීමේ නොතිත් ආශාවකින් පෙළෙන තත්ත්වයකට පත්වන බව මනෝ විද්‍යාඥයෝ අවධාරණය කරති.

වර්තමානය වන විට ළමයාගේ විවේක කාලය සොරාගන්නා මාධ්‍යයක් වශයෙන් කාටූන් හඳුනා ගැනීමට හැකිය. බොහෝ විට සවස් කාලයම ඔවුන් ගතකරනුයේ රූපවාහිනිය තුළින් කාටූන් නැරඹීමෙනි. ඔවුන්ගේ සෙමෙන් වැඩෙන මනස වර්ධනය වන්නේ මෙම කතා මාලාවන් හරහාය. ළමයා වැරදි ආහාර රටාවන් කෙරෙහි යොමුවීම, සංවේදිතාවයෙන් තොර පිරිසක් බවට පත්වීම, ත‍්‍රාසජනක අත්දැකීම් ලබා ගැනීමට වැඩි කැමැත්තක් දැක්වීම, ආත්මාර්ථකාමී සිතුවිලි වර්ධනය වීම, නිර්මාණශීලීත්වය හීනවීම යනාදිය ඇතිවීම කෙරෙහි කාටූන් සෘජු වශයෙන්ම බලපානු ලබයි. බොහෝ විට මෙම වැඩසටහන් කෙරෙහි ළමයා ආකර්ෂණය වන්නේ ළමා මනස තුළ අත්දැකීම් අඩු වීම නිසාය. එබැවින් මෙමගින් ඉදිරිපත් කරන තේමාවන් ළමයාගේ ජීවිතයට නව අත්දැකීමකි. ඔවුන් එහෙයින් මෙම චරිත අනුකරණයට පෙළඹෙයි. සමාජය තුළදී තම තමන්ට රුචි වූ වීර චරිතයන් ආරූඩ කර ගනිමින් ඔවුන් තම හැසිරීම සකස් කරගනු ලබයි. බැට්මෑන්, සුපර්මෑන්, ස්පයිඩර් මෑන් වැනි කාටූන් තුළ, රූපරාමු හා දර්ශන වල වේගවත් බව, අස්වාභාවික සිදුවීම් වැනි දෑ නැරඹීම තුළ ළමයා තුළ ඇති ස්වභාවික චින්තන හැකියාවන් ඔවුන් කෙරෙන් දුරස්වීමට ඇති ප‍්‍රවණතාවය වැඩිය. යථාර්ථය සහ කල්පිතය වෙන් කර ගැනීමට තරම් ඔවුන්ගේ මනස දියුණු වී නොමැත.

කාටූන් යනු අතිශය නිර්මාණශීලී ප‍්‍රකාශන මාධ්‍යයක් වශයෙන් හඳුනාගත හැකිය. විශේෂයෙන්ම මේ තුළින් ළමයාට වඩාත් සමීප වන ලෙස රූප රාමු සහ භාෂා මාධ්‍යය උපයෝගී කරගත හැකිය. දරුවන්ගේ මනසට අවශ්‍ය දෑ මෙන්ම අනවශ්‍ය දෑ හඳුනා ගැනීම නිසිආකාරව වැඩිහිටියන්ට සිදු කළ හැකි නම් ඔවුන්ගේ චර්යාවන් හා සිතුවිලි කෙරෙහි වඩාත් හිතකර මාධ්‍යයක් වශයෙන් කාටූන් භාවිත කරලීම කිසිලෙසකින් වරැද්දක් වශයෙන් හඳුනාගත නොහැකිය. 


     

Monday, April 22, 2019

උලලේනා හෙවත් මරණයට පෙර නිමිති කියන්නා


 Image result for devil bird
උලමා හෙවත් උලලේනා නමින් හදුන්වන පක්ෂියාගේ නාදයට ඈත අතීතයේ සිට අපේ වැසියන් ඉමහත් බියක් දැක්වූවා. ඒ වගේම තමයි පැරණි අයගේ මතයක් තිබුණා උලලේනා කෑ ගහනවා ඇහුණොත් ඒ දේ හරිම මූසල දෙයක් කියලා. උලලේනාගේ හඩ ඇහුනොත් කෙනෙක්ගෙ වියෝවක් අනිවාර්යෙන්ම සිද්ධ වෙන බව ඔවුන් විශ්වාස කළා. උලලේනාගේ උපත පිළිබඳව ජනශ‍්‍රැතියේ විවිධ කතා පවතිනවා.

”මසට ගිජු වූ පවුලක වැඩිහිටියන් මස් නොමැතිව එක් වේලක්වත් කෑවේ නැත. වැඩට යන වැඩිහිටි දෙදෙනාට ඇති දේ උයා පිහා දුන්නේ ගෙදර සිටි අරක්කැමි ඥාතී ස්ත‍්‍රියකි. දිනක් පිසීමට මස් නොතිබුණ නිසා පවූලේම බිලිදු දරුවා මරා උයා තිබුණි. වෙනදාට නැති රසවත් මස් බුදින මවට දරුවගේ ඇගිල්ලක් හැපුණි. ඒ ගැන ඇය විමසූ විට අරක්කැමි ස්ත‍්‍රිය රහසින් එළියට පැන දිව්වාය. ඇය පසුපසින් හැන්ද ඔලූවේ ගසාගෙන ” මගේ දරුවා කෝ ” කියා ලතෝනි දෙමින් මවද දිව්වාය. මියගිය උපන් ඇයගේ දෙවෙනි උපත උලමා විය.”
මේ ඒ පිළිබඳ එක් කතාවක්.

අදත් උලමාගේ හිසේ හැඳි ලකුණක් පවතිනවා. ඒ වගේම මේ කුරුල්ලාගේ හඩළතෝනිය වැහි ආසන්න බවට පෙර නිමිත්තක් බවත් ගැමියන් විශ්වාස කළා. යක් කුරුල්ලා කියලා කියන්නෙත් මේ කුරුල්ලටම බව ජනප‍්‍රවාදයේ සඳහන් වෙනවා. අතීත වැසියන් මේ පක්ෂියා භූත ආත්මයක් බවද විශ්වාස කළා. උලලේනාගේ කන්දොස්කිරියාව ඉවසන්න බැරිම තැන අපේ ගැමියන් මෙම පක්ෂියාගේ මුඛ බන්ධනය කරලා තියෙනවා. ඒත් ඉතා සුළු මොහොතකින් ඔවුන් විසින් මෙම මුඛ බන්ධන ඉවත් කරලා තියෙනවා. ඒ මේ සතා ගැන අනුකම්පා හිතිලා. මුඛ බැදීමේ වස් කවි රාශියක් ගැමියන් අතර පැවතී තිබෙනවා.

