Sunday, July 28, 2019

මයිකල් ජැක්සන් හා ජනප‍්‍රිය සංස්කෘතිය


මයිකල් 1958 වසරේ අගෝස්තු 29 වන දින ඇමරිකාවේ ඉන්ඩියානාහිදී මයිකල් ජැක්සන් උපත ලැබීය. මයිකල් නව දෙනෙකුගෙන් යුත් පවුලක අටවෙනි සාමාජිකයාය. ගායකයෙකු, ගීත රචකයෙකු, නර්තන ශිල්පියෙකු, රංගන ශිල්පියෙකු, දානපතියෙකු වශයෙන් මොහු ලෝකය පුරා ප‍්‍රසිද්ධ විය King of pop යන විරුධාවලියෙන් හඳුන්වන්නේද මොහුය. ඇමරිකානු පොප් සංගීතය තුළ මොහු නොමැකෙන නාමයක් සනිටුහන් කළේය. පොප් සංගීතය ජනතාව අතරට ගෙන යාම සඳහා මයිකල් විසින් උපයෝගී කරගත් ශෛලීන් වඩාත් සාර්ථක විය. පොප් සංගීතය ජනතාව අතර වඩාත් ප‍්‍රිය වූ කලාවක් බවට පත්වූයේ එහි ප‍්‍රතිඵලයක් ලෙසය. ඔහුගේ නර්තන ශෛලීන් හා ගායන ශෛලීන් ජනතාවගේ වඩාත් සිත්ගත් ශෛලීන් බවට පත්විය. ඇමරිකානු පොප් සංගීතය වෙනස් මඟකට ගත් පුද්ගලයෙකු වශයෙන් මොහු හඳුනාගත හැකිය. මෙම සුවිශේෂී ජනතා ආකර්ෂණය නිසාම මොහුගේ පෞද්ගලික ජීවිතයේ යම් යම් අංගයන්ද ජනතාව විසින් අනුකරණය කරන්නට විය. උදාහරණ වශයෙන් ජැක්සන්ගේ ඇඳුම් විලාසිතා, ඔහුගේ කොණ්ඩ විලාසිතා, ඔහු පරිහරණය කළ උපකරණ හා භාණ්ඩ, සපත්තු විලාසිතා, තොප්පි විලාසිතා ආදිය ජනතාව අතර වේගයෙන් ජනප‍්‍රිය විය. ඇමරිකාව තුළ පමණක් නොව ලෝකය පුරාම ජනතාවගේ සිත්ගත් තරුවක් බවට මයිකල් ජැක්සන් පත්විය. පොප් ගායනය තුළ වේදිකාවේදී ඔහු විසින් අනුගමනය කළ රංගන ශෛලීන් ජනප‍්‍රිය රංගන ශෛලීන් බවට පත්විය. මයිකල් ජැක්සන් කෙරෙහි ජනතා උන්මාදයක් ඇති වීමට සෘජු වශයෙන්ම බලපෑවේ පොප් සංගීතයයි. 


ජනප‍්‍රිය යන  අර්ථය ඇති ඉංගී‍්‍රසි වචනය වන පොපියුලර් කෙටි වී පොප් නිර්මාණය වී තිබේ. පොප් සංගීත ශෛලියට පදනම් වී ඇත්තේ රොක් ඇන්ඞ් රෝල් වශයෙන් 1950 ගණන්වල පැවති සම්ප‍්‍රදායමය. පොප් සංගීතය පෝෂණය වී ඇත්තේ විවිධ සංගීත ශෛලීන් වෙතින් ලද මූලද්‍රවයන් උපයෝගී කර ගනිමිනි. නාගරික සංගීතය, රොක් සංගීතය, නැටුම් සංගීතය, ගැමි සංගීතය උදාහරණ වශයෙන් දැක්විය හැකිය. පොප් ගීතයේ ඉලක්කය වූයේ තරුණ පරපුරය. මෙය ශාස්ත‍්‍රිය ජෑස්, රොක්  නවීනතම ගීත ආදී සියල්ලගේම එකතුවක් මිස තනිව වර්ධනය වූ ශෛලියක් වූයේ නැත. පොප් ගීතයේ ඉතිහාසය 1920 ගණන් දක්වා අතීතයට දිවෙන බව සමහරු කියති. එහෙත් සමහර අයගේ මතය වන්නේ 1950 මැද භාගයේදී බි‍්‍රතාන්‍යයේදී තරුණ පරපුර වෙනුවෙන් අලූත් ගීත ශෛලියක් වශයෙන් මෙය වර්ධනය වූ බවය.

මොහුගේ සංගීත දිවියේ සුවිශේෂි අවස්ථාවන් රැුසක් දැකගත හැකිය. මයිකල්ගේ ප‍්‍රථම වෘත්තිමය සංගීත ආගමනය 1964 දී ඔහුගේ සහෝදරයන් හා ඔහු එක්ව කරන ලද  Jackson 5 සංගීත කණ්ඩායම හරහා සිදුවිය. 1967 දී  I want you back සංගීත ඇල්බමයට ඉහළ ප‍්‍රතිචාර හිමිවිය. එවිට ඔහුගේ වයස අවුරුදු 11කි. වර්ෂ 1978 දී ඔහු විසින් සිය ඒක පුද්ගල ගීත ඇල්බමය එළිදක්වන ලදී. එහි මිලියන 10ක පිටපත් ලොව පුරා අලෙවි වීම විශේෂත්වයකි. 1982 දී  THRILLER ඇල්බමය ලෝක සංගීත ඉතිහාසයේ ඉතා වේගයෙන් පිටපත් අලෙවි වූ ඇල්බමයක් වශයෙන් හඳුනාගත හැකිය. මිලියන 65ක පිටපත් අලෙවි වීම  හා එය ගිනස් වාර්තා පොතට එක්වීම තවත් විශේෂත්වයකි. 1987 දී එළිදක්වන ලද  BAD ගීත ඇල්බමය වඩා ජනප‍්‍රිය ගීත ඇල්බමයක් බවට පත්විය. 1996 සැප්තැම්බර් මාසයේ History world tour සංචාරය අරඹමින් යුරෝපයේ නගර 58ක ගීත සංදර්ශන පැවැත්වීම හරහා ඔහු වඩාත් ජනප‍්‍රිය චරිතයක් බවට පත්විය. එය 1997 ඔක්තෝබර් දක්වා සිදුවීම හා මිලියන 4.5 කට අධික රසික පිරිසක් මෙම සංදර්ශනයට පැමිණීම විශේෂත්වයක් බවට පත්විය. මෙම ලෝක සංචාරය මහද්වීප 5ක රටවල් 35කදී ඔහු විසින් ඉතා සාර්ථකව ඉදිරිපත් කිරීම සිදුවිය.    Got to be there, Ben, Music and me, Off the Wall, We are the world යනාදී ගීත ඇල්බම්ද ජනතා ආකර්ෂණය නොමඳව ලබාගත් සංගීත නිර්මාණ බවට පත්විය.

ජැක්සන් උපතින් කළු ජාතිකයෙකි. නමුත් ඇමරිකාව තුළ පැවති වර්ණ භේදය නිසා මෙන්ම පවුලේ ගැටලූ නිසා ඔහු තමාගේ සමෙහි වර්ණය පවා වෙනස් කර ගත්තේය. පෞද්ගලික ජීවිතයේ පවුලේ අයගේ වංචාවලට අසුවී අතීත අමිහිරි අත්දැකීම් සමඟ ජීවත් වූ ඔහුට තම ස්වභාවය වෙනස් කර ගැනීමට අවශ්‍ය විය. ඔහු කාල වර්ණයෙන් ශ්වේත වර්ණයට වෙස් ගැන්වූයේ දිගුකාලීන ඉතා වේදනාකාරී ප්ලාස්ටික් සැත්කම් කිරීමෙන් පසුවය. මිය යාමට පෙර තම මොළය පවා ඉවත් කර වෙනත් මොළයක් බද්ධ කිරීමට හැකිදැයි ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයා වන ”කොන්රඞ් මරේ” වෛද්‍යවරයාගෙන් ඔහු විමසා තිබේ. මේ බව මෙම වෛද්‍යවරයා This is it කෘතියේ දක්වා ඇත.  ඔහුගේ විවාහ ජීවිතය එතරම් සාර්ථක වූයේ නැත. පොප් ගායක එල්විස් ප්රෙස්ලිගේ දියණිය වන ලීසා මාරි ප්රෙස්ලි විවාහ වූ ජැක්සන්ගේ විවාහ ජීවිතය පැවතියේ වසර දෙකක් වැනි කෙටි කාලයකි. පුණ්‍ය කටයුතු උදෙසා මනා දායකත්වයක් ලබා දුන් පුද්ගලයෙකු වශයෙන් මොහු සැලකේ. කුඩා ළමුන් අපචාරවලට යොමුකර ගැනීම පිළිබඳ චෝදනා එල්ල වීම ඔහුගේ නාමයට කළු පැල්ලමක් බවට පත්විය. 2009 ජූනි 25 වෙනිදා හදවත් රෝගයකින් මොහුගේ මරණය සිදුවිය.                                                         
  

Tuesday, July 23, 2019

බුලතේ උපත හා බැඳි විෂ


පෙර එක් කලෙක අප මහ බෝසතාණෝ සා කුලයක ඉපිද සිල්වත්ව සිටින විට සක්දෙව් රජු ඒ බව දැක සාවාගේ ශීලය පරික්ෂා කර බලනු පිණිස සාවා කරා දුගී වෙසක් ගෙන  පැමිණ කුසගිනි බව පවසා කෑමට යමක් ඉල්ලූ විට, තමාගේ ඇඟ මස් කෑමට දීමට කැමති බවත් මස් පිලිස්සීම සඳහා ගිනි ගොඩක් ගසන ලෙස කී විට සක් දෙව් රජු ගිනි මැලයක් මවා ගිනි මැලයට පනින ලෙසත් කීයෙන් බෝසත් හාවා පිම්මේ ගිනි මැලයට පැන්න නමුත් සක්දෙව් රජු සාවා අල්ලාගෙන මුදාහැර පසුව සාවාගේ රුව තෙලිතුඩින් හඳේ ඇද තෙලිකූර විසිකළ විට තෙලිකූර නාග භවනේ පෙණය කරගෙන සිටි නාගයෙකුගේ පෙණය මතට වැටී පෙණය සිදුරු වීම නිසා නයා මැරී ගියෙන් නයි මළකුණ භූමදානය කළ තැනින් ”නාගවල්ලී” නම් වූ බුලත් උපන් බවත් නාගයෙකු විසින්ම එම බුලත බුලතේ නැට්ටෙන් හි තුඩුවෙන් අල්ලාගෙන මනුලොව ගෙන ආ බවත් කියවේ.

බුලත් විටක් කෑමට සැරසෙන පුද්ගලයෙක් බුලත් කොළයක් ගෙන එය අතින් පිසදමා එම කොළයේ අගිස්සත්, මුල ඇති නටුවත් මඳක් අතින් කඩා දමා කෑමට ගනියි. ඈත අතීතයේ පටන්ම පැරණි ගම්බද ගැමියන් විසින් එසේ කරන ලද්දේ බුලත් කොළයේ අගත්,මුලත් නාගලෝකයේ විෂ ඇතැයි යන්න ඔවුන් විශ්වාස කළ නිසාය. ඊට හේතුව වූයේ ඔවුන් විසින් බුලත් කොළයේ උපත සම්බන්ධව ගොඩනගා තිබුණු උපත් කතාවයි. 

ගැමියන් විශ්වාස කරන පරිදි බුලත් කොළ ප‍්‍රථමයෙන්ම හට ගත්තේ මනුෂ්‍ය ලෝකයේ නොව නාග ලෝකෙහිය. නාග ලෝකයේ මුලින්ම හටගත් බුලත් මනුෂ්‍ය ලෝකයට ගෙන එන ලද්දේ විෂ්ණු දෙවියන්ගේ නැගණියන් වන මැණික්පාල බිසවට වූ කොඩිවිනය දුරු කිරීමට සූනියම් ශාන්තිකර්මය කරවීමටය. මෙලෙසින් සුනියම් ශාන්තිකර්මය සඳහා නාග ලෝකයේ සිට බුලත් කොළ දෙකට නමා නාගයින් විසින් ඒවා සිය මුඛයේ රඳවාගෙන එන ලදී. මෙසේ දෙකට නමා නාග කටින් බුලත් කොළ ගෙන ඒමේදී නාගයින්ගේ විෂ දළ වැදීමෙන් බුලත් කොළයේ අගත්,මුලත් විස ඇති බව ගැමියන් විශ්වාස කළ අතර එදා පටන් මනුෂ්‍ය ලෝකයේ හටගත් බුලත් කොළවලද අග මුල නාග විෂ ඇතැයි ගැමියෝ බියවූහ. එම නිසා බුලත් කොළය කෑමට ප‍්‍රථම එය පිසදමා එහි අගත්, මුලත් මඳක් කඩා කෑමට ගැනීමට ඔවුහු හුරු විය.   

Sunday, July 21, 2019

බොහෝ සුන්දර සිනහවන් යට


බොහෝ සුන්දර සිනහවන්   යට
ලියැවිලා දුක්බර කතා ඇත
දිිලෙන ලස්සන නෙත් දෙකක් යට
ගුලිව සීතල කඳුලූ බිඳු ඇත
සානුකම්පිත හදවතක් යට
පිරී තෙරපෙන වේදනා ඇත
දිනෙක කාටත් හොරෙන් වැලි යට
ඒ කතා මිහිදන්ව යනු ඇත

Tuesday, July 16, 2019

අරලිය මල්....

