Saturday, June 29, 2019

අයියනායක දෙවියෝ


උතුරු මැද පළාතේ දැදුරු ඔයෙන් ඉහළ සිට යාපනය දක්වා වූ වන්නි හත්පත්තුවට අධිපති දෙවියන් ලෙස ශ්‍රී ලාංකීය ජනතාවගේ ගෞරවයටත්, වන්දනාමානයටත් ලක්ව ඇති අයියනායක දෙවියන් වූ කලී ඉතා බලසම්පන්න දේව ආත්මයකි.

කරේනාරේ, කයියනාරේ, අයියනායගම්, අරියනායගම් ආදී නම්වලින්
විවිධ ප‍්‍රදේශවල ජනයා අයියනායක දෙවියන් හඳුන්වන අතර කතරගම සන්නසෙහි අයියනාරායන් ලෙසත් කෝකිල සන්දේශයෙහි අයියන් ලෙසත් හඳුන්වා ඇති බැවින් පුරාණ ශ්‍රී ලංකාවේ ආදිවාසීන්ගේ බුහුමනට පවා ලක්වූ දෙවි කෙනෙකු බව සනාථ වේ.

පුරා විද්‍යාවට අනුව අනුරාධපුරයේ ජේතවනාරාමයට නුදුරින් පිහිටි වාහල්කඬේ කුලූනක සත්ත්ව රූප තුනක් සහිත වාහනයක වැඩ සිටින දේව රූපයේ සිටින්නේ අයියනායක දෙවියන් බවට සනාථ කොටගෙන තිබුණද උන්වහන්සේ වෙනුවෙන් වෙන්වුණ දෙවොලක් මේ ලංකාද්වීපයේ නොමැති වීම විශේෂත්වයකි. එහෙත් උන්වහන්සේගේ බලය හඳුනාගත් අප රටේ පැරණි ජනතාව අයියනායක දෙවියන් වෙනුවෙන් මල්, පහන්, සුවඳ දුම් වැනි දෑ එක් එක් ප‍්‍රදේශවල තිබෙන නුග, නා, රුක්අත්තන වැනි දේවාකර්ෂණය වැඩි වශයෙන් පවතින රූස්ස ගස් ඉදිරිපිට උන්වහන්සේගේ නමට කැපකර පූජා කිරීමෙන් පසු වැඳ නමස්කාර කොට පින් අනුමෝදන් කර පිහිට පැතූ බවට බොහෝ සාක්ෂි තිබෙන අතර අද ද උන්වහන්සේගේ බලය පවතින ප‍්‍රදේශවලට ඇතුළු වන බොහෝ දෙනා ගසකින් අතු රිකිල්ලක් කඩා ආරක්ෂාව පතා අයියනායක දෙවියන් සිහිකර එම අතුරිකිල්ල තවත් ගසක එල්ලා යෑම සිරිතකි.

අයියනායක දෙවියන්ගේ උප්පත්තිය පිළිබඳ විවිධ කතා ජනප‍්‍රවාදයේ දැක්වෙන අතර ඊශ්වර දෙවියන්ට වසර දොළහක් බැල මෙහෙවරකම් කළ භෂ්මාසුරයා ඊශ්වර දෙවියන් සතු බලගතු දැහැන ලබා ගැනීමට ලොබ බැඳ උන්වහන්සේගේ බිසව වු උමයංගනා දේවිය රවටා දැහැන ලබාගෙන ඊශ්වර දෙවිදුන් විනාශ කිරීමට පසුපස ලූහුබඳිනු දුටු ශ්‍රී විෂ්ණු දෙවිදුන් භෂ්මාසූරයා යන මග හරස්කොට ඔංචිලි පදින මෝහිණී වේශයක් මවා ගනිමින් ඔහු ඉදිරියේ පෙනී සිටි අවස්ථාවේ මෝහිණිය කෙරෙහි උපන් දැඩි රාග චේතනාවේ අවසන් ප‍්‍රතිඵලය ලෙස මෝහිණියගේ වේශයෙන් පෙනී සිටි ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ ශ්‍රී හස්තයේ දරු ගැබක් හටගත් බවත් දස මසක් ඇවෑමෙන් ශ්‍රී හස්තය පලාගෙන මෙලොවට බිහිවූ කුමරු අයියනායක දෙවියන් බවත් වඩා ප‍්‍රචලිත ජනප‍්‍රවාද කතා වේ.

හිසෙහි ජටාවක් බැඳ වමතින් සැරයටියක්ද, දකුණතින් පුස්තකයක්ද ගෙන රන්වන් පැහැති වස්ත‍්‍රාභරණයෙන් සැරසී හස්තියෙකු පිට වඩිමින් තම පිහිට අයැද සිටින දුකටපත් ජනතාවගේ දුක නිවාලන බලවත් දේවාත්මයක් වන අයියනායක දෙවියන් පුත්තලම,අනුරාධපුරය, නිකවැරටිය, මින්නේරිය, පොළොන්නරුව, හබරණ හා තවත් බොහෝ ප‍්‍රදේශවල තම බලය පතුරුවාගෙන ප‍්‍රධාන වශයෙන් එම ප‍්‍රදේශවල පවතින දැඩි නියගයෙන් ගොවිතැන් කටයුතු ආරක්ෂා කර දෙන අතරතුර නඩු, අවනඩු, විස, සතුරු උපද්‍රව පීඩා හානි දුරුකොට සියලූ යහපත උදා කර දෙන්නා වූ සර්වාරක්ෂක දේවාත්මයක් බැවින් එකී ප‍්‍රදේශවල ජනයා තම තමන්ගේ ගැටලූ හමුවේ අයියනායක දෙවියන්ගේ පිහිට පැතීමට නැඹුරු වී සිටිති.  