”උලලේනයි උලලේනයි තෝද බොල 
නාඩා ඉන්ඩ  තොට වරමක් දුනිද බොල   
අනඳ මහ තෙරිඳු පටියෙන් බැන්ද බොල 
මෙතේ බුදුන් බුදු වෙනකං නාඩ බොල”

මේ ඒ අතරින් එක් වස් කවියක්. පැරණි ගැමියන් සතුන් පිළිබඳව විවිධ විශ්වාසයන් ඇතිකර ගත්තා.  ඒ විශ්වාසයන් ඔවුන් තම ජීවිත හා සමීප කර ගත්තා. උලලේනා ගැන ඔවුන් හිතුවෙ මරණයේ පණිවිඩය අරන් එන සංකේතයක් විදිහට.

”පාලූව දෙවනක් කරලා
නාඩන් උලලේනෝ
කාටත් නපුරු දා තනිකම් ඇතිවෙනවා
උලලේනෝ උලලේනෝ ”

විශාරද ගුණදාස කපුගේ ශූරීන්ගේ හඩින් මෙම ගීතය ගැයෙන විට පාලූව, තනිකම, හුදකලාව කරපින්නාගත් උලලේනාගේ හඩෙහි කිසිවෙකුටත් කියන්නට නොහැකි වූ ශෝකී ස්වරයක් කැටිව ඇතැයි මට සිතුනා....   


 

Saturday, April 13, 2019

හුස්ම


මිහිතලය මත ජීවත් වන මිනිසාගේ පමණක් නොව සියලූ සතාසීපාවාගේ හුස්ම පොදට ජීවය දෙන්නේ තුරු ලතාවන්ය. එපමණක් නොව අපගේ පණනල රැකදීමට ආහාර ජලය හා බෙහෙත් මෙන්ම මානවයාගේ ජීවිතයට අවශ්‍ය කරන බොහෝ දේවල් ඔවුන් නොපැකිලිව සපයනු ලබයි. හරිත පැහැය සැබවින්ම නෙතට ආශ්වාදයකි. ගත සිත ප‍්‍රබෝධමත් කරලීමේ විශ්මිත බලයක් ඔවුන් සතුය. නමුත් අද වන විට මේ හරිත ලෝකයේ පරම සතුරා බවට මිනිසා පත්ව ඇත. අපගේ ජීවය තුරුලූ කරගත් තුරු ලතාවන් දිනෙන් දින මින්සාගේ අසීමිත ආශාවන් පිනවනු වස් අහිංසක ගොදුරු බවට පත්ව ඇත. මෙම ආක‍්‍රමණශීලිත්වය හමුවේ ගස් වැල් හෙලන කදුලූ  ඔවුන්ගේ අදෝනාවන් කිසිවෙකුට නොඇසෙයි. ඇසුනද කිසිවෙකු සවන් නොදෙයි. ඔවුන්ගේ වටිනාකම් අවබෝධ කරගත් බොහෝ රටවල් කෘත‍්‍රිමව පවා ඔවුන්ව නිෂ්පාදනය කරලන්නට වෑයම් කරන මොහොතක අපගේ අරමුණ වී ඇත්තේ ඔවුන්ව බිල්ලට දී හෝ අපගේ වුවමනාවන් ඉටුකර ගැනීමටය. මිනිසාගේ නොනවතින ආශාවන් හමුවේ ඔවුන් මියැදෙමින් සිටියි. අපෙන් කිසිවක් බලාපොරොත්තු නොවීම අපව මියැදෙන්නට නොහැර ඔවුන්ගේ සාරය අපට ලබාදෙයි නම් අපද ඔවුන් ජීවත් කළ නොහැකිද   
මිහිකත අපගේ මව වේ. මිහිකතට සිදුවන කුමන හෝ අවාසනාවන්ත දෙයක් එහි දරුවන්ට සිදුවේ. මේ භූමිය මිනිසුන් විසින් කෙලෙසා දැමුවහොත් ඉන් සිදුවන්නේ තමන්ව කෙලෙසාගැනීමක් බව මතක තබා ගන්න. මේ ගස්වැල්වල ජීවය මිනිසාගේ ජීවයට සම යැයි සිතූ පරිසරයට බෙහෙවින් ආදරය කළ රතු ඉන්දියානු නායක සියැටල්ගේ හඩයි.
තුරු ලතාවන් මහපොළව මතට කපා හෙලීම සැබවින්ම සාපරාධයකි. අප විසින් සිදු කරනු ලබන මෙම අපරාධයට වන්දි ගෙවිය යුත්තේ අපගේ අනාගත උරුමක්කාරයින්ය. ඔවුන්ට තුරු ලතා නොමැති ලෝකයක අපිරිසිදු වාතයෙන් ආරක්ෂා වන්නට මුඛවාඩම් සහිතව ආශ්වාස  ප‍්‍රාශ්වාස කිරීමේ දිනය වැඩි ඈතක නොවන බව අප විසින් තරයේ මතක තබා ගත යුතුය.
මෙවන් ඛේදවාචකයන් රට තුළ සිදු වන විට තම තමන්ට හැකි අයුරින් පරිසරය වෙනුවෙන් නිහඩ සේවයක් සපයන මින්සුන් නැතුවාම නොවේ. ස්වභාදහමේ ආශිර්වාදය ඔවුන්ට නිරන්තරයෙන් හිමිවේ. ජීවත් වීමට මහත් අසීරු තත්ත්වයක් නිර්මාණය වෙමින් ලෝකයේ උෂ්ණත්වය වේගයෙන් ඉහළ යමින් පවතියි. මෙයට වගකිව යුත්තෝ කවුරුන්ද  පරිසරයේ අසීමිත ඉවසීම ආයුධයක් කර ගත් අපට නොබෝ දිනයකදීම පරිසරයෙන්ම එයට ප‍්‍රතිචාර හමුවනු නිසැකය.
ඔවුන්ට අවශ්‍ය අපගේ ආදරයයි. ඔවුන් වෙනුවෙන් අපගේ හඩ පමණක් නොව ක‍්‍රියාවෙන්ද ඔවුන්ට කළගුණ සැලකීම අප විසින් කළ යුතුම දෙයකි. තුරු ලතා විනාශ කරලීම නවතා දමමු. අපගේ හුස්ම පොද පමණක් නොව ඔවුන්ගේ හුස්ම පොදද අප විසින් රැක ගැනීම කළහොත් සැබවින්ම එය මිල කළ නොහැකි උතුම් ක‍්‍රියාවකි.