මං හිතන්නෙ තව ඉස්කෝලෙ ඇරෙන්න වෙලාව තියෙනවා.... මං පොඞ්ඩක් මෙතනින් වාඩිවෙලා ඉන්නවා... 
මං එහෙම හිතනකොටම සුළඟට කෝලම් කර කර කොහෙන්දෝ ඉදලා පාවෙලා ආපු අරලිය මලක් මගේ ඇගේ හැපිලා බිමට වැටුනා...
ඒත් එක්කම... 
අරලිය මලත් එක්ක මගෙ ජීවිතේ ගොඩාක් ආපස්සට දුවන්න ගත්තා...ඒ අතීතය...ඒ සුවඳට අදත් මං ආදරෙයි...
කණ්නන් වැඩ කලේ අපේ පුංචි බේබිලාගේ ඉස්කෝලෙ ලඟ ලොකු කඬේක...
මං පුංචි බේබි ඉස්කෝලෙන් ගන්න එනකොට කණ්නන් හවස උලූදු වඬේ හදන වෙලාව. මං අරලිය ගහ ලඟට වෙලා ඒ ගහකට හේත්තු වෙලා එයා දිහා බලන් ඉන්නවා මතකයි...
ඒකට හේතුව අදටත් මට හිතාගන්න අමාරුයි...සමහර විට කොළඹ රටේ උදවියගෙ මුහුණුවලට වඩා ඒ මුහුණ මට ගොඩාක් ලගින් දැනුන හින්දා වෙන්න ඇති...
ඔහොම ටික දවසක් යනකොට පත්තර කොලේක උලූදු වඬේ දෙකක් ඔතලා එයා මගෙ අතේ තියලා ගියා...ඉස්කෝලෙ ඇරෙන්න ලඟ හින්දා මං ඒක එහෙම්මම ඒක මල්ලට දා ගත්තා. නිවී සැනසිල්ලෙ කන්න කියලා...
ඒත් ඒ දවසෙ කණ්නන් මාත් එක්ක එක වචනයක්වත් කතා කලේ නෑ... 
වෙනදා පුංචි බේබිව ඉස්කෝලෙ එක්ක යන එක තරම් කරදරයක් මට තවත් තිබුණෙ නෑ... 
බේබිව වඩාගෙන ඉස්කෝලෙට ගෙනත් දාන්නයි...ආපහු ගෙදර එක්ක යන්නයි...ගියාම මගෙ මුලූ අත් දෙකම රිදුම් කනවා...
ඒ විතරක්ද? පරණ හම් බාටා දෙකත් හොඳටම ගෙවිලා...බේබි මදිවට ගල් කැටත් මට වද දෙනවා...ඒත් කණ්නන්ගෙ බැල්මෙන් පස්සෙ ඒ ගල් කැට ගැන කිසිම ගාණක් ගියේ නෑ... මට...
දවසක් මං අරලිය ගහ යටට වෙලා කණ්නන් දිහා බලන්නෙවත් නැතුව අරලිය අත්ත උඩ මූණ තියාගෙන හිටියා...මට මතක නෑ මං කොච්චර වෙලා හිටියද කියලා...
මං එක පාරටම පිටිපස්ස බලනකොට කණ්නන් මං ලඟ....
එයාගෙ මූණෙ චූටි දාඩිය බිංදු මතුවෙලා...හී...ං නාහෙ අගින් යා...ංතං කලූ වීගෙන එන උඩු හොස්සට දාඩිය බිංදු දෙක තුනක්ම වැටුණා...    
ඊයේ හවස ලොකු නෝනා ගහලා මගෙ කම්මුලක රතු පාටට ඇගිලි පාරවල් හිටලා තියෙනවා දැකලා එයාගෙ මූණ අමුතු වුණා...කන්නන් මගෙ කම්මුල ලගින් එයාගේ අත තියලා මාව අස්වැස්සුවා...
”මොකද්ද? ඔයාගෙ නම”
”මානෙල්...”
”මං නෙලී කීවට කමක් නැද්ද?”
හිතාමතාම නෙමෙයි මට එකපාරටම...හ්ම්...කියවුනා...
ඒ වෙනකොට මගෙ ඇස් දෙකේ කඳුලූ හොඳටම පිරිලා...තවමත් මගෙ කම්මුල ඇදුම් කනවා...
”අඬන්න එපා නෙලී...” අපි දෙන්නම එකයි
එකපාරටම කඬේ අයිතිකාර මුදලාලි අරලිය ගහ යට... එයා වේගෙන් දෙමළෙන් මොනවාදා් කියාගෙන ගියා...ඒ මොනවද කියලා මට තේරුනේ නැති වුණත් කණ්නන්ට හොඳටම බැනපු විත්තිය මට තේරුනා...
කණ්නන් මූණ ඇල කරන් මුදලාලිට පිංසෙණ්ඩු වෙනකොට මුදලාලි මටත් රවන් පාර මරුවෙලා කණ්නන්ට තවත් අත දික්කර දික්කර මොනවදෝ කීවා...
කඬේ වැඩ තියෙනකොට කණ්නන් මාත් එක්ක කතා කරන්න එන එක ගැන මුදලාලිට තරහ ඇති...මට එහෙම හිතුනා...
ඇස් දෙක ඇරලා ඔලූව ඉස්සුවෙ අපේ බේබි ප්ලාස්ටික් වතුර බෝතලෙන් පිටට ගහද්දී...
කාලයක් ඔහොම ගතවෙලා ගියා...ඒ කාලය ඇතුලත ගොඩක් දේවල් ඇස්වලින් අපි කතා කලා...වචනවලටත් වැඩියෙන්...
තවත් දවසක් උදා වුනා...
අදනං කණ්නන්ගෙ මූණ හරි අමුතුයි...අදත් මුදලාලි බැනලාවත්ද?
”මොකද්ද අනේ ඔයාට වෙලා තියෙන්නෙ” කිසිම කතා බහක් නැතුව බලා ගත්ත අත බලාගෙන ඔහේ කල්පනාව...
ඇත්තටම මං කලින් හිතුවෙ කණ්නන් සිංහල කෙනෙක් කියලා... දෙමළ වලටත් වඩා හොඳට එයා සිංහල කතා කළා...
ඒ හින්දා මට දැනුනෙ එයා මගෙම කෙනෙක් විදිහට 
ඇඳුමෙන් පැලඳුමෙන් පවා එයා සිංහල නෙමෙයි කියලා හොයන්න පුලූවන්කමක් තිබුනෙ නෑ...                     
අන්න ඒ පාර කණ්නන්ගෙ මූණ හොඳටම නරක් වුණා... අන්න ඒ පාර කණ්නන්ට ඇඩෙන්න වගේ එනවා.... ආ මේ මොකද? කමිසෙ ඉරිලා ආ.... මේ ලේ පාරක් නේද? කමිසෙ ඉරිච්ච තැන පිටේ වේලිච්ච ලේ වගයක්??? අයියෝ... පිට දිගේ ඇගිල්ලක් තරම් මහත ලේ පාරක්....
ඉස්සර වගේ මුණගැහෙන්න දැන් අපිට මුදලාලි බාධාවක් වුණේ නෑ පුංචි බේබිට හවස පංති තිබුණ හින්දා මං ඉස්කෝලෙ ලඟට එනකොට මුදලාලි හොඳටම නිදාගන්න වෙලාව
ඉතිං කණ්නන්ටයි මටයි නිදහසේ කතා කරන්න පුලූවන් වුණා අපේ කතාව අහගෙන හිටියෙ සුදුපාට මල් පිරුණු අරලිය ගස් විතරයි....
අව් කණ්ණාඩි පැලඳගෙන මොටෝ රියවලින් ඉස්කෝලෙ ලඟට ආව ගිය ලොකු නෝනාවරුන්ගෙ  මහත්වරුන්ගෙ ඇස් අපේ පැත්තට හැරුනෙ නෑ
ඉස්කෝලයක් කීවට මේක ඉන්ටනැෂනල් කොලිඡුියක් කියලා කණ්නන් තමයි මට කියා දුන්නෙ කොළඹ රටේ උදවියට අකුරු ඉගෙන ගන්න තියෙන තැන්වලට කියන නම වෙන්න ඇති කියලා මං හිතා ගත්තා
ඉතිං කියන්න මොකද වුණේ?
කණ්නන් මුකුත්ම කීවෙ නෑ... කියාගන්න බැරි ගොඩක් දේවල් එයාගෙ ඇස් දෙකේ ලියවිලා තිබුණා
නෙලී අදින් පස්සෙ කවදාවත් අපි හම්බ වෙන්නෙ නෑ
කණ්නන් ඒ වචන ටික කියා ගත්තෙත් බොහොම අමාරුවෙන් ඒක අහපු හැටියෙ මට ඉහිලූම් නැතුව ගියා...අරලිය ගහ යට කොච්චර සීතල වුණත් මට එකම සැනසීමක් තිබුණු මේ ගහ යට මාව පිච්චෙනවා වගේ දැනුනා...
කාත් කවුරුත් නැතිව මේ ගෙන්දගම් පොළවේ මට හිටිය එකම හිතවතා....
”කණ්නන් ඔයා ගමට යනවද?”
අරලිය ගහේ උඩ පොකුරකින් වැටිච්ච මලක් කණ්නන්ගෙ ඔලූවට වැටිලා ඔලූවෙ රැුදුනා.....
මං කණ්නන්ගෙ නාහෙ ගාවට මල ලං කොරපුවාම එය ඇස් දෙක පියාගෙන හිමිං සැරේ උඩට හුස්ම ඇදලා හිමිං හිමිං මං දිහා බැලූවා
මට බේබිලාගෙ ගෙදර ආපු හැටි මතක් වුණා...එහෙ ගියාම කෙලී හොඳට කාලා බීලාවත් ඉදීවිනෙ කියලා අම්මා මගෙ මූණ ඉඹලා කියුවා.....එතකොට මට අවුරුදු දහයයි.....මං තාත්තා ගැන අහන හැමවෙලේම අම්මගෙ ඇස් දෙකේ කඳුලූ පිරුනා විතරයි
විඡේ මාමා එක්ක මං කොළඹ ආපු හැටි...මං මෙහෙ ඇවිත් අවුරුදු දෙකකට පස්සෙ අම්මා අන්ත‍්‍රා වුනා කියලා විඡේ මාමා ටැලිපෝන් කරලා කීවා මගෙ රත්තරං අම්මා බලන්න මාව කවුරුත් ගමට එක්කන් ගියේ නෑ....
දැන් අවුරුදු අටක් ගතවෙලා ගිහිං.......                                         
කණ්නන්ට හිටියෙ අම්මා විතරයි අම්මටත් අංශභාගෙ හැදිලා එක්තැන් වෙලා....
කවදාවත් කණ්නන් මහන්සි  වුන විදිහට මුදලාලි එයාට සල්ලි දුන්නෙ නෑ....
”නෙලී ඔයා කැමතිද? මාත් එක්ක ගමේ යන්න”
කොච්චර ඇවිටිලි කලත් කණ්නන් ගමට යන්න තීරණය කලේ ඇයි කියලා මට කීවෙ නෑ....
නියඟය කාලෙට අරලිය මල්,කොල ඔක්කොම පොළවට වැටෙනවා මං දැකලා තියෙනවා.... 
ඒත් වැස්ස එක්ක ආයෙමත් අරලිය ගස්වල මල් පිපෙන්නෙ වෙනදාටත් වඩා ආඩම්බරෙන් කියලා තමයි මට හිතෙන්නෙ...
මං කණ්නන් එක්ක එයාගෙ ගමට යන්න කැමති වුණා....
මං පුංචි බේබිව ගෙදර ගිහිං දාලා මං ලඟ තිබුණු සල්ලි ටිකත් අරගෙන අම්මා, ගෙට වෙද්දි මට දාපු කරාබු කුට්ටමත් ලෙන්සුවක ඔතා ගත්තා
මං අරලිය ගහ ලඟට එනකොට කන්නන් අරලිය අත්තක් උඩ වාඩි වෙලා
මං එයා ලඟට යනකොට හෙමින් සැරේ කමිස සාක්කුවට අත දාලා මොකක්ද අතට අරන් අතමිට මොළව ගත්තා....
”ම්..... මොකක්ද?”
”බඞ්ඩක්.....අතක් දෙන්නකෝ”
මැදලා වයිරං වැටිච්ච ලස්සන පොල්කටු මුද්ද ඇඟිල්ලට දාලා එයා මගෙ අතින් අල්ල ගත්තා
අපි කණ්නන්ගෙ ගෙදර යනකොට   ? හතත් පහුවෙලා....
අපිට ඡුීවත් වෙන්න විදිහක් තිබුනෙ නෑ ටික කාලයක් යනකම් කණ්නන් කුලී වැඩ කළා
කාලයක් ගත වුණා....අපි දෙන්නගෙ මහන්සියෙන් අපි පුංචි කඩයක් දා ගත්තා  ඒ වෙද්දි මටත් පැටලි පැටලි දෙමළ කතා කරන්න පුලූවන්....
අපේ කඬේ තිබුන සිංහල කෑමවලට ගොඩක් අය කැමති වුණා
අපි පෝයට අරලිය මල් වට්ටි හදන් පන්සල් ගියා කොහේ හරි ඈතක....
කෝවිලට ගිහිං පුද පූඡුා කරලා ගොඩක් වෙලා ඉඳලා අපි එනවා
ගණ දෙවියන්ගෙ මූණ දකිනකොට මට අම්මව මතක් වුනා
මට අකුරු කියවපු දවසේ ගණදෙවි පිංතූරෙට අම්මා මගෙ අත් දෙකම එකතු කරවලා වැන්ඳුවා මට තාමත් හොඳට මතකයි
නළලට තිලකයක් තියලා කොණ්ඩ කරලක් ගොතලා පිච්ච මල් ගහන්න මං ගොඩක් ආසා කළා   වෙලාවකට කණ්නන් රතු අරලිය මල් ගොඩක් ගෙනැත් මගෙ කොණ්ඩෙ සරසනවා
එතකොට මට තනියම හිනා යනවා
අරලිය මල්.....
තවත් වෙලාවක ලස්සනට ඔසරිය ඇඳලා මම එයාට පෙන්නුවා   
තාප්පෙට එහා පැත්තෙ ඇහෙන ළමයින්ගෙ ඝෝෂාව දැන් ටිකක් වැඩියි වගේ....ඉස්කෝලෙ ඇරෙන්න ලංවෙලා....ආ.... ඔව්ම තමා එක පාරටම සීනුව නාද වෙන්න පටන් ගත්තා 
ඈතින් දුවගෙන එන මගේ පුංචි කෙල්ල මට අදනම් පෙනෙන්නෙ ලස්සන අරලිය මලක් වගේ
සකුන්තලා මහේෂ්වරී.... මගේ පුංචි ලෝකය
”අම්මේ අපි උලූදු වඬේ අරං යමුකෝ.....” කියලා එයා මගෙ අතේ එල්ලූනා
මං උත්තර දෙන්න පරක්කු වුන හින්දා එයා මෙහෙමත් කියුවා
”අම්මා එනක්කු උලූන්දු වෙඩෙයි සාප්පිට්ට වේණුම්.....”
පුංචි කෙල්ලගේ අතත් අල්ලන් යනකොට ඈතින් කණ්නන් බයිසිකලේ එනවා දැකලා අපි දෙන්නම අප්පුඩි ගැහුවා..... 