Thursday, June 27, 2019

සාම්ප‍්‍රදායික කෙම් ක‍්‍රම

  
ශ්‍රී ලංකාවේ සාම්ප‍්‍රදායික වෛද්‍ය කර්මයේ තවමත් ශේෂව පවත්නා අංගයක් වශයෙන් කෙම් ක‍්‍රම හැඳින්විය හැකිය. කෙම් යනු ආරක්ෂාව, ක්ෂේම, ක‍්‍රමය, උගුල යන අරුත් ලබාදෙන වචනයකි. ශාන්තිය, සුවය, සහනය යන අදහස් රාශියක් එම වචනයෙන් අර්ථ ගැන්වෙයි. කෙම්වල දක්නට ලැබෙනා විශේෂත්වයක් වන්නේ ඖෂධ ගුණවලට අමතරව ජ්‍යොතිෂය්‍ය, ඇදහිලි, ගුප්ත විශ්වාස, විවිධ වත් පිළිවෙත්, ඇස්වහ කටවහ ආදිය ඒ සමඟ බැදී තිබීමය. මේවායේ ජීව ගුණය විශ්වාසය මිස තර්කය නොවේ.

අනාදිමත් කාලයක සිට ජනතාවට සුවසෙත සැදූ  නිසා ඒවා පාරම්පරික උරුමයන් බවට පත්ව ඇත. කෙම්වල පවත්නා තවත් සුවිශේෂිත්වයක් වන්නේ ඒ හා බැදුනු රහස්‍යතාවයයි. රහස්‍යතාව නොමැති විට එයින් අපේක්ෂිත ප‍්‍රතිඵල නොලැබී යාමටද ඉඩ තිබේ. ඇතැම් කෙම් තවත් අයෙකුට කියා දීමෙන් එහි බලය පිරිහී යන බවට ද විශ්වාසයක් පවතී. මේවා මුඛ පරම්පරාගතව පැවැත්මට හේතු වී ඇත්තේ මේ රහස්‍යතාවයයි.

වෙදකමේදී විවිධ පැල වර්ගවල කොටස් විවිධ වෙලාවන්හිදී ගැනීමට කියා ඇත. මෙහි අරුත ඒ ඒ වෙලාවන්හිදී ඒ ඒ ඔසුවල ක‍්‍රියාකාරීභාවය වැඩියෙන්ම පැවතීමය. යම් යම් දිසාවලට ගිය මුල් අතු ආදිය ගැනීමට කියා ඇත. එහි අර්ථයද එයම වේ. මේවා සාමාන්‍ය පුද්ගලයින්ට තේරුම් බේරුම් කර ගැනීමට බැරිය. එහෙයින් එය සඟවා ඇත. අද  පවා බොහෝ දේ ක‍්‍රියා කරවීමට සාමාන්‍ය ජනයාට හැකි වූවද ඒ ඒ දේ ක‍්‍රියා කරන අන්දම තේරුම් කර ගැනීමට බැරිය. කෙම් ක‍්‍රමයේද ඇත්තේ මෙයමය. එහි විද්‍යාත්මකභාවය හැම අයෙකුටම වටහා ගැනීමට නොහැකි නිසා ව්‍යංගාර්ථයෙන් පවසා ඇත.

බොහෝ විට කෘෂිකර්මාන්තයේදී කෙම් ක‍්‍රම සුලභව භාවිත වේ. කෙම් ක‍්‍රම ආසියාතික රටවල වැඩියෙන් භාවිතා වන ආකාරය දැකගත හැකිය. රෝග උපද්‍රවයන් ඉතා පහසුවෙන් දුරුකර ගැනීම සඳහා කෙම් ඉතා මානසික වූත්, සූක්ෂම වූත් ක‍්‍රමයක් විය. චිත්ත බලය, විෂබීජනාශක ගුණය මෙන්ම ඖෂධ ගුණයද මෙම කෙම් තුළ අන්තර්ගතව ඇත. කෙමක් සිදු කරන්නේ ඉතා පිරිසිදුවය. කෙමක් සඳහා අවශ්‍ය ඖෂධ සොයන විට සකසන විට සහ බදිනවිට කතා කිරීම තහනම්ය. මුඛයෙන් පිටවන විෂබීජවලින් ඖෂධ ආරක්ෂා කර ගැනීම එහි අදහස විය හැකිය.   