Wednesday, April 10, 2019

සඳට පෙම් බැඳි සුනිල් සරත් පෙරේරා කිවිඳුන්...


ඇය යන්න ගියා මැකිලා....
වන සිරසක තුරු සෙවණැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා....
පිණි කඳුලක් මල් පෙති අග තවරා
මිහිඳුම් සළුවෙන් මුහුණ වසා

නිල්ල නිලන නිල් කඳුවැටි අතරේ
සඳ එළියේ මං පෙත පාදා
රහසක් සඟවා ගොළු වූ හදකින්
යන්න ගියා මැකිලා....

යළි කවදාවත් හමු නොවෙනා බව
මද පවනක් හිස අතගා කීවද
අදහා ගන්නට නොහැකිය කිසිදින
ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර
යන්න ගියා මැකිලා....         
 
1943 මාර්තු 05 වනදා කිරිල්ලපනේදී උපත ලද සුනිල් සරත් පෙරේරාගේ පියාණන් වූයේ එම්.ඇල්බට් පෙරේරාය. මෑණියෝ සුසියන්ද අල්විස් වෛද්‍යරත්න නම් විය. ඔහුට නන්දනී හා පද්මිණී නමින් බාල නැගණියන් දෙදෙනෙක් විය. ලූම්බිණි විදුහලෙන් මෙන්ම බම්බලපිටියේ සිරි වජිරාරාමයේ දහම් පාසලින් ලද අධ්‍යාපනය පසු කලෙක ඔහුගේ කලා කටයුතු සඳහා මහත් පන්නරයක් විය. ඔහුගේ ප‍්‍රිය බිරිඳ වූයේ සරෝජිනී හේමලතා මහත්මියයි. 2012 වර්ෂයේදී ඔහුගේ බිරිඳ මෙලොව හැර ගියාය. බිරිඳගේ වියෝවෙන් පසුව මෙම ගීතය පෙරටත් වඩා ඔහුගේ හදවතට සමීප වූ බවට වරෙක ඔහු කියා සිටියේය .සුනිල් සරත් පෙරේරා නාමය ලංකා සමාජයෙහි විෂය ක්ෂේත‍්‍ර ගණනාවකට විශිෂ්ට සම්ප‍්‍රදානයක් සිදුකළ විද්වතෙකු, කලාකරුවෙකු, පරිපාලකයෙකු වශයෙනි. ඔහුගෙන් සිංහල ගීත රචනා ක්ෂේත‍්‍රයට සුවිශේෂී මෙහෙයක් ඉටුවිය. එමෙන්ම කවිය, ජන මාධ්‍ය, පාරිසරික සාහිත්‍යය, ළමා සාහිත්‍යය, ආයතන පරිපාලනය, වැනි ක්ෂේත‍්‍ර ගණනාවක් ඔහුගේ බුද්ධි නෛපුණ්‍යයෙන් ද, අද්විතීය කාර්ය සාධන ශක්‍යතාවයෙන්ද ප‍්‍රභාවත් විය.

ඔහු විසින් වරෙක ප‍්‍රකාශ කරන ලද අදහසකින් නිර්මාණකරණය ගැන අපූර්ව දෙයක් කියවේ. මම එරන්දතිය එනවාකියන ගීතය ලීවේ බස් ටිකට් එකේ ඒත්  ඒකෙ මුල තිබුනෙ ඊට කලින් මට ලැබුනු අත්දැකීමක් අනුවයි. ඇසූ පිරූ බව තියෙනවා නම් කෙනෙකුට අවස්ථානුකූලව මොහොතකින් ගීතයක් ලියන්න පුළුවන්...
ස්වකීය නිර්මාණ උදෙසා බෞද්ධ දර්ශනය,  ඕමාර් ඛයියාම් වැනි කවීන්ගේ දර්ශනයද, ඉරාන කවීන්ගේ අදහස්ද බලපා ඇති බව ඔහු විසින් රචිත ගී පද රචනා විමර්ශනනම් ග‍්‍රන්ථයෙන් පැහැදිලි වේ. විවිධත්වය ඔහුගේ නිර්මාණවල මුඛ්‍ය ලක්ෂණයයි. මගේ රටට දළඳා හිමි සෙවණයිවැනි ජාතික ගීතද, ”පෙර දිනයක මා පෙම් කළ යුවතිය” ,  ඔබ මා සමඟවැනි දර්ශනාත්මක ගීතද උඩහ ගෙදර රන් එතනා” , ”නැලවිලි ගී ගයන්නියාවැනි වන වහර පදනම් කරගත් ගීතද මනකල් හදවිල් තලයෙහිවැනි ළමා ගීතද ඒ අතර ආකර්ෂණීය වේ. තවද සැන්දෑ කළුවර ගලා හැලෙන විට” , 
එරන්දතිය එනවා... නවාතැනින් ඇය යනවා...වැනි අතිශය ජනප‍්‍රිය ගීත ඔහුගේ සිතුවිලි තුලින් උපත ලැබීය. පද්ම තටාකය, ළමා ගී(මල්  පෙරහැර*, පරිසරය හා සන්නිවේදනය, මහ කන්ද, ගංගාවෙන් මහ මුහුදට, ගීත පද රචනා විමර්ශන ,ඔහු විසින් රචිත කෘති අතර විය.