                                            

     


































Saturday, July 6, 2019

අපේම වරදින් සෑදෙන බෝ නොවන රෝග


සෞඛ්‍ය යනු පුද්ගලයෙකුගේ මානසික ශාරීරික හා සමාජීය  තත්ත්වය හොඳ මට්ටමක සමබරව පැවතීමයි. බුද්ධ වචනයට අනුව නීරෝගී බව පරම ලාභය වේ. නිරෝගි පුද්ගලයෝ රටක සම්පතකි. සංවර්ධනයට දායක වෙයි.

බෝ නොවන රෝග යනු,පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට  ආසාදනය නොවන ජානමය හේතු හෝ අහිතකර ජීවන රටා හේතු කොටගෙන ඇති වන රෝග බෝ නොවන රෝග නම් වේ.

දියවැඩියාව, අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, ස්ථූලතාවය, හෘද රෝග, මුඛ රෝග, ශ්වසන රෝග    වකුගඩු රෝග, තැලිසීමියාව, පිලිකා ආදිය ප‍්‍රධාන වශයෙන් බෝ නොවන රෝගවලට අයත් වේ.

බෝ  නොවන රෝගවලට හේතු

දුම්කොල භාවිතය, මානසික ආතතිය, මධ්‍යසාර හෝ මධ්‍යසාර අඩංගු පාන භාවිතය, සෞඛ්‍යට හිතකර නොවන ආහාර පුරුදු, පවුල් පරිසරය, වයස ස්තී‍්‍ර පුරුෂ භාවය ආදිය මෙම රෝගයන්ට හේතු සාධක වේ. මෙම රෝගවලින් වැළකීම සඳහා මෙම ක‍්‍රියාමාර්ග අනුගමනය කළ හැකිය.

දුම් පානය නැවැත්වීම

මත්පැන් පානය  නැවැත්වීම

නියමිත ශරීර ස්කනධ  දර්ශකය පවත්වා ගැනීම

දිනපතා සිරුරට  හොඳින් ව්‍යායාම ලබාදීම

වැඩි වශයෙන් එළවලූ හා පලතුරු ආහාරයට ගැනීම

ආහාරවලට එකතු කරන ලූණු  ප‍්‍රමාණය අඩු කිරීම

සීනි භාවිතය හැකි තරම්  අඩු කිරීම

මේද ආහාර අඩු කිරීම

මානසික සෞඛ්‍ය හැකිතාක් නිරෝගිව පවත්වා  ගැනීම

තමාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ මනා අවබෝධය


බෝ නොවන රෝගවලින් වැළකීම සඳහා ඒ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම වැදගත්ය.        

දියවැඩියාව

දියවැඩියාව යනු මිනිස් සිරුරේ රුධිරයේ තිබිය යුතු නියමිත සීනි මට්ටම පැවතිය යුතු සාමාන්‍ය මට්ටම ඉක්මවා යාම නිසා ඇතිවන පරිවෘත්තීය කි‍්‍රයාවලිය හා සම්බන්ධ රෝගී තත්ත්වයකි.

රුධිරයේ ඇති  සීනි මට්ටම පාලනය වන අගන්‍යාසයේ නිපදවන ඉන්සියුලින් හෝමෝනය නිපදවීමේ හා එහි කි‍්‍රයාකාරිත්වයේ ඇති වන ගැටලූ නිසා  මෙම රෝගය ඇති වේ අධික රුධිර පීඩනය, මුත‍්‍රා රෝග හා වකුගඩු රෝග, ප‍්‍රතිශක්තීකරණ බලය හීන ව්ම, දෙපා ඇගිලි ආදිය කපා ඉවත් කිරීමට සිදුවීම, ලිංගික දුර්වලතා ආදිය දියවැඩියා රෝගයේ අතුරු ආබාධ වේ.

කොලෙස්ටරෝල්

අනවශ්‍ය මේද කොටස් රුධිර නාලවල තැන්පත් වීමෙන් ඇතිවන  රෝගයකි. සිරුරට අවශ්‍ය මේද ප‍්‍රමාණයෙන්  65% ක් අකමාව නිපදවයි ඉතිරි 35%  අප ගන්නා මේද සහිත ආහාරවලින් පූර්ණය වේ.              

මේදය වැඩිපුර ගැනීමෙන් අතිරික්ත මේදය රුධිරයට  මුදා හැරෙයි. රුධිරයේ මේවා  දිය නොවන නිසා ඒවා රුධිර නාලවල තැන්පත් වේ. හෘදයේ ඇති ධමනිවල තැන්පත් වීමෙන් හෘදයාබාධද මොළයේ තැන්පත්  වීමෙන් අංශභාගය ද සෑදේ.

පක්ෂඝාතය, අමතක  වීමේ රෝග, වකුගඩු රෝග, හෘදයාබාධ, ලිංගක අප‍්‍රාණිකත්වය මෙහි අතුරු ආබාධ වේ.

හෘදයාබාධ

නිරෝගි වැඩිහිටියෙකුගේ හෘදය විනාඩියට 72ක් වාරයක් ස්පන්දනය වේ. මෙම කාර්යය නිසි අයුරින් සිදු වීමට නම් හෘදයට නිරන්තර ඔක්සිඡුන් සහ පෝෂක ද්‍රව්‍යවල සැපයුමක් අවශ්‍ය වේ. හෘදයේ ඇති පේශිවලට අවශ්‍ය ඔක්සිඡුන් බහුල රුධිරය කිරීටක ධමනි මගින් සපයනු ලබයි. කිරීටක ධමනිවල සිදුවන අවහිරවීම් නිසා අවශ්‍ය තරම් රුධිර සැපයුමක් හෘත් පේශිවලට නොලැබීමෙන් හෘදයාබාධ ඇතිවේ.

පිළිකා

පිලිකා යනු සිරුරේ ෙසෙලවල  ඇතිවන රෝගී තත්ත්වයකි. විවිධාකාරයේ ෙසෙල සිරුරේ ඇති අතර විවිධ පිලිකා එම ෙසෙලවලින් හටගනී. සියලූම පිලිකාවලට පොදු ලක්ෂණය නම් එම පිලිකා  ෙසෙල අසාමාන්‍ය වීමත් පාලනයකින් තොරව ගුණනය වීමත් යන කරුණුය.සෑම පුද්ගලයෙකුගේම සිරුර තුල පිලිකා ෙසෙල පවතී. නමුත් ඒවා බිලියන කිහිපයක් දක්වා වර්ධනය වන තුරු කිසිදු පරික්ෂාවකට හඳුනාගත නොහැක.මිනිසෙකුගේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත්ව තිබෙන  කාලය තුල දී මෙම ෙසෙල වරින් වර විනාශ කරනු ලබයි.මෙය දුර්වල වු විට එම ෙසෙල ඉස්මතු වේ.පෝෂණ  ඌණතා මග හරිමින්  ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම  සඳහා ආහාර රටාව සහ  ජීවන රටාව වෙනස් කිරීම අනිවාර්ය වේ.        

ස්ථූලභාවය

පුද්ගලයෙකුට දිනකට අවශ්‍ය වන නියමිත කැලරි ප‍්‍රමාණයක් තිබේ. එම කැලරි ප‍්‍රමාණය ඉක්මවා ආහාර මගින් වැඩිපුර කැලරි ප‍්‍රමාණයක් දිගු කාලයක් තිස්සේ ලබාගන්නේ නම් ස්ථූලභාවය ඇති වේ. වැඩිපුර ගන්නා අමතර කැලරි ප‍්‍රමාණය සිරුරේ මේද පටකවල මේදය ලෙස තැන්පත් වේ.

අතුරු ආබාධ ලෙස දියවැඩියාව, හෘද රෝග, පිත්තාශයේ ගල්, ප‍්‍රජනන ගැටලූ, ගර්භනී අවධියේ සංකූලතා, මානසික ගැටලූ ආදිය හඳුනාගත හැකිය. 

අධිරුධිර පීඩනය

මිනිස් සිරුරේ ධමනි තුල ගලා යන  රුධිරයෙහි සාමාන්‍යයෙන් තිබිය යුතු පීඩන අගයන් ඉහල යාම අධිරුධිර පීඩනය ලෙස හැදින් වේ.                                                                                                                  

එනම් හෘද මාංශ පේශින් සංකෝචනය වන අවස්ථාවේදී ධමනි තුල තිබිය යුතු පීඩන අගය සහ හෘද මාංශ පේශින් ඉහිල් වන අවස්ථාවේ තිබිය යුතු පීඩන අගයන් හේතවක්  රහිතව ඉහල යාමයි.

වකුගඩු රෝගය

හේතුවඃ රතු දුඹුරු පසේ වැඩිපුර රඳන  ආසනික් ජලයේ   කියුල සමග බැදෙමින් සාදන කැල්සියම් ආසනේට් සංයෝග පානීය ජලය  හරහා  සිරුරට ඇතුලූ වී වකුගඩුවල සිදුවන දීර්ඝ කාලීන  ආසාදනයයි. 

ආසනික් පසට එකතු වන ප‍්‍රභවය කෘෂි රසායන වේ මෙම විෂකාරකයන් පසට පොලවට වතුරට හා ආහාර බෝගවලට කාන්දු වීමෙන් ඒවා ආහාරපාන හරහා  සිරුරට එකතු වීමෙන් රුධිරයට මුහු වී රුධිරය පිරිපහදු කරන වකුගඩුවල පවතින  වෘක්කානු දියකිරීමෙන් වකුගඩු අකරණයට පත් වේ.

ඉහත දක්වා ඇත්තේ  වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ ප‍්‍රධාන වශයෙන් ඇතිවී තිබෙන බෝ නොවන රෝගයන්ය. මෙම රෝගවලින් වැළකීම උදෙසා අපගේ ජීවන රටාවේ ඇති වැරදි පුරුදුවලින් වැළකීම අතිශයින්ම වැදගත් වේ.          

Thursday, July 4, 2019

ඔබ ඈතින් ඉන්න.....මතකෙට නෑවිත් ඉන්න.....


සඳ මඩලට හිනැහෙන්නට එපා කියන්න
වසන්තයට යළි එන්නට එපා කියන්න
මගෙ පාළුව විඳගන්නට මට ඉඩ දෙන්න
ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න....
ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න....