Sunday, June 9, 2019

උඩරට නර්තනයේ සාම්ප‍්‍රදායික වෙස් ඇඳුම හා අන්තර් සංස්කෘතික ලක්ෂණ


උඩරට වෙස් ඇඳුම පිළිබඳව විමසීමේදී එහි විවිධ අන්තර් සංස්කෘතික ලක්ෂණයන් දැකගත හැකිය. කොහොඹා කංකාරිය ශාන්තිකර්මය සිදු කරලීම උදෙසා ඉන්දියාවේ සිට පැමිණි පිරිස මලය රජුගේ සර්ව ආභරණයෙන් කොටසක් ශ්‍රී ලංකාවේ තෝරා ගන්නා ලද ජන කොටසකට දායාද කොට තිබේ. එයට හේතුව වන්නේ නැවත එවැනි උවඳුරක් ඇති වුවහොත් එය සුවපත් කරලීමට බල වරමක් සහිත ඇඳුමක් ලාංකිකයන්ට ලබා දීමයි. මෙම ඇඳුමේ කොටස් උඩරට නර්තනයේ ඇඳුම් ලෙස අද දක්වා භාවිතා කෙරෙයි.

මෙහිදී වෙස් ඇඳුම සකස් වී ඇත්තේ මලය රජුගේ ඇඳුම ආශ‍්‍රයෙන් බව පැහැදිලිය. මෙය ආභරණ 64 කින් සමන්විත වී ඇත. සිංහල සමාජය තුළද රාජාභරණ 64ක් පිළිබඳව අදහසක් ඇත. රජෙකුට ආභරණ කට්ටල් ෞදකකි. එනම් රාජ කකුධ භාණ්ඩ, පෞද්ගලික ආභරණ යනුවෙනි. පෞද්ගලික ආභරණවල, ආභරණ 64 කි. මෙම ඇඳුම් කට්ටල දෙකෙහි විවිධ සමානතාද පවතියි. වෙස් ඇඳුම දේශීය ඇඳුම් සමඟද ඥාති සබඳතා දක්වයි. 

වෙස් නැට්ටුවාගේ ඉනෙන් පහළ ඇඳුම සලකා බැලූ විට උඩරට නිලමේවරයෙකුගේ ඇඳුමේ යටි කොටස අඳින ආකාරයට සකස් වී ඇත. තවද බෞද්ධ භික්ෂුවක් ස්වකීය උපසම්පදා කර්මයේදී අඳින ඇඳුමේ යටි කොටස අඳින ආකාරයට සමානකමක් දක්වන බව මුදියන්සේ දිසානායක මහතාගේ මතයයි. ඉන්දීය ඇඳුම්වලටද මෙය සමානකම් දක්වයි. වෙස් ඇඳුමේ හිසට පලඳින ශීර්ෂාභරණ කොටස මලබාරයේ රාජකීය ශීර්ෂාභරණයන්ගේ අනුකරණයක් බව සඳහන්ය. එදිරිවීර සරච්චන්ද්‍ර මහතා දක්වන්නේ වෙස් ඇඳුමේ යටි කොටස ගුජරාටි ධෝතිය අඳින ක‍්‍රමයට සකස් වී ඇති බවයි. මුදියන්සේ දිසානායක මහතා දක්වන්නේ වෙස් ඇඳුම් කට්ටලයට සමාන ඇඳුම් කට්ටලයක් දකුණු ඉන්දීය ”තෙයියම්” නම් නැටුමේ යොදා ගන්නා බවයි. 

වෙස් ඇඳුමට සමාන ඇඳුම් කට්ටලයක් බෙංගාලි දඩයක්කරුවන් ආදි කාලයේ ඇඳි බවටද මතයක් ඇත. මෙහි පපුව මත ඇති අවුල් හැරය නම් කොටස ශ්‍රී ලාංකික ජන සමාජයේ ප‍්‍රධාන ආර්ථික මාර්ගය වන වී ගොවිතැන් කරන කුඹුරු යායක ලියැද්ද බෙදී ඇති ආකාරයට සකස් වී ඇති බවට මතයක් ඇත. වෙස් තට්ටුව රාවණා රජුගේ ඔටුන්නේ නිරූපනයක් බවද කියවේ. තවත් මතයක් වන්නේ මලය රජුගේ ඔටුන්න රාවණා රජුගේ ඔටුන්න අනුව සකසා ඇති බවයි. රාවණා පෙලපතේ පාලන මධ්‍යස්ථානය වූ ආලකපුරය හෙවත් වර්තමාන සීගිරියේ චිත‍්‍රවල නිරූපිත රජ බිසවකගේ හිස් පළඳනාව ,විශේෂයෙන් එහි පායිම්පත නම් කොටස වෙස් තට්ටුවට නෑකම් කියන බව කියවේ. වෙස් ඇඳුමේ ශීර්ෂ ආභරණ අතර මුලින්ම දක්නට ඇත්තේ ජටාවයි. ජටාව මහා බ‍්‍රහ්මයා පැලඳගෙන සිටින සිලූමිණේ අනුරුවක් බවට විශ්වාසයක් ඇත. එහි බ‍්‍රහ්මයාගේ වරම් ඇති බව කියයි. මෙය ස්ථුපයක හැඩය ගැනීමට බෞද්ධාගමික අර්ථයක් බලපාන්නට ඇති බව අනුමාන කරයි. තෝඩුපත යනු වෙස් නැට්ටුවාගේ කන් වැසීමට යොදා ගන්නා කර්ණාභරණයයි. එහි පත්තිනියගේ වරම් ඇති බව විශ්වාස කරනු ලැබේ.