මෙම  ගීතයේ නිර්මාණාත්මක ගුණය සටහන් කරන්නට පෙර ගී පද රචකයාට එවන් සොඳුරු හැගුමක් ඇති වූ අවස්ථාව පිළිබඳ විමසා බැලිය යුතුය. ඔහුට මෙම සිතුවිල්ල ඇතිවී තිබෙන්නේ වස්ගමුව වනෝද්්‍යානයේ මනරම් සැදෑවක් ගත කරමින් සිටියදීය. ඔහු ප‍්‍රකාශ කරන පරිදි කඳු වැටිය සිසාරා වනාන්තරයට පායා ආ සඳට ඔහුගේ හදවත වඩාත් සමීප වු අවස්ථාවකදීය.    වන ගැබට වැසි දිය යාන්තමට වැටී තිබුනේය. පේ‍්‍රමයටත් වඩා සොබාදහමේ චමත්කාරය මෙම ගීතය සඳහා පසුබිම් වූ බව ඔහු පවසයි. සැබවින්ම සඳ එළිය නැමැති පෙම්වතා වනාන්තරය නම් වූ සිය පෙම්වතියට තුරුල් වු කල්හි මැවෙන පේ‍්‍රමනීය සිතුවම කවියාගේ සිත වසඟයට ගත්තා නොවේද? පරිසරය මැවූ මෙම වාග් චිත‍්‍රය ජීවිතයට බද්ධ කරගන්නට තමා ගත් වෑයම තුළින් මෙම ගීතය ගෙත්තම් වූ බව ඔහු වරෙක ප‍්‍රකාශ කළේය. රචකයාගේ නිර්මාණාත්මක මූල බීජයට අනුව, සෙමෙන් සෙමෙන් කඳු මුදුනින් පායා ආ සඳ සාවිය අඳුරු වළාකුලකින් වසාගත්කල ඔහුට දැනුනු පාලූව  මෙම ගීතයෙන් ධ්වනිත වේ. ඇය යන්න ගියා මැකිලා...ලෙස ඔහු ප‍්‍රකාශ කරන්නේ  එහෙයිනි.

කවියාගේ අත්දැකීම ගෙනහැර පෑමට පරිසරයට සජීවී බවක් ආරෝපණය කරලීම වඩාත් ආකර්ෂණීය බව පෙනෙයි. සරල භාෂාවක් උපයුක්ත කරගෙන ඇත. දෘෂ්‍ය ගෝචර මෙන්ම ස්පර්ශගෝචර සංකල්ප රූප ගීතය රසවිඳින්නාගේ හදවතට සමීප කරනු ලබයි. වන සිරසක තුරු සෙවණැලි අතරේ ගී ගයමින් හිඳ මා තුරුලේ...ලෙස දෙසවන ගැටෙන විට එය මැවී පෙනෙයි. එය අපගේ ගතටද දැනෙයි. සාර්ථක නිර්මාණාත්මක ලක්ෂණ විශද වේ. ස්වභාදහම හා පේ‍්‍රමය නිරායාසයෙන්ම අවියෝජනීය ලෙස බැඳී පවතී. නිල් කඳු වැටි, සඳ, මද පවන, මල් පෙති පේ‍්‍රමයට ආශිර්වාදයක් වනවා සේම පේ‍්‍රමයක් වියෝ වූ කලද එම වස්තූන්හි මතකයන් හද පාරවයි. පද විශේෂීකරණය තුළ අමුතු ලාලිත්‍යයක් කවියා විසින් මවනු ලබයි.

මෙම ගීතයේ පදමාලාවේ ඇති ශෝකී රසය සංගීතය සමඟ මැනවින් බද්ධකර ගැනීමට එච්.එම් ජයවර්ධනයන් සමත් වී ඇත. ගීතයේ තනුව තුළ ඇති ශෝකී රාවය රසික හදවත්හි ගැඹුරුම තැනක නිදන්ගත වේ. එලෙසම අමරසිරි පීරිස්ගේ මනා හඬ සංයෝජනය තුළ රසය තීව‍්‍ර වේ.     විප‍්‍රලම්භ ශෘංගාරය හෙවත් වෙන්වීමේ දුක හඟවන නිර්මාණ අතර හදවතේ සියුම් තැන් සසල කරවන නිර්මාණයක් ලෙස මෙම නිර්මාණය හඳුනාගත හැකිය.
මෙම ගීතය රසවිඳින විට සිරි ගුනසිංහයන්ගේ පද්‍ය නිර්මාණයක්ද සිහිපත් වෙයි.
මා හැරඳා
දරදඬුකොට දා මා අත්පා
ඇය යන්න ගියා මැකිලා....
සැමරුම් වග වලසුන්  ?නට
මා ගොඳුරක් වී....
ලේ ගලනා ගොඳුරක් වී

පේ‍්‍රමයෙන් පරාජිත වු පේ‍්‍රමවන්තයෙකුගේ පේ‍්‍රමණීය සිතුවිලි මනා සංයමයකින් යුතුව ගලපා ඇති අපූර්ව වියමනක් වශයෙන් සුනිල් සරත් පෙරේරා කිවිඳුන්ගේ මෙම ගීතය අගය කළ හැකිය. සුන්දර රාත‍්‍රියක පායා ආ සඳවතිය කවියාගේ වස්තු විෂය බවට පත්වුවත් ගීතයේ ඇතැම් කොටස් රසවිඳින විට සඳට වඩා, කවියාගේ යටි සිතෙහි කාලාන්තරයක් තිස්සේ ඉකි ගසමින් පැවති හැගුම් මතුව ආ අවස්ථාවක් වශයෙන්ද හඳුනාගත හැකිය. සඳ වළාකුලකට වැසී ගියත් සදහටම එසේ සැඟව යන්නේ නැත. නමුත් කවියා පවසන්නේ මෙසේය.
යළි කවදාවත් හමුනොවනා බව මද පවනක් හිස අතගා කීවද...
ඇය යළි කිසිදා ඔහුට හමුවන්නේ නැත. එලෙසින්ම මෙම ගීතයේ ගිම්හාන කාලයක් ගැන සඳහන් වේ. එය කුමන අර්ථයකින් යොදා ගත්තාද යන්න සැක සහිතය.