මතකය කියන්නෙ හරි අපූරු වචනයක්. ජීවිත කාලය පුරාවට අපි විවිධ මතකයන් හදවතේ තුරුළු කරගෙන ජීවත් වෙනවා. ඒ මතකයන්ගෙන් සමහර දේවල් ආදරණීය වෙන්න පුළුවන්. ඒත් සමහර මතකයන් ජීවිතයට ගොඩක් අමිහිරි මතකයන් වෙන්නත් පුළුවන්. ඒ කොහොම වුනත් මතකය කියන්නෙ අමතක කරන්න බැරි දෙයක්. සමහර මතකයන් කොච්චර අමතක කරන්න උත්සාහ කළත් හදවතේ කොහේ හරි තැනක ඉදන් අපිත් එක්කම ජීවත් වෙනවා කියලයි මටනම් හිතෙන්නෙ

අපි කෙනෙක්ට ආදරය කරනකොට කීයක් නම් මතකයන් අපි පරිස්සම් කරලා තියාගන්නවද? ඒ මතකයන් දිගේ කොච්චර නම් ඇවිදගෙන යනවද? දවසක ඒ ආදරය අහිමි වුනොත්? ඒ මතකයන් කොච්චර නම් අපිව රිදවනවද? මේ කියන්නෙත් ඒ වගේ ආදරයක් ගැන 

සඳ මඩල අහස පුරා හිනාවෙනකොට මට ඔයාව මතක් වෙනවා. ඒ සඳ දකිනකොට මට ඔයාට ආදරේ හිතෙනවා. අපේ ආදර මතකයන් මගෙ හදවතේ දෝංකාර දෙනවා. මට ඔයාව අයිති නෑ මට තනියම ඉන්න. දෙන්න ආයෙ මට වසන්නයක් එපා ඔයා මගෙ මතකයෙන් ඈතට යන්න.

ගං ඉවූරට මුමුණන්නට එපා කියන්න
තරු යායට ඉඟිලන්නට එපා කියන්න
මං කෙලෙසක ඒ විසිතුරු බලා හිදිම්ද
ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න....
ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න....

ඔයාගෙයි මගෙයි ආදරයේ සමරු සටහන්  තියෙන්නෙ මේ ලස්සන තරු යායෙ. ඒ තරු යාය වගේමයි ඔයා මං දිහා බලලා හිනාවෙන්නෙ. මේ ලස්සන ගං ඉවුර වගේ තමයි ඔයා මට රහස් මිමුණුවේ. මට ඔයා නැතුව මේ දේවල් දිහා බලාගෙන ඉන්න බෑ ඒ හින්දා දැන්වත් මගෙ මතකයෙන් ඔයා ඈත්වෙලා යන්න.

මද පවනට දැවටෙන්නට එපා කියන්න
මල් සුවඳට ලං වෙන්නට එපා කියන්න
මං කෙලෙසක ඒ සිහිලැල් දරා හිදිම්ද
ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න....
ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න....

මේ මද පවන එක්ක එන මල් සුවඳ මට දරා ගන්න බෑ. මල් සුවඳ එක්ක මට දැනෙන්නෙ ඔයාගෙ සුවඳ. මේ සිසිලස එක්ක මට දැනෙන්නෙ ඔයාගෙ ආදරේ. මට ඒ දේවල් අමතක කරන්න බැරි මතකයන් වෙලා. තවත් මාව රිදවන්න එපා මගෙ මතකයෙන් ඔයා ගොඩක් ඈතට යන්න.

මේ ගීතය පුරාවට තියෙන්නෙ අමතක කරන්න බැරි මතකයන් ගොඩක්. මෙහි පේ‍්‍රමවන්තයා හෝ පේ‍්‍රමවන්තිය ඉල්ලන්නෙ එකම එක දෙයයි මගෙ මතකයට ලං වෙන්න එපා කියන එක. ඒත් ඇයට හෝ ඔහුට මේ විසිතුරු අතරින් තමන්ගෙ ආදරය මතක් වෙනවා. ආදරණීය මතකයන්ගෙන් දුරස් වීම ලේසි දෙයක් නෙමෙයි. කොච්චර උත්සාහ කළත් සමහරවිට කරන්න බැරි දෙයක් අමතක කරන්න බැරි හරි අපූරු ආදරයක් තමයි මේ ගීතයට තේමා වෙලා තියෙන්නෙ. සමහර විට මේක ඒකපාර්ශවීය ආදරයක් වෙන්නත් පුළුවන්. එහෙම ආදර කතා කීයක් නම් මේ මහපොළවෙ නිදන්ගත වෙලා ඇත්ද?

බිදී ගිය ආදරයක මතකයන්ද සිතින් බිද දැමීමට හැකිනම් මෙවන් සුන්දර ගීත බිහිවෙන්නෙ නැහැ අපි හැමෝටම එහෙමයි. ආදරණීය මතකයන් විඳින ගමන් ඔබට අමිහිරි මතකයන් තුළින් යළි ජීවය ලබන්නට පුළුවන් නම් ජීවිතේ ගොඩාක් සුන්දර මතකයක් වේවි. ඒ මතකයන් ජීවිතයට හරි අපූරු රහක් එකතු කරාවි. ඒ මතකය දිගේ ඇවිදගෙන යන වෙලාවක මේ ගීතය ඔබට ඇසුනොත් එය අපි කාටත් පොදු හැගීමක් බව ඔබට සිහිපත් වේවි. 

ගීතය පද රචනය ආනන්ද ජයවික‍්‍රම විසින් ගීතය සංගීතවත් කළේ ශාන්ත ජයලත් තිසේරා ගීතය ගායනය සෝමතිලක ජයමහ විසින් 




Saturday, June 29, 2019

අයියනායක දෙවියෝ


උතුරු මැද පළාතේ දැදුරු ඔයෙන් ඉහළ සිට යාපනය දක්වා වූ වන්නි හත්පත්තුවට අධිපති දෙවියන් ලෙස ශ්‍රී ලාංකීය ජනතාවගේ ගෞරවයටත්, වන්දනාමානයටත් ලක්ව ඇති අයියනායක දෙවියන් වූ කලී ඉතා බලසම්පන්න දේව ආත්මයකි.

කරේනාරේ, කයියනාරේ, අයියනායගම්, අරියනායගම් ආදී නම්වලින්
විවිධ ප‍්‍රදේශවල ජනයා අයියනායක දෙවියන් හඳුන්වන අතර කතරගම සන්නසෙහි අයියනාරායන් ලෙසත් කෝකිල සන්දේශයෙහි අයියන් ලෙසත් හඳුන්වා ඇති බැවින් පුරාණ ශ්‍රී ලංකාවේ ආදිවාසීන්ගේ බුහුමනට පවා ලක්වූ දෙවි කෙනෙකු බව සනාථ වේ.

පුරා විද්‍යාවට අනුව අනුරාධපුරයේ ජේතවනාරාමයට නුදුරින් පිහිටි වාහල්කඬේ කුලූනක සත්ත්ව රූප තුනක් සහිත වාහනයක වැඩ සිටින දේව රූපයේ සිටින්නේ අයියනායක දෙවියන් බවට සනාථ කොටගෙන තිබුණද උන්වහන්සේ වෙනුවෙන් වෙන්වුණ දෙවොලක් මේ ලංකාද්වීපයේ නොමැති වීම විශේෂත්වයකි. එහෙත් උන්වහන්සේගේ බලය හඳුනාගත් අප රටේ පැරණි ජනතාව අයියනායක දෙවියන් වෙනුවෙන් මල්, පහන්, සුවඳ දුම් වැනි දෑ එක් එක් ප‍්‍රදේශවල තිබෙන නුග, නා, රුක්අත්තන වැනි දේවාකර්ෂණය වැඩි වශයෙන් පවතින රූස්ස ගස් ඉදිරිපිට උන්වහන්සේගේ නමට කැපකර පූජා කිරීමෙන් පසු වැඳ නමස්කාර කොට පින් අනුමෝදන් කර පිහිට පැතූ බවට බොහෝ සාක්ෂි තිබෙන අතර අද ද උන්වහන්සේගේ බලය පවතින ප‍්‍රදේශවලට ඇතුළු වන බොහෝ දෙනා ගසකින් අතු රිකිල්ලක් කඩා ආරක්ෂාව පතා අයියනායක දෙවියන් සිහිකර එම අතුරිකිල්ල තවත් ගසක එල්ලා යෑම සිරිතකි.

අයියනායක දෙවියන්ගේ උප්පත්තිය පිළිබඳ විවිධ කතා ජනප‍්‍රවාදයේ දැක්වෙන අතර ඊශ්වර දෙවියන්ට වසර දොළහක් බැල මෙහෙවරකම් කළ භෂ්මාසුරයා ඊශ්වර දෙවියන් සතු බලගතු දැහැන ලබා ගැනීමට ලොබ බැඳ උන්වහන්සේගේ බිසව වු උමයංගනා දේවිය රවටා දැහැන ලබාගෙන ඊශ්වර දෙවිදුන් විනාශ කිරීමට පසුපස ලූහුබඳිනු දුටු ශ්‍රී විෂ්ණු දෙවිදුන් භෂ්මාසූරයා යන මග හරස්කොට ඔංචිලි පදින මෝහිණී වේශයක් මවා ගනිමින් ඔහු ඉදිරියේ පෙනී සිටි අවස්ථාවේ මෝහිණිය කෙරෙහි උපන් දැඩි රාග චේතනාවේ අවසන් ප‍්‍රතිඵලය ලෙස මෝහිණියගේ වේශයෙන් පෙනී සිටි ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ ශ්‍රී හස්තයේ දරු ගැබක් හටගත් බවත් දස මසක් ඇවෑමෙන් ශ්‍රී හස්තය පලාගෙන මෙලොවට බිහිවූ කුමරු අයියනායක දෙවියන් බවත් වඩා ප‍්‍රචලිත ජනප‍්‍රවාද කතා වේ.

හිසෙහි ජටාවක් බැඳ වමතින් සැරයටියක්ද, දකුණතින් පුස්තකයක්ද ගෙන රන්වන් පැහැති වස්ත‍්‍රාභරණයෙන් සැරසී හස්තියෙකු පිට වඩිමින් තම පිහිට අයැද සිටින දුකටපත් ජනතාවගේ දුක නිවාලන බලවත් දේවාත්මයක් වන අයියනායක දෙවියන් පුත්තලම,අනුරාධපුරය, නිකවැරටිය, මින්නේරිය, පොළොන්නරුව, හබරණ හා තවත් බොහෝ ප‍්‍රදේශවල තම බලය පතුරුවාගෙන ප‍්‍රධාන වශයෙන් එම ප‍්‍රදේශවල පවතින දැඩි නියගයෙන් ගොවිතැන් කටයුතු ආරක්ෂා කර දෙන අතරතුර නඩු, අවනඩු, විස, සතුරු උපද්‍රව පීඩා හානි දුරුකොට සියලූ යහපත උදා කර දෙන්නා වූ සර්වාරක්ෂක දේවාත්මයක් බැවින් එකී ප‍්‍රදේශවල ජනයා තම තමන්ගේ ගැටලූ හමුවේ අයියනායක දෙවියන්ගේ පිහිට පැතීමට නැඹුරු වී සිටිති.  

Thursday, June 27, 2019

සාම්ප‍්‍රදායික කෙම් ක‍්‍රම

  
ශ්‍රී ලංකාවේ සාම්ප‍්‍රදායික වෛද්‍ය කර්මයේ තවමත් ශේෂව පවත්නා අංගයක් වශයෙන් කෙම් ක‍්‍රම හැඳින්විය හැකිය. කෙම් යනු ආරක්ෂාව, ක්ෂේම, ක‍්‍රමය, උගුල යන අරුත් ලබාදෙන වචනයකි. ශාන්තිය, සුවය, සහනය යන අදහස් රාශියක් එම වචනයෙන් අර්ථ ගැන්වෙයි. කෙම්වල දක්නට ලැබෙනා විශේෂත්වයක් වන්නේ ඖෂධ ගුණවලට අමතරව ජ්‍යොතිෂය්‍ය, ඇදහිලි, ගුප්ත විශ්වාස, විවිධ වත් පිළිවෙත්, ඇස්වහ කටවහ ආදිය ඒ සමඟ බැදී තිබීමය. මේවායේ ජීව ගුණය විශ්වාසය මිස තර්කය නොවේ.

අනාදිමත් කාලයක සිට ජනතාවට සුවසෙත සැදූ  නිසා ඒවා පාරම්පරික උරුමයන් බවට පත්ව ඇත. කෙම්වල පවත්නා තවත් සුවිශේෂිත්වයක් වන්නේ ඒ හා බැදුනු රහස්‍යතාවයයි. රහස්‍යතාව නොමැති විට එයින් අපේක්ෂිත ප‍්‍රතිඵල නොලැබී යාමටද ඉඩ තිබේ. ඇතැම් කෙම් තවත් අයෙකුට කියා දීමෙන් එහි බලය පිරිහී යන බවට ද විශ්වාසයක් පවතී. මේවා මුඛ පරම්පරාගතව පැවැත්මට හේතු වී ඇත්තේ මේ රහස්‍යතාවයයි.

වෙදකමේදී විවිධ පැල වර්ගවල කොටස් විවිධ වෙලාවන්හිදී ගැනීමට කියා ඇත. මෙහි අරුත ඒ ඒ වෙලාවන්හිදී ඒ ඒ ඔසුවල ක‍්‍රියාකාරීභාවය වැඩියෙන්ම පැවතීමය. යම් යම් දිසාවලට ගිය මුල් අතු ආදිය ගැනීමට කියා ඇත. එහි අර්ථයද එයම වේ. මේවා සාමාන්‍ය පුද්ගලයින්ට තේරුම් බේරුම් කර ගැනීමට බැරිය. එහෙයින් එය සඟවා ඇත. අද  පවා බොහෝ දේ ක‍්‍රියා කරවීමට සාමාන්‍ය ජනයාට හැකි වූවද ඒ ඒ දේ ක‍්‍රියා කරන අන්දම තේරුම් කර ගැනීමට බැරිය. කෙම් ක‍්‍රමයේද ඇත්තේ මෙයමය. එහි විද්‍යාත්මකභාවය හැම අයෙකුටම වටහා ගැනීමට නොහැකි නිසා ව්‍යංගාර්ථයෙන් පවසා ඇත.