Friday, May 31, 2019

ජනප‍්‍රිය සංස්කෘතිය

  
ජනප‍්‍රිය යන්නෙහි අර්ථය ජනයා අතර ප‍්‍රිය වූ හා ජනයා සමඟ වැඩෙන වශයෙන් සරලව අර්ථ දැක්විය හැකිය. 14 හා 16 වන සියවස්  අතර කාලයේ පුරාණ ගී‍්‍රසියේ පුනුරුද යුගයේ සිට ජනප‍්‍රිය සංස්කෘතිය යන්න හඳුනාගෙන තිබේ. 19 වන සියවසේදී  ව්‍යවහාරයට එක් වූ  ජනප‍්‍රිය සංස්කෘතිය කාර්මීකරණය, නාගරීකරණය හා ගෝලීයකරණය  සමඟ ප‍්‍රචලිත විය. 20 වන සියවස වන විට  එය වඩාත් ප‍්‍රචලිත විය. 

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් ”ජනප‍්‍රිය සංස්කෘතිය යනු ජනමෝහනීය සංස්කෘතියයි” යනුවෙන් දක්වා ඇත. නූතන කලා විචාරකයන්ට අනුව ”ජනප‍්‍රිය සංස්කෘතිය යනු බහුතර ජනතාවගේ සංස්කෘතිය වේ
.” බටහිර කලා විචාරකයන්ට අනුව ”ජනප‍්‍රිය සංස්කෘතිය සමාජයේ ජීවත්වන සියලූ දෙනාගේ සංස්කෘතිය වේ.” අතීතයේදී ජනප‍්‍රිය  සංස්කෘතිය යන්න අර්ථකථනය කළේ  එය සමාජයෙන් වෙන් වූ සීමිත වූත්  ජන කොටසක් අතර පැතිර ගිය  සංස්කෘතියක් ලෙසය. එහෙත් වර්තමාන අවධිය වනවිට  එහි අර්ථය පුළුල් වී තිබේ. සංස්කෘතිය තුළ බිහිවුණු නව ප‍්‍රපංචයක් ලෙස ජනප‍්‍රිය සංස්කෘතිය හඳුනාගත හැකිය.

වත්මන් ලෝකයේ ජනප‍්‍රිය වූ සංස්කෘතික චර්යාවන්  ව්‍යාප්ත වී තිබේ. ඒ වටා බිහිවන ජනප‍්‍රිය අංගයන් මිනිසා මිලදී ගන්නා දේ, ඇදහිලි විශ්වාස, හිතන දේ ඔස්සේද ව්‍යාප්ත  වී ඇති සේයාවක් දිටිය හැකිය. බටහිර ලෝකයේ  ජනප‍්‍රිය සංස්කෘතිය ඔස්සේ නව සංස්කෘතික රටාවන් බිහි වී තිබේ. ඇමරිකාව, ලතින් ඇමරිකාව, ප‍්‍රංශය, සෝවියට් දේශය වැනි රටවල බිහිවුණු තරුණ නැගිටීම් නිසා තරුණයින්ගේම චාරිත‍්‍ර සම්ප‍්‍රදායන් බිහිවීම තුළින් ජනප‍්‍රිය සංස්කෘතිය බිහි වී තිබේ.

ඉතිහාසය විමසන විට හැම සමාජයකටම ආවේණික ජනප‍්‍රිය සංස්කෘතියක් තිබී ඇත. අද දවසේ ජනප‍්‍රිය සංස්කෘතිය, ජනතාව විසින්  නිෂ්පාදනය කළ දෙයක් වන අතර  එය මහා පරිමාණයෙන් පැතිර යන්නේ ජන මාධ්‍ය කරණකොට ගෙනය. ජනප‍්‍රිය සංගීතය, බාල කඩදාසියේ මුද්‍රිත නවකතා, ටෙලි නාට්‍ය, වීඩියෝ සිනමා පට, නව පන්නයේ කලිසමක සිට ඉවතලන රේසරය දක්වා නිෂ්පාදිත දැන්වීම් සමුදාය ආදියෙන් අපගේ දිනපතා පරිසරය සැකසී තිබේ. මෙබඳු ක්ෂණිකව හඳුනාගත හැකි සංකේතවලින් නූතන ජනප‍්‍රිය සංස්කෘතිය සෑදී ඇත. ජනප‍්‍රිය සංස්කෘතිය ජනයා විසින් නිර්මාණය කරන ලද්දක්ද, ජනමාධ්‍යවල නිර්මිතයක්ද යන්න නිසැකව නිර්වචනය කළ නොහැක්කේ හැම විටම එය එකිනෙකට වෙනස්ව අන්තර් පෝෂණය වන බැවිනි. ජනප‍්‍රිය සංස්කාතිය මාධ්‍ය සංස්කෘතිය සමඟ අත්‍යන්තයෙන්ම බැඳී පවතී. මෙහි ප‍්‍රධාන ලක්ෂණය වනුයේ ග‍්‍රාහකයා ඉතා ඉක්මනින් ඇඳ බැඳ තබා ගැනීමයි. ජනප‍්‍රිය සංස්කෘතිය දිගු කාලීන මෙන්ම  කෙටි කාලීනද වේ. ජනප‍්‍රිය සංස්කෘතිය වෙත ඉක්මනින්ම ආකර්ෂණය වනුයේ  කාන්තාවන්, ළමුන් හා තාරුණ්‍ය වේ. සෑම විටම ජනප‍්‍රිය සංස්කෘතියට පදනම් වන්නේ සමාජ සංස්කෘතික මිථ්‍යාවන් හා ජනප‍්‍රවාදයන්ය.
ජනප‍්‍රිය සංස්කෘතිය යන්න පොදු ජන විඥානය මෙහෙයවන නව හෙජමනියක් ලෙස ජන මාධ්‍ය ක‍්‍රියාත්මක කරයි. එය විවිධ පුද්ගල හා ව්‍යාපාරික අපේක්ෂාවන් මත පදනම්ව බිහිව ඇති සංස්කෘතික කර්මාන්තයකි. ජන විඥානයට නව අංග හඳුන්වා දෙන නමුත් එම නව අංග පුද්ගල චර්යාවට නිශේධනාත්මකව බලපෑ හැකිය. භාණ්ඩ හා සේවා මූලික කරගත් වාණිජකරණය තුළ සංස්කෘතික නිෂ්පාදන සියල්ල බහුජන මාධ්‍ය විසින් ජනප‍්‍රිය සංස්කෘතික අංග බවට පත් කරයි.    