අදහාගන්නට නොහැකිය කිසිදින ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර...
මෙම ගීත ඛාණ්ඩය සමඟ විමර්ශනාත්මකව බලනකල මෙහි අර්ථය පිළිබඳව මා සිතට සමීප වන්නේ මෙලෙසිනි. ගිම්හානය යනු පරිසරයට කර්කශ කාලයකි. සොබාදහම මළානික වී යන කාලයකි. ගහකොළ වැසි බිඳක පහස සොයනා නිමේෂයකි. වර්ෂාව අපේක්ෂාවෙන් බලාපොරොත්තු දල්වාගෙන සිටින හෝරාවකි. කවියාගේ පෙම්වතිය මේ සොඳුරු වර්ෂාව නොවේද? කවියා යනු අපේක්ෂා නෙත් දල්වා සිටින මේ වනාන්තර ගැබයි. තමාගෙන් දුරස්ව ගිය පෙම්වතියේ මතකයන් ඔහුගේ සිත කෙමෙන් පාරවයි.
මෙය නොසිතූ විගස දුරස්ව ගිය හැරයාමක් නොවේ. මැකිලායන වචනය තුළින් එය ඉස්මතු වෙයි. කෙනෙකු ජීවිතයෙන් මැකී යාම එකපාර සිදුවන දෙයක් නොවේ. කෙමෙන් කෙමෙන් බොඳව යාමකි. තවද මෙම වචනය තුළ ගීතයේම හරය ගැබ් වී ඇතැයි සිතෙයි. සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා...යන ගීතයට හොරෙන්යන වචනය එකතැන තුන්වරක් යොදාගෙන ඇත්තේ එහි අර්ථය තීව‍්‍ර කිරීම උදෙසාය. සඳ හොරෙන් බලායැයි එම අවස්ථාවේ යෙදුනි නම් එය එතරම් සමීපව අප හදවත් සිපගනු නොලබයි. එලෙසින්ම සඳහන් නොවුනත් මෙම තනි වචනය සහෘදයාගේ හද තුළ දෝංකාර දෙනු ලබයි.

මෙම අවස්ථාව පිනිපොඳ වනාන්තරය සිප ගන්නා සුන්දර රාත‍්‍රියකි. නමුත් එය කෙමෙන් කෙමෙන් අවසාන වේ. එවිට කවියාගේ සිත දුකින් පිරෙයි. තම පෙම්වතියද තමාගෙන් දුරස් වූයේ මේ ලෙසින් නොවේදැයි ඔහුට සිතෙයි. ඇය සමඟ සතුටින් ගතකල කාලය මතකයට නැගෙයි. පිනි වැස්ස වන සිරසට වැටීමෙන් වනාන්තරය කුල්මත් වූයේ යම් සේද එලෙසින්ම තම පෙම්වතිය තමාට තුරුල් වී සිටි ආකාරය ඔහුට සිහිපත් වේ.
ගී ගයමින් හිඳ මා තුරුලේ...
පිනි කඳුලක් මල් පෙති අග තවරා...මිහිඳුම් සළුවෙන් මුහුණ වසා...

වැස්ස අවසන් වූ පසු පිනි බිඳු මල් පෙති අග දිලිසෙයි. ඒ පිනි බිඳු කඳුලූ සේ ඔහුට පෙනෙයි. ආදරයේ මතකයන් නැමැති පිනි බිඳු තවමත් ඔහුගේ සිත තුළ අවදි වෙයි. ඇය ඔහුගෙන් දුරස්ව ගියද ඇගේ රූපය මිහිඳුම් සළුවක් සේ ඔහුගේ ගත වටා දැවටී ඇත. නීල කඳුවැටි අතරට සඳ එළිය පතිත වූ විට එය මංපෙතක් සේ පෙනෙයි. ජීවිතයට පැමිණි බාධක මගහැර බලාපොරොත්තුව නැමැති  සඳ එළිය දකින්නට ඔහු ඇය සමඟ සිහින දකින්නට ඇත.

නීල නිලන නිල් කඳුවැටි අතරේ සඳ එළියේ මංපෙත පාදා...
ඇය තමාගෙන් දුරස් වන්නට  හේතුව රහසක් බව ඔහු සිතයි. කිසිවක්ම නොකියා ඇය මැකී ගොස්ය. ඇය යළිත් කවදාවත් හමුනොවෙනා බව මේ පොඳ වැසසේ හමන මද පවන ඔහුට මිමිණුවද ඔහු එය කිසිසේත් විශ්වාස නොකරයි. ඇයගේ වෙන්ව යාම ඔහුට අදහාගත නොහැකිය. පරිසරයට ගිම්හානය විඩා ගෙනදෙනවා සේම වැස්ස ගහ කොළට නව පණක් ලබාදෙයි. ජීවිතය තව තවත් විඩාපත් වන්නට පෙර යලිත් පොද වැස්සක් වී ස්නේහයෙන් තම හදපත්ල සිසිල් කරන්නට ඔහු ඇයට ඇරයුම් කරයි.
අදහා ගන්නට නොහැකිය කිසිදින ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර...

ජීවිතයේ සුන්දරත්වය මෙන්ම එහි අනිත්‍යතාවය මෙමගින් විවිරණය කරනු ලබයි. වියෝ දුක සංයමයකින් යුතුව ප‍්‍රකට කල හැක්කේ මනා ඉවසීමකින් යුතු ගීත රචකයෙකුට පමණි. සුනිල් සරත් පෙරේරා නම් වූ ගී පද රචකයා එම ඉවසිම ස්පර්ශකොට ඇත. පේ‍්‍රමයට වඩාත් සමීප කාරණයක් වන ස්වභාව සෞන්දර්ය තුළ එහි භාව උද්දීපනය ඉතා සියුම් අන්දමින් සිදුකොට ඇත. හඳ එළියෙන් නැහැවුණු කඳුවැටිවල දෝංකාරය දෙමින්, පිණි කඳුලූ සිපගත් , මද සුළගේ දැවටී එන ඒ විරහ වේදනාව වන සිරසේ තුරු සෙවණැලි අතරින් ගලාගෙන විත් හදවතේ ගැඹුරුම තැන ලැගුම් ගනියි. ගීතයේ සංගීතය තුළ වැයෙන බටනලා හඬ තුළ සහෘදයා කොහේදෝ ලෝකයක අතරමං කරනු ලබයි.