බොහෝ විට කෘෂිකර්මාන්තයේදී කෙම් ක‍්‍රම සුලභව භාවිත වේ. කෙම් ක‍්‍රම ආසියාතික රටවල වැඩියෙන් භාවිතා වන ආකාරය දැකගත හැකිය. රෝග උපද්‍රවයන් ඉතා පහසුවෙන් දුරුකර ගැනීම සඳහා කෙම් ඉතා මානසික වූත්, සූක්ෂම වූත් ක‍්‍රමයක් විය. චිත්ත බලය, විෂබීජනාශක ගුණය මෙන්ම ඖෂධ ගුණයද මෙම කෙම් තුළ අන්තර්ගතව ඇත. කෙමක් සිදු කරන්නේ ඉතා පිරිසිදුවය. කෙමක් සඳහා අවශ්‍ය ඖෂධ සොයන විට සකසන විට සහ බදිනවිට කතා කිරීම තහනම්ය. මුඛයෙන් පිටවන විෂබීජවලින් ඖෂධ ආරක්ෂා කර ගැනීම එහි අදහස විය හැකිය.   

Sunday, June 9, 2019

උඩරට නර්තනයේ සාම්ප‍්‍රදායික වෙස් ඇඳුම හා අන්තර් සංස්කෘතික ලක්ෂණ


උඩරට වෙස් ඇඳුම පිළිබඳව විමසීමේදී එහි විවිධ අන්තර් සංස්කෘතික ලක්ෂණයන් දැකගත හැකිය. කොහොඹා කංකාරිය ශාන්තිකර්මය සිදු කරලීම උදෙසා ඉන්දියාවේ සිට පැමිණි පිරිස මලය රජුගේ සර්ව ආභරණයෙන් කොටසක් ශ්‍රී ලංකාවේ තෝරා ගන්නා ලද ජන කොටසකට දායාද කොට තිබේ. එයට හේතුව වන්නේ නැවත එවැනි උවඳුරක් ඇති වුවහොත් එය සුවපත් කරලීමට බල වරමක් සහිත ඇඳුමක් ලාංකිකයන්ට ලබා දීමයි. මෙම ඇඳුමේ කොටස් උඩරට නර්තනයේ ඇඳුම් ලෙස අද දක්වා භාවිතා කෙරෙයි.

මෙහිදී වෙස් ඇඳුම සකස් වී ඇත්තේ මලය රජුගේ ඇඳුම ආශ‍්‍රයෙන් බව පැහැදිලිය. මෙය ආභරණ 64 කින් සමන්විත වී ඇත. සිංහල සමාජය තුළද රාජාභරණ 64ක් පිළිබඳව අදහසක් ඇත. රජෙකුට ආභරණ කට්ටල් ෞදකකි. එනම් රාජ කකුධ භාණ්ඩ, පෞද්ගලික ආභරණ යනුවෙනි. පෞද්ගලික ආභරණවල, ආභරණ 64 කි. මෙම ඇඳුම් කට්ටල දෙකෙහි විවිධ සමානතාද පවතියි. වෙස් ඇඳුම දේශීය ඇඳුම් සමඟද ඥාති සබඳතා දක්වයි. 

වෙස් නැට්ටුවාගේ ඉනෙන් පහළ ඇඳුම සලකා බැලූ විට උඩරට නිලමේවරයෙකුගේ ඇඳුමේ යටි කොටස අඳින ආකාරයට සකස් වී ඇත. තවද බෞද්ධ භික්ෂුවක් ස්වකීය උපසම්පදා කර්මයේදී අඳින ඇඳුමේ යටි කොටස අඳින ආකාරයට සමානකමක් දක්වන බව මුදියන්සේ දිසානායක මහතාගේ මතයයි. ඉන්දීය ඇඳුම්වලටද මෙය සමානකම් දක්වයි. වෙස් ඇඳුමේ හිසට පලඳින ශීර්ෂාභරණ කොටස මලබාරයේ රාජකීය ශීර්ෂාභරණයන්ගේ අනුකරණයක් බව සඳහන්ය. එදිරිවීර සරච්චන්ද්‍ර මහතා දක්වන්නේ වෙස් ඇඳුමේ යටි කොටස ගුජරාටි ධෝතිය අඳින ක‍්‍රමයට සකස් වී ඇති බවයි. මුදියන්සේ දිසානායක මහතා දක්වන්නේ වෙස් ඇඳුම් කට්ටලයට සමාන ඇඳුම් කට්ටලයක් දකුණු ඉන්දීය ”තෙයියම්” නම් නැටුමේ යොදා ගන්නා බවයි. 

වෙස් ඇඳුමට සමාන ඇඳුම් කට්ටලයක් බෙංගාලි දඩයක්කරුවන් ආදි කාලයේ ඇඳි බවටද මතයක් ඇත. මෙහි පපුව මත ඇති අවුල් හැරය නම් කොටස ශ්‍රී ලාංකික ජන සමාජයේ ප‍්‍රධාන ආර්ථික මාර්ගය වන වී ගොවිතැන් කරන කුඹුරු යායක ලියැද්ද බෙදී ඇති ආකාරයට සකස් වී ඇති බවට මතයක් ඇත. වෙස් තට්ටුව රාවණා රජුගේ ඔටුන්නේ නිරූපනයක් බවද කියවේ. තවත් මතයක් වන්නේ මලය රජුගේ ඔටුන්න රාවණා රජුගේ ඔටුන්න අනුව සකසා ඇති බවයි. රාවණා පෙලපතේ පාලන මධ්‍යස්ථානය වූ ආලකපුරය හෙවත් වර්තමාන සීගිරියේ චිත‍්‍රවල නිරූපිත රජ බිසවකගේ හිස් පළඳනාව ,විශේෂයෙන් එහි පායිම්පත නම් කොටස වෙස් තට්ටුවට නෑකම් කියන බව කියවේ. වෙස් ඇඳුමේ ශීර්ෂ ආභරණ අතර මුලින්ම දක්නට ඇත්තේ ජටාවයි. ජටාව මහා බ‍්‍රහ්මයා පැලඳගෙන සිටින සිලූමිණේ අනුරුවක් බවට විශ්වාසයක් ඇත. එහි බ‍්‍රහ්මයාගේ වරම් ඇති බව කියයි. මෙය ස්ථුපයක හැඩය ගැනීමට බෞද්ධාගමික අර්ථයක් බලපාන්නට ඇති බව අනුමාන කරයි. තෝඩුපත යනු වෙස් නැට්ටුවාගේ කන් වැසීමට යොදා ගන්නා කර්ණාභරණයයි. එහි පත්තිනියගේ වරම් ඇති බව විශ්වාස කරනු ලැබේ.

Friday, May 31, 2019

ජනප‍්‍රිය සංස්කෘතිය

  
ජනප‍්‍රිය යන්නෙහි අර්ථය ජනයා අතර ප‍්‍රිය වූ හා ජනයා සමඟ වැඩෙන වශයෙන් සරලව අර්ථ දැක්විය හැකිය. 14 හා 16 වන සියවස්  අතර කාලයේ පුරාණ ගී‍්‍රසියේ පුනුරුද යුගයේ සිට ජනප‍්‍රිය සංස්කෘතිය යන්න හඳුනාගෙන තිබේ. 19 වන සියවසේදී  ව්‍යවහාරයට එක් වූ  ජනප‍්‍රිය සංස්කෘතිය කාර්මීකරණය, නාගරීකරණය හා ගෝලීයකරණය  සමඟ ප‍්‍රචලිත විය. 20 වන සියවස වන විට  එය වඩාත් ප‍්‍රචලිත විය. 

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් ”ජනප‍්‍රිය සංස්කෘතිය යනු ජනමෝහනීය සංස්කෘතියයි” යනුවෙන් දක්වා ඇත. නූතන කලා විචාරකයන්ට අනුව ”ජනප‍්‍රිය සංස්කෘතිය යනු බහුතර ජනතාවගේ සංස්කෘතිය වේ
.” බටහිර කලා විචාරකයන්ට අනුව ”ජනප‍්‍රිය සංස්කෘතිය සමාජයේ ජීවත්වන සියලූ දෙනාගේ සංස්කෘතිය වේ.” අතීතයේදී ජනප‍්‍රිය  සංස්කෘතිය යන්න අර්ථකථනය කළේ  එය සමාජයෙන් වෙන් වූ සීමිත වූත්  ජන කොටසක් අතර පැතිර ගිය  සංස්කෘතියක් ලෙසය. එහෙත් වර්තමාන අවධිය වනවිට  එහි අර්ථය පුළුල් වී තිබේ. සංස්කෘතිය තුළ බිහිවුණු නව ප‍්‍රපංචයක් ලෙස ජනප‍්‍රිය සංස්කෘතිය හඳුනාගත හැකිය.

වත්මන් ලෝකයේ ජනප‍්‍රිය වූ සංස්කෘතික චර්යාවන්  ව්‍යාප්ත වී තිබේ. ඒ වටා බිහිවන ජනප‍්‍රිය අංගයන් මිනිසා මිලදී ගන්නා දේ, ඇදහිලි විශ්වාස, හිතන දේ ඔස්සේද ව්‍යාප්ත  වී ඇති සේයාවක් දිටිය හැකිය. බටහිර ලෝකයේ  ජනප‍්‍රිය සංස්කෘතිය ඔස්සේ නව සංස්කෘතික රටාවන් බිහි වී තිබේ. ඇමරිකාව, ලතින් ඇමරිකාව, ප‍්‍රංශය, සෝවියට් දේශය වැනි රටවල බිහිවුණු තරුණ නැගිටීම් නිසා තරුණයින්ගේම චාරිත‍්‍ර සම්ප‍්‍රදායන් බිහිවීම තුළින් ජනප‍්‍රිය සංස්කෘතිය බිහි වී තිබේ.

ඉතිහාසය විමසන විට හැම සමාජයකටම ආවේණික ජනප‍්‍රිය සංස්කෘතියක් තිබී ඇත. අද දවසේ ජනප‍්‍රිය සංස්කෘතිය, ජනතාව විසින්  නිෂ්පාදනය කළ දෙයක් වන අතර  එය මහා පරිමාණයෙන් පැතිර යන්නේ ජන මාධ්‍ය කරණකොට ගෙනය. ජනප‍්‍රිය සංගීතය, බාල කඩදාසියේ මුද්‍රිත නවකතා, ටෙලි නාට්‍ය, වීඩියෝ සිනමා පට, නව පන්නයේ කලිසමක සිට ඉවතලන රේසරය දක්වා නිෂ්පාදිත දැන්වීම් සමුදාය ආදියෙන් අපගේ දිනපතා පරිසරය සැකසී තිබේ. මෙබඳු ක්ෂණිකව හඳුනාගත හැකි සංකේතවලින් නූතන ජනප‍්‍රිය සංස්කෘතිය සෑදී ඇත. ජනප‍්‍රිය සංස්කෘතිය ජනයා විසින් නිර්මාණය කරන ලද්දක්ද, ජනමාධ්‍යවල නිර්මිතයක්ද යන්න නිසැකව නිර්වචනය කළ නොහැක්කේ හැම විටම එය එකිනෙකට වෙනස්ව අන්තර් පෝෂණය වන බැවිනි. ජනප‍්‍රිය සංස්කාතිය මාධ්‍ය සංස්කෘතිය සමඟ අත්‍යන්තයෙන්ම බැඳී පවතී. මෙහි ප‍්‍රධාන ලක්ෂණය වනුයේ ග‍්‍රාහකයා ඉතා ඉක්මනින් ඇඳ බැඳ තබා ගැනීමයි. ජනප‍්‍රිය සංස්කෘතිය දිගු කාලීන මෙන්ම  කෙටි කාලීනද වේ. ජනප‍්‍රිය සංස්කෘතිය වෙත ඉක්මනින්ම ආකර්ෂණය වනුයේ  කාන්තාවන්, ළමුන් හා තාරුණ්‍ය වේ. සෑම විටම ජනප‍්‍රිය සංස්කෘතියට පදනම් වන්නේ සමාජ සංස්කෘතික මිථ්‍යාවන් හා ජනප‍්‍රවාදයන්ය.
ජනප‍්‍රිය සංස්කෘතිය යන්න පොදු ජන විඥානය මෙහෙයවන නව හෙජමනියක් ලෙස ජන මාධ්‍ය ක‍්‍රියාත්මක කරයි. එය විවිධ පුද්ගල හා ව්‍යාපාරික අපේක්ෂාවන් මත පදනම්ව බිහිව ඇති සංස්කෘතික කර්මාන්තයකි. ජන විඥානයට නව අංග හඳුන්වා දෙන නමුත් එම නව අංග පුද්ගල චර්යාවට නිශේධනාත්මකව බලපෑ හැකිය. භාණ්ඩ හා සේවා මූලික කරගත් වාණිජකරණය තුළ සංස්කෘතික නිෂ්පාදන සියල්ල බහුජන මාධ්‍ය විසින් ජනප‍්‍රිය සංස්කෘතික අංග බවට පත් කරයි.    