Saturday, May 25, 2019

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත පිළිබඳ ඔබ දැනුවත්ද?


තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යනු, යම් පොදු අධිකාරියක් විසින්  තම සන්තකයේ රඳවා ගනු ලැබ ඇති තොරතුරු කරා ප‍්‍රවේශ වීමට පුරවැසියන්ට හිමිකම ලබා දෙන්නා වූ අයිතිවාසිකමකි. 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත මගින් ජනතාවට තොරතුරු වෙත ප‍්‍රවේශ වීමට නීතිමය විධිවිධාන සලසා ඇත. තොරතුරු දැනගැනීමේ අයිතිය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය මගින් සහතික වුවද එය යථාර්ථයක් ලෙස භුක්ති විදීමට පුරවැසියන්ට අවස්ථාව ලැබෙන්නේ තොරතුරු දැනගැනීම පිළිබඳ නීතියක් පාර්ලිමේන්තුව විසින් සම්මත කළ පසුවය.

තොරතුරු ලබා ගැනීමේ පනතේ මූලික කොටස්

  • මහජනතාවට ලබාදෙන නිළ තොරතුරු සඳහන් ප‍්‍රතිපාදන
  • ලබානොදෙන තොරතුරු  සඳහන් ප‍්‍රතිපාදන
  • තොරතුරු ලබාදීමේ ක‍්‍රමවේදය පිළිබඳ විධිවිධාන
  • අදාල ක‍්‍රමවේදය මගින් තොරතුරු නිසි පරිදි නොලැබෙන විට අභියාචනා කිරීමේ මණ්ඩලය       

තොරතුරු ලබා ගැනීමේ ක‍්‍රියාපටිපාටිය   
සෑම පොදු අධිකාරියක්ම තොරතුරු නිළධාරියෙකු හා අභියාචනා විභාග කිරීම සඳහා නිළධාරියෙකු පත් කරයි. ඔවුන් වෙතින් ජනතාවට තොරතුරු ලබාගත හැකිය. තොරතුරු ලබා ගැනීම සඳහා දැරිය යුතු වියදම හා ආකෘති පිළිබඳ තොරතුරු කොමිසම විසින් 2017 පෙබරවාරි 3 වන දින ගැසට් පත‍්‍රයේ පලකර ඇත.
තොරතුරු ලබාදීම ප‍්‍රතික්ෂේප කළ අවස්ථාවකදී අතෘප්තිමත්වන පුරවැසියෙකුට පිළිවෙලින් අභියාචනා විභාග කිරීමේ නිළධාරියාට හා තොරතුරු කොමිසම වෙත අභියාචනා කළ හැකිය. තොරතුරු කොමිසමේ තීරණයෙන් තෘප්තිමත් නොවන ඉල්ලූම්කරුවෙකුට අභියාචනාධිකරණයට අභියාචනාවක් කළ හැකිය.       
මෙම තොරතුරු දැනගැනීමේ පනත මගින් 5 වන වගන්තියේ විධිවිධානවලට යටත්ව පොදු කටයුතු සිදුකරන ආයතනවල සන්තකයේ, භාරයේ හෝ පාලනයේ ඇති තොරතුරු සම්පූර්ණ වශයෙන් හෝ කොටස් වශයෙන් ලබා ගැනීමේ හැකියාව ඇත. ඒ අනුව,
  1. අමාත්‍යාංශ
  2.  දෙපාර්තමේන්තු
  3.  සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල
  4.  පළාත් පාලන ආයතන
  5.  25%කට වඩා කොටස් රජයට හිමි සමාගම්
  6.  මහජන කාර්යයන් පිළිබඳව රජය සමග ගිවිසුමකට එළඹ ඇති පෞද්ගලික ආයතන
  7.  රාජ්‍ය නොවන සංවිධාන වෙතින් පුරවැසියන්ට තොරතුරු ඉල්ලා සිටිය හැකිය.