ඇතැම් විට මෙහි තවත් අරුතක්ද ගැබ්වී ඇත. එනම් කථකයා මෙම අත්දැකීම ලබන්නට ඇත්තේ සන්ධ්‍යා යාමයකය. ඔහු උදෑසන අවදි වනවිට සන්ධ්‍යා කාලයේ ඔහු අත්විඳි චමත්කාරජනක අත්දැකීම පරිසරයේ නොතිබෙන්නට ඇත. ඒ අතීතාවර්ජනය තුළ ඔහුගේ හද සසල වීමේ ප‍්‍රතිඵලයක් ලෙස මෙම හැගුමන් උපත ලබන්නට ඇත.ඇතැම් විට මෙහි සඳහන් පෙම්වතාගෙන් තම පෙම්වතිය දුරස් වන්නට ඇත්තේ මෙලොව හැරදා යාමෙන්ය. මිහිඳුම් සළුවෙන් මුහුණ වසා, යන්න තම පෙම්වතියගේ මුහුණ සුදු රෙදි කඩෙනින් වැසුවා වන්නට විය හැකිය. ඇය යළි නොඑන්නටම ගොස් ඇති බව රචකයා පැවසීමෙන්ද එය ධ්වනිත වේ.
ආදරයට නිශ්චිත අර්ථකථනයක් නොමැති වුවද ආදරයට විවිධ හැඩයන් පවතී. විරහව එහි එක් හැඩයකි. විරහව ඇතැම් විට ශෝකයක් වුවද, එහි අමුතු  රසයක් ඇතැයි විටෙක සිතෙයි. මෙහි පද  මාලාව තුළ විරහවේ අපූර්ව හැඩයක් ප‍්‍රතිනිර්මාණය කොට ඇත.

නමුත් ගී පද රචකයා විසින් මෙහි වස්තු බීජය උදෙසා සඳ තේමා කරගැනීම ගීතයේ සමහර වචන(අවසන් ගීත ඛාණ්ඩය* හා සසදන විට පරස්පරවිරෝධී වන බව පෙනෙයි.



මලියදේව මහරහතන් වහන්සේ පිලිබඳ ජනප්‍රවාද


ශ්‍රී ලාංකීය බෞද්ධ ඉතිහාසය තුළ අවසන් මහරහතන් වහන්සේ ලෙස ජනප්‍රවාදගත වී ඇති, මලියදේව මහරහත් වහන්සේ පිලිබඳ තොරතුරු ඇති මූලාශ්‍ර ලෙස මහාවංශය, මහාවංශටීකා, විශුද්ධිමග්ග, සීලවත්ථුප්‍රකරණය, පාලි රසවාහිනී, විභංග අටුවා, මැදුම් සඟි අටුවාව, සඟසරණ, සද්ධර්මාලංකාරය, ආදිය හැඳින්විය හැකිය. අංගුත්තර අටුවාවේ, මහාදේව හිමි මලියදේව නමින්ද, මහාවංශටීකාවේ මලය මහාදේව නමින්ද උන්වහන්සේ හැඳින්වෙයි. ආචාර්ය අධිකාරම් මහතාට අනුව මහාදේව, මලයදේව, මලියදේව, කාලදේවවාසී මහා මලියදේව යන නම් රැසකින් උන්වහන්සේ විවිධ මූලාශ්‍ර වල හඳුන්වා ඇත. මෙසේ මූලාශ්‍ර ගණනාවක විවිධ නම් වලින් හඳුන්වා ඇත්තේ එකම හිමිනමක් බව තොරතුරු විශ්ලේෂණය කිරීමේදී පැහැදිලි වෙයි.

ලංකාවේ කඳුරටේදී හෝ මාලදිවයිනේ දී හෝ ඈත පෙරදිග මලය රාජ්‍යයේ උපන් මලියදේව හිමි ලංකාවේ මණ්ඩලාරාමයේදී ශිල්ප හදාරා ඇත. මණ්ඩලාරාමය යනු කෑගල්ල පොල්ගහවෙල ප්‍රදේශයන්ට නුදුරුව පිහිටි වට්ටාරම නම් පූජා භූමියයි.මෙම රහතන් වහන්සේ කුඩා කල කල්ගෙවා ඇත්තේ වට්ටාරම නම් විහාරයේ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. එසේම බාල වයසෙදීම රහත් වූ මේ හිමි රහත්භාවයට පත් වූයේ ද, අපවත් වූයේ ද වෙසක් පොහොය දිනක බව සදහන්ය. වට්ටාරම විහාරයට අමතරව පුහුරිය රජමහා විහාරය, අරණායක දික්පිටියේ රාජගිරි මල්පා විහාරය, කුරුණෑගල කටගමු විහාරය, නාරම්මල රජමහා විහාරය යන විහාරස්ථානවල වැඩ වසමින් ධර්ම දේශනා පවත්වමින් බොදු ජනයාට ධර්මාවබෝධය ලබා දීමට කටයුතු කල බව සඳහන් වේ. පුහුරිය රජමහා විහාරය හා වට්ටාරම රජමහා විහාරය යා කරමින් ඉපැරණි උමං මාර්ගයක් අදටත් පුහුරිය රජමහා විහාරයේ දක්නට ඇත.

මෙම මාර්ගය උන්වහන්සේ විසින් තම ගමනාගමනය උදෙසා උපයෝගී කරගන්නට ඇති බව මෙම ප්‍රදේශයේ ජනතාව අතර පැවත එන විශ්වසායකි. එසේම මෙම උමං මාර්ගය තුලට කිසිවෙකුට යා නොහැකි බවත් සුදු නාගයෙක් විසින් එය ආරක්ෂා කරන බවටත් ජනප්‍රවාදයක් ඇත. එලෙසම මෙම හිමියන් ස්නානය කල ලිඳ අදටත් පුහුරිය රජමහා විහාරස්ථානය ආශ්‍රිතව දක්නට ඇත. අවුරුද්දේ කිසිම දවසක මෙම ළිඳෙහි ජලය අඩු නොවන බවත්, එහි ජල මට්ටම එකම උසකට පවතින බවත්, කිසිදු නියං කාලයකදී ලිදෙහි ජල මට්ටම අඩු නොවීමටත් හේතුව උන්වහන්සේගේ හාස්කම් බවට ජනප්‍රවාදයක් ඇත.