Saturday, May 25, 2019

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත පිළිබඳ ඔබ දැනුවත්ද?


තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යනු, යම් පොදු අධිකාරියක් විසින්  තම සන්තකයේ රඳවා ගනු ලැබ ඇති තොරතුරු කරා ප‍්‍රවේශ වීමට පුරවැසියන්ට හිමිකම ලබා දෙන්නා වූ අයිතිවාසිකමකි. 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත මගින් ජනතාවට තොරතුරු වෙත ප‍්‍රවේශ වීමට නීතිමය විධිවිධාන සලසා ඇත. තොරතුරු දැනගැනීමේ අයිතිය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය මගින් සහතික වුවද එය යථාර්ථයක් ලෙස භුක්ති විදීමට පුරවැසියන්ට අවස්ථාව ලැබෙන්නේ තොරතුරු දැනගැනීම පිළිබඳ නීතියක් පාර්ලිමේන්තුව විසින් සම්මත කළ පසුවය.

තොරතුරු ලබා ගැනීමේ පනතේ මූලික කොටස්

  • මහජනතාවට ලබාදෙන නිළ තොරතුරු සඳහන් ප‍්‍රතිපාදන
  • ලබානොදෙන තොරතුරු  සඳහන් ප‍්‍රතිපාදන
  • තොරතුරු ලබාදීමේ ක‍්‍රමවේදය පිළිබඳ විධිවිධාන
  • අදාල ක‍්‍රමවේදය මගින් තොරතුරු නිසි පරිදි නොලැබෙන විට අභියාචනා කිරීමේ මණ්ඩලය       

තොරතුරු ලබා ගැනීමේ ක‍්‍රියාපටිපාටිය   
සෑම පොදු අධිකාරියක්ම තොරතුරු නිළධාරියෙකු හා අභියාචනා විභාග කිරීම සඳහා නිළධාරියෙකු පත් කරයි. ඔවුන් වෙතින් ජනතාවට තොරතුරු ලබාගත හැකිය. තොරතුරු ලබා ගැනීම සඳහා දැරිය යුතු වියදම හා ආකෘති පිළිබඳ තොරතුරු කොමිසම විසින් 2017 පෙබරවාරි 3 වන දින ගැසට් පත‍්‍රයේ පලකර ඇත.
තොරතුරු ලබාදීම ප‍්‍රතික්ෂේප කළ අවස්ථාවකදී අතෘප්තිමත්වන පුරවැසියෙකුට පිළිවෙලින් අභියාචනා විභාග කිරීමේ නිළධාරියාට හා තොරතුරු කොමිසම වෙත අභියාචනා කළ හැකිය. තොරතුරු කොමිසමේ තීරණයෙන් තෘප්තිමත් නොවන ඉල්ලූම්කරුවෙකුට අභියාචනාධිකරණයට අභියාචනාවක් කළ හැකිය.       
මෙම තොරතුරු දැනගැනීමේ පනත මගින් 5 වන වගන්තියේ විධිවිධානවලට යටත්ව පොදු කටයුතු සිදුකරන ආයතනවල සන්තකයේ, භාරයේ හෝ පාලනයේ ඇති තොරතුරු සම්පූර්ණ වශයෙන් හෝ කොටස් වශයෙන් ලබා ගැනීමේ හැකියාව ඇත. ඒ අනුව,
  1. අමාත්‍යාංශ
  2.  දෙපාර්තමේන්තු
  3.  සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල
  4.  පළාත් පාලන ආයතන
  5.  25%කට වඩා කොටස් රජයට හිමි සමාගම්
  6.  මහජන කාර්යයන් පිළිබඳව රජය සමග ගිවිසුමකට එළඹ ඇති පෞද්ගලික ආයතන
  7.  රාජ්‍ය නොවන සංවිධාන වෙතින් පුරවැසියන්ට තොරතුරු ඉල්ලා සිටිය හැකිය.

තොරතුරු ලබා ගැනීම හා සම්බන්ධ විවිධ අයදුම්පත‍්‍ර හා ලිපි      
  1. තොරතුරු ලබා ගැනීමේ අයදුම් පත‍්‍රය
  2.  තොරතුරු ඉල්ලීම ලැබුණු බව දැන්වීමේ ලිපිය 
  3.  තොරතුරු ඉල්ලීම් ලියාපදිංචි ලේඛනයට ඇතුළත් කිරීම
  4.  තොරතුරු ඉල්ලීම භාරගත් බව දැන්වීමේ ලිපිය 
  5.  තොරතුරු ඉල්ලීම ප‍්‍රතික්ෂේප කිරීමේ ලිපිය 
  6.  තොරතුරු ලබාදීමේ කාලය දීර්ඝ කිරීමේ ලිපිය 
  7.  රහසිගත තොරතුරු සම්බන්ධ ඉල්ලීම් පිළිබඳ ලිපිය 
  8.  තොරතුරු ඉල්ලා සිටීම පිළිබඳ අභියාචනා ලද බව දැන්වීමේ ලිපිය 
  9.  අභියාචනා ලේඛනයට ඇතුළත් කිරීම
  10.  නම්කළ නිළධාරියා වෙත අභියාචනා අයදුම් පත‍්‍රය යොමුකිරීම
  11.  ප‍්‍රතික්ෂේප විස්තර ලේඛන

තොරතුරු ලබා ගැනීම වෙනුවෙන් අනුගමනය කළ හැකි පියවර  
 

  • තොරතුරු ඉල්ලීමේ අයදුම්පත සකස් කිරීම
  •  අදාළ තොරතුරු ඇති ආයතනය තෝරා ගැනීම
  •  ආයතනයේ තොරතුරු නිළධාරියාට අයදුම්පත භාරදිම
  •  තොරතුරු ලබා දෙන හෝ නොදෙන බව දින 14 ක් තුළ අදාළ පුද්ගලයාට ආයතනය මගින් දැන්වීම
  •  තොරතුරු ලැබේනම් අදාළ ගාස්තුව ගෙවිය යුතුය
  •  ගාස්තු ගෙවා දින 14කින් තොරතුරු ලැබෙයි
  •  තොරතුරු නොලැබුණහොත් අභියාචනා පත‍්‍රයක් සැකසිය යුතුය
  •  දින 14 ක් තුළ අභියාචනා පත‍්‍රය අදාළ ආයතනයේ නම්කළ නිළධාරියාට භාරදිය යුතුය
  •  නම් කළ නිළධාරියාගේ තීරණය පිළිබඳ නොසෑහේ නම් මාස 2ක් තුළ තොරතුරු කොමිසමට       අභියාචනයක් ඉදිරිපත් කිරීමට හැකිය
  •  තොරතුරු කොමිසම එම ඉල්ලීම නොපිළිගනී නම් මාසයක් තුළ අභියාචනාධිකරණයට යා හැකිය                 



    


Monday, May 20, 2019

පත්තිනි ඇදහිල්ල

   
පත්තිනි දෙවියන්ගේ උපත පිළිබඳව සඳහන්වන ප‍්‍රධාන මූලාශ‍්‍රයක් වන්නේ සුළු සිද්ධ වේර කවියෙකු වන ඉලන්තෝ අඬිගල් විසින් රචිත සීලප්පදිකාර් හෙවත් සළඹේ කතාව නැමැති කාව්‍ය ග‍්‍රන්ථයයි. එහි සඳහන් වන ආකාරයට ගජබා රජු සොලී රටට ගොස් මෙරටට පත්තිනි දේවියගේ පා සළඹ  රැගෙන ආ පුවතත් එම පා සළඹ තැන්පත් කර පත්තිනි දෙවියන් වෙනුවෙන් දේවාළයක් තනා ඇසළ පෙරහැර පැවැත්වූ බවත් සඳහන්ව ඇත. මෙම දේවාලය නවගමුවේ ඓතිහාසික පත්තිනි දේවාලය බව ඉතිහාස කතාවයි. මේ පිළිබඳව තවත් ඓතිහාසික මූලාශ‍්‍ර ඇති අතර රාජාවලිය, පූජාවලිය සහ පැරකුම්බා සිරිත වැනි ග‍්‍රන්ථයන්ද මේ අතර දැකගත හැකිය. මෙම දේව ඇදහිල්ල ශ්‍රී ලංකාවේ ආරම්භ වීම තුළින් මෙරට ජන සමාජයට ඉතා වැදගත් කරුණු බොහොමයක් මෙන්ම හුරු පුරුදු රැසක්ද දායාද වී ඇත.

කාන්තාව සතු වටිනාම දේ වන්නේ ඇයගේ පතිවතයි. මෙය උතුම් දහමකි. එම උතුම් දහමේ වටිනාකම කෙරෙහි මහත් බලපෑමක් ඇති කරන ලද්දේ මෙම දෙවඟන හා සබැඳි කතා පුවතයි. එහෙයින් විශේෂයෙන්ම පෙරදිග රටවල කාන්තාවන්ගේ ආදර්ශය බවට පත්වූ විශේෂ චරිතයක් වන්නේ පත්තිනි දෙවඟනයි.

පත්තිනි දෙවියන් දේවත්වයට පත් වීමට පෙර සොලී රටේ ”කන්නගී” නම් කාන්තාව වුවාය. ඇයගේ සැමියා වූ ”කෝවලන් ” නොකළ වරදකට මධුරාපුර රජු විසින් මරා දැමීම හේතු කොටගෙන තම වම් පියයුර කඩා පොළවේ ගසා තමන්ගේ පතිවෘතා බලයෙන් මුළු මධුරාපුරයම ගිනිලවන මෙන් ශාප කළ අතර එම ගිනි ලෑමෙන් දරුවන්, රෝගීන්, ගැබිනි මව්වරුන් හා  සතුන් බේරන ලෙසද ප‍්‍රාර්ථනාවක් කළාය. මධුරාපුරය පුරා ගිනි ගන්නා විට එම ගින්න නිවා දමන මෙන් රජු ඇයගෙන් ඉල්ලීමක් කොට තිබේ. නැවුම් එළදෙනකගේ නැවුම් කිරි මුළු මධුරාපුරයේම ඉසීම හේතුවෙන් ගින්න නැවතුන බව ඉතිහාසයේ සඳහන් වේ.

කිරි ඉතිරවීමේ චාරිත‍්‍රය ජන සමාජයට එක් කරලීම සඳහා ඉහත කතා පුවත හේතු වී ඇත. නව වසර ආරම්භය, අලූත් අවුරුදු උදාව, නව නිවසකට ගොඩ වැදීම ආදිය තුළ මෙම චාරිත‍්‍රය දක්නට ඇත. ගැබිනි මව තම කුසේ සිටින දරුවා ආරක්ෂා කර දෙන මෙන් ඉල්ලා සිටින්නේ මෙම දෙවියන්ගෙන්ය. රෝගීන්ද පිහිට පතන්නේ මෙම දේව මෑණියන්ගෙනි. කිරි අම්මාවරුන්ගේ දානය, පඬුරු බැදීම ආදිය සිදු කරනුයේ මේ උදෙසාය. මේ සියල්ල මධුරාපුරයේ ගිනිලෑමට සම්බන්ධය.
තවද කී‍්‍රඩාව මිනිසාගේ නිරෝගීභාවයට ඉතාම වැදගත් දෙයකි. මේ අනුව පත්තිනි ඇදහීම සම්බන්ධව ක‍්‍රීඩා 64 ක් ඇති බව පත්තිනි පුරා කතාවන්ගෙන් පැවසෙයි. අං කෙළිය, ඔලිිද කෙළිය, සොකරි නැටීම, පොල් කෙළිය, ගුඩු ගැසීම, තට්ටු පැනීම ඒ අතර වෙයි. දෙවියන්ගේ ලෙඩ යැයි විශ්වාස කරන වසංගත රෝග 64 ක් ඇති බවද සඳහන්ය. 

පත්තිිනි මෑණියන්ගේ පිහිට සතා සීපාවටද නොඅඩුව ලැබෙන බව තහවුරු වන එක් අවස්ථාවක් වන්නේ  ගොනුන් පිට සධාතුක කරඬුව සහ දේවාභරණ වඩම්වන අතිශය දුර්ලභ පෙරහැරය. මෙම පෙරහැර නවගමුව පත්තිනි දේවාලයට පමණක් ආවේණික වූවකි. මේ පෙරහැර පවත්වන්නේ අත්ිතයේ ගොනුන්ට වැළදුණු වසංගත රෝගයකින් බේරීමට පත්තිනි මෑණියන්ට වූ භාරයක් ඔප්පු කිරීමටය. 

”පත්තිනි මෑණියෝ , පත්තිනි අම්මා” වශයෙන් හඳුන්වනු ලබන මෙම දෙවඟන බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවාදරයට පත්ව ඇත. ඇය ශාන්තිවාදී දෙවි කෙනෙකි. පිරිමි ආත්මයක් ලැබ මතු බුදුවන්නට පෙරුම් පුරයි. වර්තමානය වන විටද ශ්‍රී ලාංකික ජනයාගේ දේව ඇදහිලි හා විශ්වාස අතර පත්තිනි දේව ඇදහිල්ලට ලැබෙනුයේ සුවිශේෂී ස්ථානයකි.      