තොරතුරු ලබා ගැනීම හා සම්බන්ධ විවිධ අයදුම්පත‍්‍ර හා ලිපි      
  1. තොරතුරු ලබා ගැනීමේ අයදුම් පත‍්‍රය
  2.  තොරතුරු ඉල්ලීම ලැබුණු බව දැන්වීමේ ලිපිය 
  3.  තොරතුරු ඉල්ලීම් ලියාපදිංචි ලේඛනයට ඇතුළත් කිරීම
  4.  තොරතුරු ඉල්ලීම භාරගත් බව දැන්වීමේ ලිපිය 
  5.  තොරතුරු ඉල්ලීම ප‍්‍රතික්ෂේප කිරීමේ ලිපිය 
  6.  තොරතුරු ලබාදීමේ කාලය දීර්ඝ කිරීමේ ලිපිය 
  7.  රහසිගත තොරතුරු සම්බන්ධ ඉල්ලීම් පිළිබඳ ලිපිය 
  8.  තොරතුරු ඉල්ලා සිටීම පිළිබඳ අභියාචනා ලද බව දැන්වීමේ ලිපිය 
  9.  අභියාචනා ලේඛනයට ඇතුළත් කිරීම
  10.  නම්කළ නිළධාරියා වෙත අභියාචනා අයදුම් පත‍්‍රය යොමුකිරීම
  11.  ප‍්‍රතික්ෂේප විස්තර ලේඛන

තොරතුරු ලබා ගැනීම වෙනුවෙන් අනුගමනය කළ හැකි පියවර  
 

  • තොරතුරු ඉල්ලීමේ අයදුම්පත සකස් කිරීම
  •  අදාළ තොරතුරු ඇති ආයතනය තෝරා ගැනීම
  •  ආයතනයේ තොරතුරු නිළධාරියාට අයදුම්පත භාරදිම
  •  තොරතුරු ලබා දෙන හෝ නොදෙන බව දින 14 ක් තුළ අදාළ පුද්ගලයාට ආයතනය මගින් දැන්වීම
  •  තොරතුරු ලැබේනම් අදාළ ගාස්තුව ගෙවිය යුතුය
  •  ගාස්තු ගෙවා දින 14කින් තොරතුරු ලැබෙයි
  •  තොරතුරු නොලැබුණහොත් අභියාචනා පත‍්‍රයක් සැකසිය යුතුය
  •  දින 14 ක් තුළ අභියාචනා පත‍්‍රය අදාළ ආයතනයේ නම්කළ නිළධාරියාට භාරදිය යුතුය
  •  නම් කළ නිළධාරියාගේ තීරණය පිළිබඳ නොසෑහේ නම් මාස 2ක් තුළ තොරතුරු කොමිසමට       අභියාචනයක් ඉදිරිපත් කිරීමට හැකිය
  •  තොරතුරු කොමිසම එම ඉල්ලීම නොපිළිගනී නම් මාසයක් තුළ අභියාචනාධිකරණයට යා හැකිය                 



    


Monday, May 20, 2019

පත්තිනි ඇදහිල්ල

   
පත්තිනි දෙවියන්ගේ උපත පිළිබඳව සඳහන්වන ප‍්‍රධාන මූලාශ‍්‍රයක් වන්නේ සුළු සිද්ධ වේර කවියෙකු වන ඉලන්තෝ අඬිගල් විසින් රචිත සීලප්පදිකාර් හෙවත් සළඹේ කතාව නැමැති කාව්‍ය ග‍්‍රන්ථයයි. එහි සඳහන් වන ආකාරයට ගජබා රජු සොලී රටට ගොස් මෙරටට පත්තිනි දේවියගේ පා සළඹ  රැගෙන ආ පුවතත් එම පා සළඹ තැන්පත් කර පත්තිනි දෙවියන් වෙනුවෙන් දේවාළයක් තනා ඇසළ පෙරහැර පැවැත්වූ බවත් සඳහන්ව ඇත. මෙම දේවාලය නවගමුවේ ඓතිහාසික පත්තිනි දේවාලය බව ඉතිහාස කතාවයි. මේ පිළිබඳව තවත් ඓතිහාසික මූලාශ‍්‍ර ඇති අතර රාජාවලිය, පූජාවලිය සහ පැරකුම්බා සිරිත වැනි ග‍්‍රන්ථයන්ද මේ අතර දැකගත හැකිය. මෙම දේව ඇදහිල්ල ශ්‍රී ලංකාවේ ආරම්භ වීම තුළින් මෙරට ජන සමාජයට ඉතා වැදගත් කරුණු බොහොමයක් මෙන්ම හුරු පුරුදු රැසක්ද දායාද වී ඇත.