උන්වහන්සේ වටා ගෙතී ඇති තවත් ජනප්‍රවාදයක් මෙසේය. දැදුරු ඔයට ආසන්නයේ සුළුගලු නම් ගම තුළ විශාල විහාරයක් පිහිටා ඇත. මෙහි වැඩසිටි මලියදේව මහරහතන් වහන්සේට රාත්‍රියේ බඬේ අමාරුවක් වැළදී ඇත. එම බඬේ අමාරුව මීටත් පෙර හැදුනු අවස්ථාවක ඖෂධ වර්ග 11ක් එක්කොට සාදන ලද එකාදසයාගු නම් ඖෂධීය කැඳ කොහෙන් හෝ ලබාගන්නට හැකි වේ දැයි දිවැසින් බලා එය ලබාගන්නට හැකි ස්ථානය දැක සුලුගුළු නම් උපාසක වෙදැදුරුතුමා හමුවට වැඩම වූහ. එහිදී අවශ්‍ය ඖෂධ ඔහුගේ නිවසේ පිළියෙල කෙරෙන තුරු උන්වහන්සේ ඔහුත් සමඟ දෙව්ලොවට වැඩිය බවත් එතැනදී සිළුමිණි සෑය, වන්දනාවට පැමිණි මෛත්‍රී බෝසතුන් හමුවූ බවත්, සක් දෙවිඳුන්ගේ සුලුගුළු උපාසකතුමාට තෑගි වශයෙන් දිවසළු තුනක් ලැබුණු බවත් එම දිවසළු ගෙනැවිත් තැන්පත් කර නාරම්මල විහාරයේ චෛත්‍යයක් ඉදිකල බවත් කියැවේ. මේ සෑය වඳින්නට සුලුගුළු වෙදැදුරුතුමා කැමති වුවත් අහසින් යන්නේ කෙසේ දැයි රහත්න් වහනසේගෙන් අසනු ලබයි. එහිදී තමන් වහන්සේ වැඩ හිඳින් සම්කඩෙහි වාඩි කරවා සිළුමිණ සෑය වදින්නට ගිය බව සදහන් වේ.
 දුර්භික්ෂ සමයකදී මලියදේව හිමි නාරම්මල රජමහා විහාරයේ චූලනාග ලෙනට වැඩ භාවනායෝගීව සිටි බව කියවේ. උන්වහන්සේ පිඬුසිඟා දෙවරක්ම වැඩිමුත් දනට කිසිවක් ලැබී නැත. තෙවන දින ආපසු වැඩිය උන් වහන්සේට තම කුටියේ පාත්‍රා දෙකක් දක්නට ලැබුණි. ඒවා පිරි තිබුනේ ලුණු හා ඇඹුල් වලිනි. මේවායින් විහාරයේ ආහාර පිළිබෙල කර ගැනීමට කලක් යනතුරු හැකි වූ බව ජනප්‍රවාදගතය. එලෙසම සුලුගුළු උපාසක වෙදැදුරුතුමාට ලැබුණු දිවසළු ද මෙම පාත්‍රා දෙකද තබා ගල් ලෙන තුල විහාරයක් කල බව සඳහන්ය.   

බුදුන් වහන්සේගේ සෑයට රජවරුන් පිදූ ඔටුන්න උණුවී සෑය හතර කොනින් පැන නැගී ඒවා යැයි විශ්වාස කරන දඹරන් පිලිම හතරක් මෙම හිමියන්ට ලැබුණු බව සඳහන්ය. මෙම දඹරන් පිලිම පොල්ගහවෙල - වට්ටාරම, කොත්මලේ - පුහුල්පිටිය, මහනුවර - මාදන්වල සහ මොරපාය යන විහාරස්ථානවල තැන්පත් කල බව ජනතාව අතර ප්‍රචලිත වී ඇත. කොත්මලේ පුහුලුපිටියේ තැන්පත් කර ඇති දඹරන් පිලිමය එලිමහනෙන් තැබූ විට මහවැසි ඇතිවන බවට ජනප්‍රවාදයක් පවතියි. එලෙසම මොරපායේ තැන්පත්ව ඇති දඹරන් පිළිමය වටාද කතාවක් ගෙතී පවතී. මෙම පිලිමය මහත් ප්‍රාතිභාර්යක් පෑ බව සඳහන්ය. වරක් මෙහි විහාරාධිපතින් වහන්සේ එක් උදෑසනක විහාර මිදුල ඇමදීමේදී යෙදී සිටියදී නා ගස මුදුනේ රශ්මිධාරා විහිදුවමින් මෙම පිළිම වහන්සේ වැඩ සිටිනු දැක ඇත. මෙම හිමියන් සාධුකාර දී දොහොත් පෑ කල එම හිමියන්ගේ සිරස මුදුනට වැඩි බව කියැවේ. විහාරයේ තැන්පත් කරන ලද එය එතනින් අසල වූ ගල් ගුහාවකට වැඩි අතර තවලම්කාරයන් පිරිසකට අයත්ව ඉන්පසු දඩයම්කාරයන් අතටද පත්වී නැවත නායයාමකට අසුව යලිත් මොරපාය විහාරස්ථානයට වැඩම කල බව කියැවේ.
මලියදේව මහරහතන් වහන්සේ හා වට්ටාරම පුදබිම එකම වංශ කතාවක් බව නිසැකය. අදටත් වට්ටාරම රජමහා විහාරය හැඳින්වෙන්නේ ශ්‍රි අරහත්ත මලියදේව රජමහා විහාරය යනුවෙනි.

මලියදේව මහ රහතන් වහන්සේගේ නිත්‍ය වාසස්ථානය මෙම විහාරය බවට ඇති ප්‍රබල සාධක බොහෝය. ඓතිහාසික ලේඛනවල මෙන්ම පොදු ජනතාව අතර ද පැවති මතයක් වන්නේ ලක්දිව කලල ග්‍රාමයේ මණ්ඩලාරාම මහා විහාරයේ (වට්ටාරම) උන්වහන්සේ ත්‍රිපිටකය ඉගෙනගෙන කමටහන් වඩා රහත් වූ බවයි. උන්වහන්සේ පිරිනිවන් පා ඇත්තේ ද මෙම භුමියේ බව ජනප්‍රවාදගතය. (මෙම විහාරයේ පිහිටි මලියමහාපායේදී) විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා සක්දෙවිඳුන්ගේ නියාමනයෙන් මිහින්තලාවට ගොස් ශිලාල චෛත්‍යයට නුදුරු නැනක තිබුණු පොකුණක තිබූ ගල්ටැම් 65ක් හා මිහිඳු රහතුන්වන්සේගේ ධාතු හා සිවුරු ගෙනවිත් මෙම භූමිය සකස් කොට කොටස් 24 කට බෙදා හතලිස් මහලකින් යුතුව මලියමහාපාය හා ආරාමය සාදා ඇති බව සදහන්ය. අදටත් මෙම ස්ථානයේදී මෙහි නටඹුන් දැකගත හැකිය.