Monday, May 13, 2019

මහජන සම්බන්ධතා

   
මහජන සම්බන්ධතාවයේ ඉතිහාසය මානව ඉතිහාසයේ ඉතා ඈතට දිවයන්නකි. ඉතා නොදියුණු ප‍්‍රාථමික වනචාරී ගෝත‍්‍රවල පවා සිය මහජන සම්බන්ධතා ක‍්‍රියාදාමය පවත්වාගෙන යෑම සඳහා කිසියම් නොදියුණු ක‍්‍රමයක් හෝ පවත්වාගෙන ගියබව පෙනෙයි. සමාජය ක‍්‍රමයෙන් විකාශනය වත්ම මහජන සම්බන්ධතාවල ස්වරූපයද විවිධ වෙනස්කම්වලට බඳුන් විය. වර්තමානය වනවිට මහජන සම්බන්ධතාවය වෘත්තියක් දක්වා වර්ධනය වී ඇත. වර්තමානය වන විට බොහෝ රටවල්වල  මහජන සම්බන්ධතා ක‍්‍රියාවලිය පිළිබඳව දැඩි අවධානයක් යොමු වී ඇති බව පෙනෙයි. ඒ සමඟම මෙම ක‍්‍රියාවලිය ප‍්‍රායෝගිකව භාවිතා කිරීමේදී ජන මාධ්‍ය ප‍්‍රබල අවියක් ලෙස යොදා ගනියි. නමුත් ජනමාධ්‍යකින් තොරව වූවද මහජන සම්බන්ධතාවය ගොඩනැගිය හැකිය. 

මූලිික වශයෙන්  මහජන සම්බන්ධතාවය අභ්‍යන්තර හා බාහිර මහජන සම්බන්ධතාවය වශයෙන් කොටස් දෙකකි. අභ්‍යන්තර මහජන සම්බන්ධතාවය තුළදී ආයතනයේ සාමාජිකයින් තුළ ආයතනයේ ප‍්‍රතිරූපය ගොඩනැංවීම මූලික අරමුණ බවට පත්කර ගනියි. බාහිර මහජන සම්බන්ධතාවය තුළදී මූලිකම පරමාර්ථය වන්නේ බාහිර පාර්ශවකරුවන් හා ආයතනය අතර සුහදත්වය වර්ධනය කරලීමයි.

මහජන සම්බන්ධතාවේ තවත් මූලික අරමුණක් වන්නේ කිසියම් අදහසක්, ආකල්පයක් හෝ සාරාර්ථයක් කිසියම් පිරිසක් වෙත පිළිගැන්වීම වේ. තවත් අවස්ථාවක මහජන සම්බන්ධතාවයේ මූලික අරමුණක් වන්නේ කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් පාරිභෝගිකයා වෙත පිළිගැන්වීම වේ. මේ සෑම අවස්ථාවකදීම මූලික වන්නේ මහජන සම්බන්ධතා නිළධාරිවරයාය. ඒ නිසා ඔහු මහජන මතය පිළිබඳ විශේෂඥයෙකු විය යුතුය. මහජන සම්බන්ධතා තවත් අතකින් සැලසුම්කරණු ලැබූ ක‍්‍රියාවක් ලෙසද හැඳින්විය හැකිය. ඒ අනුව මහජන සම්බන්ධතා යනු මහජන මතය සමඟ සම්බන්ධ වූද, සන්නිවේදනය සමඟ ගණුදෙනු කරන්නාවූද කළමණාකරණ කාර්යයභාරයක් කරන්නා වූද යන ත‍්‍රිවිධ කාරණා මූලික ක‍්‍රියාවලියක් බව හඳුනාගත හැකිය. ඒ නිසා සන්නිවේදන විශාරදයින් විසින් මහජන සම්බන්ධතාව ක‍්‍රියාදාමයන්  රැසක ගොණුවක් ලෙසද හඳුන්වනු ලැබේ.

ස්වභාවයෙන්ම පවත්වාගෙන යන මහජන සම්බන්ධතා, සංස්කෘතික සබඳතා, විෂයක් වශයෙන් ඉගෙනීමෙන් යුතුව වෘත්තියක් ලෙස පවත්වාගෙන යනු ලබන මහජන සම්බන්ධතා වශයෙන්ද කොටස් කළ හැකිය.

මහජන සම්බන්ධතා ක‍්‍රියාවලියේ අන්තර්ගතය තුළ පහත සඳහන් දෑ අන්තර්ගත වේ.  
 
ආයතනයක් ඇතුළත හා ඉන් පිටත සිට එය හා සම්බන්ධකම් ඇති කර ගන්නා හා ආයතනයක් අතර අන්‍යොන්‍ය අවබෝධය වැඩි දියුණු කරලීමට ගන්නා සියලූ පියවර
 
ආයතනයක් පිළිබඳව මහජනයාගේ සිත තුළ හැඟීමක් ඇති කිරීම සඳහා දෙනු ලබන උපදෙස්
 
ආයතනයක් පිළිබඳව වැරදි අවබෝධයක් ඇතිවීමේ හේතු සාධක සොයා ගැනීමටත් ඒවා තුරන් කිරීමටත්        ගන්නා ක‍්‍රියාමාර්ග

 අදාළ ප‍්‍රචාර, දැන්වීම්, ප‍්‍රදර්ශන, චිත‍්‍රපට ආදිය මඟින් ආයතනයක බලපෑම් සීමාව පුළුල් කිරීම
 
ජනතාව සහ ආයතන අතර සන්නිවේදනය සෘජුවම වර්ධනය කිරීමට තුඩුදෙන සෑම දෙයක්මය.   


Tuesday, May 7, 2019

මතකය



දන්නවද නුඹ තාම ඉඳ හිට
නතර වෙනවා තමයි හදවත....
වෙනස් කළ යුතු බවට පිළිවෙත
මටම පවසා ගනිමි හිතවත....

කළු කුමාර සංකල්පය

  
යක්ෂයන් පිළිබඳව විවිධ විශ්වාසයන් අපේ පැරණි ජන සමාජය තුළ ගැමියන් අතර පැවතුණි. කළු කුමාරයා යනු ඔවුන් අතර පැවති තවත් එක් විශ්වාසයකි. කළු යකා සහ කළු කුමාරයා යනු දෙදෙනෙකු යැයිද මතයක් වේ. තවත් මතයක් අනුව කළු කුමාරයා යනු කළු යකාගේම අවතාරයකි. සත් සමුදුරින් එතෙර කළු ගල්දුව නැමැති ස්ථානයක මා ඉලූක් රන් විමනක කරඬුබානා නැමැති බිසවකට දාව කළු කුමරුගේ උපත සිදුවු බව සඳහන් වේ. ඈත අතීතයේ සිටම ස්ත‍්‍රීන්ට විශේෂයෙන්ම ගර්භනී කාන්තාවන්ට වෛර කරන මෙම යකා ගබ්සා කිරීමත්, ස්ත‍්‍රීන් වඳ භාවයට පත් කිරීමත් කරන බව ගැමියන් විශ්වාස කළෝය. ඒ බව මෙමගින් කියැවේ.

”දහ අට මායමට
උන හිසරද හදන්නට 
බිළිඳුන් නසන්නට
ගතිය ඒ කළු වරම් පෙර සිට” 

කළු කුමාර බැල්ම හෙලනු  ලැබූ කාන්තාවකගේ ශරීරය වැහැරීම නියතය. ඒ හැර ඔල්මාද විකාර ගති ස්වරූපයක්ද ඔවුන් තුළ ඇතිවේ. විශේෂයෙන්ම විකාර බස් දෙඞීම වැනි දේ කරනුයේ පිරිතක් හෝ බෙර හඩක් ඇසෙන විටය. තවද සිහිනෙන් මළ දරුවන් මෙන්ම කහ පාට, කළු පාට දරුවන් පෙනීම වැනි විෂමාචාර ලක්ෂණ කළු කුමරුගේ බලපෑම මත ඇති කරනු ලැබේ. මෙසේ කාන්තාවන්ට බැල්ම හෙලීම සඳහා කළු කුමාරයාට සුදුසු අවස්ථා සහ ස්ථානද වේ. පාලූ මං පෙත්, සොහොන් බිම් වැනි ස්ථාන මෙන්ම ඒ සඳහා ගොම්මන් වේලාව වැනි අවස්ථාද ඇත. අතීත ගැමියන් වැඩිවිය පැමිණි තරුණියන්ට ගොන්මන් යාමයේ ගමන් බිමන් යාමේදී විවිධ තහංචි පනවන ලද්දේ  එම තරුණියන්  කළු කමාර දෘෂ්ටියට හසු වේ යැයි බියෙනි.   එලෙසම ගස් ගෙඩි කැඞීම, ළඳු කැළෑ, තනිමඟ, කඩුල්ල, හන්දි, පිට්ටනි, කමත වැනි තැන්වල වීණා වාදනය කරන අවස්ථා වලද මෙම යකාගේ දිෂ්ටියට ලක්වේ.තවද ළිං, ඇළවල්, පීල්ල, ගං ඉවුරු, වැව් ඉවුරු වැනි ජලස්නානය කරන ස්ථානවල හෝ දිය පිරි කළ උකුළේ තබාගෙන එන විටද මෙම දෝෂය ඇතිවිය හැකිය. 

මෙම යකාට අත් හතරක් ඇති බව යකැදුරන්ගේ මතයයි. ඉන් දෙකක ඇතුන් දෙදෙනෙකි. එක් අතක කුකුළෙකි. හිසෙහි නයි පෙණ තුනක් ඇත. තවත් මතයක් අනුව මෙම යකාට අවතාර හතකින් පෙනී සිටිය  හැකිය. මෙම යකාගෙන් ගර්භනී කතුන්ට සිදුවිය හැකි අපල උපද්‍රව භයානක බැවින් කාන්තාව ගැබ්ගත් මොහොතේ සිට භාරහාර වීම තවමත් ගැමි සමාජයේ සාම්ප‍්‍රදායිකව පවතියි. බලි තොවිල් හා ශාන්තිකර්ම තුළින් කළු කුමාර දෝෂය  නොහොත් තනිකම් දෝෂය පලවා හැරිය හැකි බව ගැමියන්ගේ විශ්වාසයයි.

අදටත් විද්‍යාත්මකව තහවුරු කළ නොහැකි මෙම සංකල්පය හරහා කාන්තාවගේ ආරක්ෂාව වෙනුවෙන් බොහෝ තහංචි ඇති කරනු ලබයි. එලෙසම ප‍්‍රබල මනෝ විද්‍යාත්මක හරයක්ද මේ තුළ ගැබ්ව ඇත. මෙහි සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත් අපුර්ව, නිර්මාණාත්මක ලක්ෂණ ප‍්‍රකට කරන ජනශ‍්‍රැතියක් වශයෙන් මෙය හඳුනාගත හැකිය. විවිධ නිර්මාණයන් උදෙසා මෙම සංකල්පය වර්තමානයේදීද භාවිත වන අතර ජයන්ත චන්ද්‍රසිරි විසින් අධ්‍යක්ෂණය කරන ලද ඝරසරප සිනමා නිර්මාණය මෑත කාලීනව මෙම සංකල්පය හරහා බිහි වූ එක් සොඳුරු නිර්මාණයකි.  
  



Friday, May 3, 2019

සිතිවිලි


රැස් වූ තැනක නොලද සහනය
ලදිමි මම හිස් වූ කලෙක
යදම් බැඳකොට සිර කළේ ලොව තුළ
සිතිවිලිම බව දුටිමි මිදුණු දින....

Tuesday, April 30, 2019

මාධ්‍ය ආචාර ධර්ම

    
ආචාර ධර්ම සඳහා මානව සංහතියේ ආරම්භය දක්වා දිවයන දිගු ඉතිහාසයක් පවතී. ගෝත‍්‍රික මිනිසා ක‍්‍රමයෙන් ශිෂ්ට සම්පන්න යුගයකට පිවිසෙන්නේ මෙම මානව ආචාර ධර්ම තුළින් ඔහුව මෙහෙයවනු ලැබූ නිසාය. මේ සඳහා ආදී ගෝත‍්‍ර සමාජවල නොයෙකුත් ඇදහිලි, වත් පිළිවෙත් හේතු වන්නට ඇත.

ලංකාවේ සන්නිවේදන ආචාර ධර්මවල ඉතිහාසය දෙසට අවධානය යොමු කරන විට දක්නට ලැබෙන්නේ නෛතික ඉතිහාසයකට වඩා පැරණි ඉතිහාසයක් අප සතුව තිබෙන බවයි. එය අපේ බුදුදහම ඇසුරින් සම්පාදනය වූ බෞද්ධ ආචාර ධර්ම පසුබිම් කරගෙන නිර්මාණය වූවක් ලෙස හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ. බුදුරදුන් දේශනා කර වදාළ ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළ ආචාර ධර්ම ක‍්‍රියාවලියක් පවතී. එහි ‘සම්මා’ යනු යහපත යන්නයි. පන්සිල් පද පහද බෞද්ධ ආචාර ධර්මවලට කදිම නිදසුනකි. මින් සිව්වන ශික්ෂා පදය මුසාවාදය හෙවත් බොරු කීමෙන් වැළකීම සන්නිවේදන කාර්යභාරයට ඉතා වැදගත් වේ.