කාන්තාව සතු වටිනාම දේ වන්නේ ඇයගේ පතිවතයි. මෙය උතුම් දහමකි. එම උතුම් දහමේ වටිනාකම කෙරෙහි මහත් බලපෑමක් ඇති කරන ලද්දේ මෙම දෙවඟන හා සබැඳි කතා පුවතයි. එහෙයින් විශේෂයෙන්ම පෙරදිග රටවල කාන්තාවන්ගේ ආදර්ශය බවට පත්වූ විශේෂ චරිතයක් වන්නේ පත්තිනි දෙවඟනයි.

පත්තිනි දෙවියන් දේවත්වයට පත් වීමට පෙර සොලී රටේ ”කන්නගී” නම් කාන්තාව වුවාය. ඇයගේ සැමියා වූ ”කෝවලන් ” නොකළ වරදකට මධුරාපුර රජු විසින් මරා දැමීම හේතු කොටගෙන තම වම් පියයුර කඩා පොළවේ ගසා තමන්ගේ පතිවෘතා බලයෙන් මුළු මධුරාපුරයම ගිනිලවන මෙන් ශාප කළ අතර එම ගිනි ලෑමෙන් දරුවන්, රෝගීන්, ගැබිනි මව්වරුන් හා  සතුන් බේරන ලෙසද ප‍්‍රාර්ථනාවක් කළාය. මධුරාපුරය පුරා ගිනි ගන්නා විට එම ගින්න නිවා දමන මෙන් රජු ඇයගෙන් ඉල්ලීමක් කොට තිබේ. නැවුම් එළදෙනකගේ නැවුම් කිරි මුළු මධුරාපුරයේම ඉසීම හේතුවෙන් ගින්න නැවතුන බව ඉතිහාසයේ සඳහන් වේ.

කිරි ඉතිරවීමේ චාරිත‍්‍රය ජන සමාජයට එක් කරලීම සඳහා ඉහත කතා පුවත හේතු වී ඇත. නව වසර ආරම්භය, අලූත් අවුරුදු උදාව, නව නිවසකට ගොඩ වැදීම ආදිය තුළ මෙම චාරිත‍්‍රය දක්නට ඇත. ගැබිනි මව තම කුසේ සිටින දරුවා ආරක්ෂා කර දෙන මෙන් ඉල්ලා සිටින්නේ මෙම දෙවියන්ගෙන්ය. රෝගීන්ද පිහිට පතන්නේ මෙම දේව මෑණියන්ගෙනි. කිරි අම්මාවරුන්ගේ දානය, පඬුරු බැදීම ආදිය සිදු කරනුයේ මේ උදෙසාය. මේ සියල්ල මධුරාපුරයේ ගිනිලෑමට සම්බන්ධය.
තවද කී‍්‍රඩාව මිනිසාගේ නිරෝගීභාවයට ඉතාම වැදගත් දෙයකි. මේ අනුව පත්තිනි ඇදහීම සම්බන්ධව ක‍්‍රීඩා 64 ක් ඇති බව පත්තිනි පුරා කතාවන්ගෙන් පැවසෙයි. අං කෙළිය, ඔලිිද කෙළිය, සොකරි නැටීම, පොල් කෙළිය, ගුඩු ගැසීම, තට්ටු පැනීම ඒ අතර වෙයි. දෙවියන්ගේ ලෙඩ යැයි විශ්වාස කරන වසංගත රෝග 64 ක් ඇති බවද සඳහන්ය. 

පත්තිිනි මෑණියන්ගේ පිහිට සතා සීපාවටද නොඅඩුව ලැබෙන බව තහවුරු වන එක් අවස්ථාවක් වන්නේ  ගොනුන් පිට සධාතුක කරඬුව සහ දේවාභරණ වඩම්වන අතිශය දුර්ලභ පෙරහැරය. මෙම පෙරහැර නවගමුව පත්තිනි දේවාලයට පමණක් ආවේණික වූවකි. මේ පෙරහැර පවත්වන්නේ අත්ිතයේ ගොනුන්ට වැළදුණු වසංගත රෝගයකින් බේරීමට පත්තිනි මෑණියන්ට වූ භාරයක් ඔප්පු කිරීමටය. 

”පත්තිනි මෑණියෝ , පත්තිනි අම්මා” වශයෙන් හඳුන්වනු ලබන මෙම දෙවඟන බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවාදරයට පත්ව ඇත. ඇය ශාන්තිවාදී දෙවි කෙනෙකි. පිරිමි ආත්මයක් ලැබ මතු බුදුවන්නට පෙරුම් පුරයි. වර්තමානය වන විටද ශ්‍රී ලාංකික ජනයාගේ දේව ඇදහිලි හා විශ්වාස අතර පත්තිනි දේව ඇදහිල්ලට ලැබෙනුයේ සුවිශේෂී ස්ථානයකි.      