මෙම රහතන් වහන්සේ පිළිබඳ තවත් සුප්‍රසිද්ධ ජනප්‍රවාදයක් මෙසේය. මෙම හිමියන් වට්ටාරම සිටියදී අන්ධ වූ සහෝදරියක දෙනගමුවේ සිටි බවත්, අනෙක් සොයුරිය නාරම්මල පැන්නැතිගොඩ වාසය කලබවත් සදහන්ය. මලියදේව හිමියන් මෞර්ය වංශයේ කුමාරයෙකුගේ දරුවෙකු වන බවට විශ්වාසයක් ඇති අතර මේ නිසා පිරිනිවන් පෑමෙන් අනතුරුව උන්වහන්සේ අධිෂ්ඨාන කලේ තමන් වහන්සේගේ මෘත ශරීරය සයනය කල ඇඳත් සමග දෙනගමුවට ගෙන්වීමටයි. එම දේහය දුටු ඇස් අන්ධව සිටි සොහොයුරියගේ දෑස් පෙනෙන්නට වූ බව සදහන්ය. මෙම දේහය ප්‍රථමයෙන් ගමන් කර ඇත්තේ දෙනගමුවටයි. පසුව මෙම දේහය නාරම්මල පැන්නැතිගොඩ විහාරයට අහසින් ගමන් කර පහත්වුනු පසුව ඉතාමත් ගෞරවයෙන් දහස් ගණන් බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් ආදාහනය කරන ලද බව පැවසෙයි. එහි ඉඳිකල චෛත්‍ය අදටත් නිරපද්‍රිතව පවතියි. මෙම හිමියන් ග්‍රන්ථධූරය පුරමින් විදර්ශනා ධූරයද පුරමින් සිටින අතර එක් දිනක් කලල ග්‍රාමගේ (වර්තමාන හැලමඩ) ගමේ සිටින උපාසිකාවක විසින් පිඬුසිඟා වඩිමින් සිටි මෙම හිමියන්ට කැඳ පිලිගන්වා පුත්‍ර සෙනෙහසින් ඇතුළු ගෙයි වඩා හිඳුවා දවල් දානය ප්‍රණීත ලෙස සකසා දෙන ලද බවත්, වාසය කරන ස්ථානය විමසූ විට මණ්ඩලාරාමය බවත් උන්වහන්සේ පවසන ලද බව සදහන්ය. එහිදී ග්‍රන්ථධූරය පුරා නිමවන තෙක් (ත්‍රිපිටක ධර්මය ඉගෙන ගෙන අවසන් වනතුරු) ඇයගේ නිවසින් දානය වළදනන්නට ආරාධනා කල බව මෙම ප්‍රදේශයේ ජනතාව අතර ප්‍රචලිතය. මෙය පිලිගත් තෙරණුවෝ සුවපත් වේවා ෟ දුකින් මිදේවා ෟ යැයි දේශනා කළහ. එහෙත් ටික කලකින් රහත් වූ මලියදේව තෙරුන් දහම් දෙසන බව දන්වා සිටියද උපාසිකාව විහාරයට නොගොස් සිටි බවද සාමණේර තෙරනමකගේ බලවත් ඉල්ලීම අනුව ආරාමයට ගොස් පහන් වනතුරු ධර්මය අසා සෝවාන් ඵලයට පත්වූ බව ජනප්‍රවාදයේ සදහන්ය.

ජනප්‍රවාදවලට අනුව මලියදේව හිමි ධජග්ග සූත්‍රය දේශනා කොට භික්ෂූන් 60 නමක් රහත් භාවයට පත් කරවූහ. එසේම දීඝවාපි, මිහින්තලේ, මහියංගනය, සිතුල්පව්ව, කැලණිය යන ස්ථාන වලද උන්වහන්සේ 60 නම බැගින් රහත් කරවා ඇත. ඒ අනුව උන්වහන්සේ ලංකාවේ 60 පොළකදී බණ දේශනා කොට 60 බැගින් 3600ක පිරිසකට රහත්භාවය ලබාදුන් බව සඳහන්ය. මෙම රහතන් වහන්සේලාගේ විශේෂ හැකියාව වූයේ ඒ ඒ පුද්ගලයාගේ චරිත ලක්ෂණ බලා සුදුසු කමටහන් ලබා දී භාවනා කරවා රහත්භාවය ලබාදීමයි. සැළලිහිණි සංදේශයේ ද උන්වහන්සේ බණ දේශනා කල ආකාර පිලිබඳව මෙසේ දැක්වේ.
          
           "ගිලිය නොදී සැට මහණන් බව             මහණ
මලියදෙවි තෙරිඳු වැඩ හිද දෙසු               බණ
            දිලිය පස් මහල් පායෙහි මිණි              කිරණ
බැලිය හැකි විනම් දැක වැඳ යා             කලණ

මලියදේව මහරහතන් වහන්සේ ලංකාවේ අවසන් මහරහතන් වහන්සේ බව සැලකේ. සමහරුන් පවසන්නේ එය එසේ නොවන බවයි. ඒ කෙසේ වෙතත් උන්වහන්සේ බොහෝ කාලයක් වැඩ විසූ බව පැවසෙන වට්ටාරම විහාරයට අදටත් වෙසක්, පොසොන් පොහොය දිනවන දස දහස් ගණන් ජනතාව ඇදී එන්නේ කිසියම් මාධ්‍යගත ප්‍රචාරයක් නිසා නොවේ. වසර දහස් ගණනක් මුළුල්ලේ පාරම්පරිකව පවතින දැනුම නිසාය. අවසාන වශයෙන් සදහන් කල හැක්කේ ලංකාවේ විවිධ ප්‍රදේශවල වැඩවාසය කරමින් හුදී ජනයාගේ සිත් සදහම් කිරණින් පුරවන්නට උන්වහන්සේ ලබාදුන්  දායකත්වය අනර්ඝ ධර්ම දානයක් බවට ඉතිහාසගත වී ඇති බවයි. එහෙයින් මලියදේව හිමියන් හා බැඳි එම සුන්දර කතාව අදටත් අප අතරේම ජීවමානව නොමැකී පවතී.