Monday, May 13, 2019

මහජන සම්බන්ධතා

   
මහජන සම්බන්ධතාවයේ ඉතිහාසය මානව ඉතිහාසයේ ඉතා ඈතට දිවයන්නකි. ඉතා නොදියුණු ප‍්‍රාථමික වනචාරී ගෝත‍්‍රවල පවා සිය මහජන සම්බන්ධතා ක‍්‍රියාදාමය පවත්වාගෙන යෑම සඳහා කිසියම් නොදියුණු ක‍්‍රමයක් හෝ පවත්වාගෙන ගියබව පෙනෙයි. සමාජය ක‍්‍රමයෙන් විකාශනය වත්ම මහජන සම්බන්ධතාවල ස්වරූපයද විවිධ වෙනස්කම්වලට බඳුන් විය. වර්තමානය වනවිට මහජන සම්බන්ධතාවය වෘත්තියක් දක්වා වර්ධනය වී ඇත. වර්තමානය වන විට බොහෝ රටවල්වල  මහජන සම්බන්ධතා ක‍්‍රියාවලිය පිළිබඳව දැඩි අවධානයක් යොමු වී ඇති බව පෙනෙයි. ඒ සමඟම මෙම ක‍්‍රියාවලිය ප‍්‍රායෝගිකව භාවිතා කිරීමේදී ජන මාධ්‍ය ප‍්‍රබල අවියක් ලෙස යොදා ගනියි. නමුත් ජනමාධ්‍යකින් තොරව වූවද මහජන සම්බන්ධතාවය ගොඩනැගිය හැකිය. 

මූලිික වශයෙන්  මහජන සම්බන්ධතාවය අභ්‍යන්තර හා බාහිර මහජන සම්බන්ධතාවය වශයෙන් කොටස් දෙකකි. අභ්‍යන්තර මහජන සම්බන්ධතාවය තුළදී ආයතනයේ සාමාජිකයින් තුළ ආයතනයේ ප‍්‍රතිරූපය ගොඩනැංවීම මූලික අරමුණ බවට පත්කර ගනියි. බාහිර මහජන සම්බන්ධතාවය තුළදී මූලිකම පරමාර්ථය වන්නේ බාහිර පාර්ශවකරුවන් හා ආයතනය අතර සුහදත්වය වර්ධනය කරලීමයි.

මහජන සම්බන්ධතාවේ තවත් මූලික අරමුණක් වන්නේ කිසියම් අදහසක්, ආකල්පයක් හෝ සාරාර්ථයක් කිසියම් පිරිසක් වෙත පිළිගැන්වීම වේ. තවත් අවස්ථාවක මහජන සම්බන්ධතාවයේ මූලික අරමුණක් වන්නේ කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් පාරිභෝගිකයා වෙත පිළිගැන්වීම වේ. මේ සෑම අවස්ථාවකදීම මූලික වන්නේ මහජන සම්බන්ධතා නිළධාරිවරයාය. ඒ නිසා ඔහු මහජන මතය පිළිබඳ විශේෂඥයෙකු විය යුතුය. මහජන සම්බන්ධතා තවත් අතකින් සැලසුම්කරණු ලැබූ ක‍්‍රියාවක් ලෙසද හැඳින්විය හැකිය. ඒ අනුව මහජන සම්බන්ධතා යනු මහජන මතය සමඟ සම්බන්ධ වූද, සන්නිවේදනය සමඟ ගණුදෙනු කරන්නාවූද කළමණාකරණ කාර්යයභාරයක් කරන්නා වූද යන ත‍්‍රිවිධ කාරණා මූලික ක‍්‍රියාවලියක් බව හඳුනාගත හැකිය. ඒ නිසා සන්නිවේදන විශාරදයින් විසින් මහජන සම්බන්ධතාව ක‍්‍රියාදාමයන්  රැසක ගොණුවක් ලෙසද හඳුන්වනු ලැබේ.

ස්වභාවයෙන්ම පවත්වාගෙන යන මහජන සම්බන්ධතා, සංස්කෘතික සබඳතා, විෂයක් වශයෙන් ඉගෙනීමෙන් යුතුව වෘත්තියක් ලෙස පවත්වාගෙන යනු ලබන මහජන සම්බන්ධතා වශයෙන්ද කොටස් කළ හැකිය.

මහජන සම්බන්ධතා ක‍්‍රියාවලියේ අන්තර්ගතය තුළ පහත සඳහන් දෑ අන්තර්ගත වේ.  
 
ආයතනයක් ඇතුළත හා ඉන් පිටත සිට එය හා සම්බන්ධකම් ඇති කර ගන්නා හා ආයතනයක් අතර අන්‍යොන්‍ය අවබෝධය වැඩි දියුණු කරලීමට ගන්නා සියලූ පියවර
 
ආයතනයක් පිළිබඳව මහජනයාගේ සිත තුළ හැඟීමක් ඇති කිරීම සඳහා දෙනු ලබන උපදෙස්
 
ආයතනයක් පිළිබඳව වැරදි අවබෝධයක් ඇතිවීමේ හේතු සාධක සොයා ගැනීමටත් ඒවා තුරන් කිරීමටත්        ගන්නා ක‍්‍රියාමාර්ග

 අදාළ ප‍්‍රචාර, දැන්වීම්, ප‍්‍රදර්ශන, චිත‍්‍රපට ආදිය මඟින් ආයතනයක බලපෑම් සීමාව පුළුල් කිරීම
 
ජනතාව සහ ආයතන අතර සන්නිවේදනය සෘජුවම වර්ධනය කිරීමට තුඩුදෙන සෑම දෙයක්මය.