ආචාර ධර්ම මිනිසාගේ චර්යාව හෙවත් හැසිරීම පාදක කොටගත් ශාස්ත‍්‍රයක් ලෙස හැඳින්වීමට පුළුවන. මෙය සමාජය හා බැඳී පවතී. මේ මගින් සමාජයේ යහපැවැත්ම හා පොදු යහපත නිර්මාණය කරනු ලබයි. විවිධ සමාජයන්හි පවතින ආචාර ධර්ම පද්ධති එක් කලෙකදී මහා ඉහළින් පිළිගන්නා සමාජයක් හෝ පුද්ගලයින් හෝ පුද්ගල කණ්ඩායම් තවත් කලෙකදී එය ප‍්‍රතික්ෂේප කිරීමට පුළුවන.

ජනතාවට තොරතුරු ලබා දීමේ කාර්යයේදී ජන මාධ්‍ය මූලික වී කටයුතු කරනු ලබයි. එමෙන්ම නව මාධ්‍ය ව්‍යාප්තියත් සමඟ ජනතාව ඒ ඔස්සේද තම තොරතුරු අවශ්‍යතා ඉටු කර ගැනීමට යොමු වී සිටියි.  මෙම සන්නිවේදන මාධ්‍යවල ව්‍යාප්තියත් සමඟ නිරන්තරයෙන් සාකච්ඡුාවට බදුන් වන මාතෘකාවක් බවට මාධ්‍ය ආචාර ධර්ම පත්ව ඇත.  

ඕනෑම වෘත්තියක වෘත්තීය ගෞරවය ආරක්ෂා කර ගැනීමට ආචාර ධර්ම නිරන්තරයෙන් වැදගත් වේ. මාධ්‍ය වෘත්තියටද මෙය එක ලෙස අදාළය. මාධ්‍ය වෘත්තිකයන් උදෙසාද විවිධ ආචාර ධර්ම පද්ධතීන් නිර්මාණය වී ඇත. උදාහරණ වශයෙන් පුවත්පත් මාධ්‍ය උදෙසා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය විසින් පුවත්පත් මණ්ඩල පනත යටතේ ආචාර ධර්ම සංග‍්‍රහයක් ඉදිරිපත් කොට ඇත. එලෙසම ශ්‍රී ලංකා කතෘ සංසදය විසින් සම්පාදනය කරන ලද ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම විසින් පිළිගැනුණු ආචාර ධර්ම සංග‍්‍රහය මේ සඳහා බලපානු ලබයි. එලෙසම අනෙකුත් මාධ්‍යයන් සඳහාද එයට අනන්‍ය වූ ආචාර ධර්ම පද්ධතීන් සැකසී ඇත.                  

තොරතුරු සමාජගත කිරීමේ ක‍්‍රියාවලියේදී ජන මාධ්‍යවේදීන් තරඟකාරී මාධ්‍ය සංස්කෘතිය හමුවේ සිය සමාජ වගකීමෙන් බැහැරව කටයුතු කරන ආකාරය පැහැදිලි වේ. කුඩා දැරියන් කාමාතුරයින් විසින් බිලිගන්නා ලද පුවත් වාර්තාකරණයේදී අමු අමුවේම ආචාර ධර්ම විරෝධී ලෙස ඡුායාරූප හා තොරතුරු සමාජගත කිරීම මෑත කාලීන සිදුවීම් වාර්තාකරණයේදී පැහැදිලි විය. මනුෂ්‍යත්වය තුළින් නිසඟයෙන්ම මතුව එන සංවේදී  ගුණය මුදලට හා ජනප‍්‍රියත්වයට විකිණී  ඇති  බව කණගාටුවෙන් වුවද සඳහන් කළ යුතුය. ”සියොතුන්ට නිළඹර අරා පියාසර කිරීමට අයිතිය ඇත. එහෙත් පියාසර කරවිත් මගේ හිසේ හා කොණ්ඬේ  කූඩු බැඳීමට අයිතියක් නැත.” යනුවෙන් හැරල්ඞ් ජේ ලැස්කි විසින් දක්වා ඇති ප‍්‍රකාශය ජන මාධ්‍යවේදීන් විසින් තරයේ සිහි තබාගත යුතුය. නිදහස භුක්ති විඳීමට තමන්ට අයිතියක් තිබූ පමණින් එය අයුතු ලෙස භාවිතයට ගැනීම  නොකළ යුතුය. තම තමන්ට පැවරී ඇති සමාජ වගකීම හා වගවීම පිළිබඳව සංවේදී ලෙස  කටයුතු කරලීම තුළ යහපත් මාධ්‍ය සංස්කෘතියක් බිහි කරලීම එතරම් අසීරු කරුණක් නොවනු ඇත.             

Monday, April 29, 2019

නොමියෙමි...මහගමසේකර





දහස් මුවකින් නැගෙන ඔල්වර
සිනා හඩ දසතින් ඇසේ
දහස් ගණනක් සෙනඟ අතරේ
මහා තනියක් මට දැනේ


Sunday, April 28, 2019

උඩරට නර්තන සම්ප‍්‍රදායට අයත් වන්නම් කෙරෙහි බලපෑ අන්තර් සංස්කෘතික ලක්ෂණ

උඩරට නර්තනයේ ආරම්භය සිදුවූයේ ලංකාවේ මධ්‍යම කඳුකර ප‍්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින්ය. සිංහල නැටුම් සම්ප‍්‍රදායන් අතරින් ප‍්‍රධානතම නර්තන සම්ප‍්‍රදාය ලෙස මෙය හඳුනාගත හැකිය. 19 වන සියවස අගභාගය වන තෙක් පිරිමින්ට පමණක් සීමා වූ මෙම සම්ප‍්‍රදාය ඉන්පසු කාන්තාවන් අතරටද ගමන් කළේය.මෙම නැටුම් ප‍්‍රචලිත වූයේ මහනුවර, උඩුනුවර, යටිනුවර, හත්කෝරළේ, හතර කෝරළේ, දුම්බර, හාරිස්පත්තුව යන ප‍්‍රදේශ ආශි‍්‍රතවය.

වන්නම් යනු එක් එක් අප‍්‍රාණික හා සප‍්‍රාණික වස්තූන් පිළිබඳ කෙරෙන වර්ණනා ඇතුළත් උඩරට නැටුම් කලාවේ ඉතා ප‍්‍රසිද්ධ අංගයකි. වර්ණ යන්න කේරළ ද්‍රවිඩ වචනයෙන් බිඳී ආ එකකි. වන්නම් ශ්‍රී වීරපරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ කාලයේ ගණිතාලංකාර නම් ඉන්දියානු පඬිවරයෙකු විසින් නිබන්ධනය කර ඇති බවද ඒ සඳහා මල්වතු විහාරවාසී භික්ෂුවකගේ සහාය ලැබී ඇති බවද සඳහන් වේ. තවත් මතයක් වන්නේ  ගණිතාලංකාර බමුණු පඬිවරයා වෙත පඬුරු පාක්කුඩම් යවා ලංකාවට ගෙන්වා ගත් නෙතර්මාලය නම් කෘතිය ඇසුරෙන් මල්වතු විහාරවාසී හිමිනමක් විසින් රචිත බවයි. ඉන්දියානු මහා සම්ප‍්‍රදායන්ගෙන් එකක් ලෙස සැලකෙන භරත නාට්‍යයේ එන වර්ණම් ආශ‍්‍රයෙන් සිංහල වන්නම් රචනා වූ බවටද මතයක් ඇත. මෙම මතවලින් පැහැදිලි වන්නේ බෞද්ධ ආභාෂය මෙන්ම භාරතීය සංස්කෘතියේ ආභාෂයද උඩරට වන්නම් රචනයේදී ලැබී ඇති බවයි.

වන්නම් 18ක් නිර්මාණය වීම පිළිබඳවද අන්තර් සංස්කෘතික ලක්ෂණ බලපා ඇත. ඉන්දියාවේ මෙන්ම ලංකාවේද 18 සුබ සංඛ්‍යාවක් ලෙස පිළිගැනෙයි. දේශීය වශයෙන් ගත්කල බුද්ධ ප‍්‍රතිමා නිර්මාණයේදී දහඅට රියන් ලෙසද ශාන්ති කර්මවලදී දහඅට සන්නිය ලෙසද ග‍්‍රන්ථ රචනයේදී දසට පුරාණ ලෙසද කුල ගෝත‍්‍ර දැක්වීමේදී දහඅටක් වනක් ලෙසද තවද දහඅට දේශය, දසට භාෂා, අෂ්ඨ දස ශීලය, දසඅට යොදුන්, දහඅට දහසක් ලෙසද පොතපතෙහි මෙන්ම ජනවහරෙහිද සඳහන්  වන්නේ මේ හේතුවෙනි.

දකුණු  ඉන්දියාවේ පාණ්ඩ්‍ය දේශයේ චූලකෘති දසඅට නමින් පොතක් තිබී ඇත. කේරළයේ දහඅට විද්‍යා නමින් ග‍්‍රන්ථයක් රචනා වී ඇත. කර්ණාටක ප‍්‍රාන්තයේ කිලක් කනත්තු දහඅට නමින් උපදේශ ග‍්‍රන්ථාවලියක් හමුවී ඇත. මේ හේතු සාධක නිසා මෙම රටවල් දෙකෙහිම 18 යන සංඛ්‍යාවට විශේෂ ස්ථානයක් හිමිවී ඇත. දකුණු ඉන්දියාව තුළ වන්නම් 18 ක් පැවති බව නීලකණ්ඨ ශාස්ත‍්‍රි මහතා ඔහුගේ දකුණු ඉන්දියා ඉතිහාසය පොතෙහි දක්වා ඇති බව එස් කුලතිලක මහතා පෙන්වා දෙනු ලබයි.

උඩරට වන්නම්වල භාෂාව විමසීමේදී විවිධ සංස්කෘතීන්ගේ ලක්ෂණ දැකගත හැකිය. ද්‍රවිඩ වචන, තෙලිගු වචන, සංස්කෘත වචන, වියත් සිංහල බස, ගැමි ව්‍යවහාරික බස, වියත් බසෙහි ඇතැම් රීතීන් බිඳහැර තමාගේම ආකෘතියකට රචනා කිරීම ආදී භාෂා රටා ප‍්‍රමුඛව දැකගත හැකිය. නිදසුන් ලෙස මුසලඩි වන්නම, මුසල් + අඩි යන තෙලිගු වචන යුගලය සන්ධි වීමෙන් නිර්මාණය වූ පදයකි. මුසල් යන පදය ද්‍රවිඩ බසෙහි සාවා යන අරුත ගෙන දෙයි. නෛඅඩි යන වචනය නාගා යන ද්‍රවිඩ වචනයෙන් සිංහලයට තත්භව වූ නයි යන වචනයට අඩි යන තෙලිගු පදය එක් වීමෙන් නිර්මාණය වී ඇත. හනුමා යන්නද ද්‍රවිඩ හනුමාන් යන වචනයේ තත්සම යෙදුමකි. වෛරෝඩි යන වචනය සංස්කෘත බසෙහි එන වෛදුර්ය යන ශබ්දයෙන් තෙලිගු හා දෙමළ භාෂාවට එක් වු වචනයකි.

සිංහරාජ වන්නමේ ප‍්‍රස්තුතය පැරණි ජන කතාවක් තේමා කරගෙන ඇත. එනම් අප කුඩාකල සිට අසා තිබෙන වයසක සිංහයෙක් ගොදුරු සොයා ගැනීමට අපහසු නිසා තමාගේ ගොඳුරු පිණිස වනාන්තරයේ සතුන් උපායශීලීව තම ගුහාව වෙත ගෙන්වා ගැනීමේ කතාන්දරයයි. බොහෝ අවස්ථාවල ගැමි සමාජය තුළ දකින උපදේශනය වන්නම් තුළ දැකගත හැකිය. මේ උඩරට වන්නම් තුළ ඇති ගැමි සංස්කෘතික ආභාසයයි. ගාහක, සැවුලා, වෛරෝඩි, මයුරා, සුරපති, ගණපති, ආදී වන්නම් දේවකතා ආශ‍්‍රිතව ගොඩනගා ඇති නිසා හින්දු සංස්කෘතික ලක්ෂණවලට සමීප වේ.

හින්දුන්ගේ ශුද්ධ වස්තුවක් වශයෙන් සැලකෙන ගංගා නම් ගගෙහි ජලය දක්ෂිණාවෘත්ත සංඛයෙන් ගෙන රජුන් නැහැවීම පැරණි රජ දරුවන් අභිෂේක කිරීමේදී යොදාගත් අනිවාර්ය චාරිත‍්‍රයකි. සංස්කෘත භාෂාවෙන් දක්ෂිණාවෘත සංඛයට ගාහක යන නම ව්‍යවහාර කෙරේ. රාජාභිෂේකයට මුල් වූ දක්ෂිණාවෘත මංගල සංඛය මුල්කොටගෙන ගාහක වන්නම සකස් වී තිබේ.

මංගල සංඛ නාදයෙන් සෑම සුභ කටයුත්තක්ම ආරම්භ කිරීම පැරණි දේශීය චාරිත‍්‍රයයි. හක්ගෙඩියේ නාදය උස්පහත් වෙමින් නැගෙන ආකාරය හා පැතිර යන ආකාරය මෙම වන්නමෙන් මූර්තිමත් වේ. එහෙයින් වන්නම් පටුන සැකසීමේදී ආරම්භක වන්නම ලෙස මෙය යොදාගෙන ඇත. සක‍්‍ර යනුවෙන් වන්නම ආරම්භයේදී ගැයෙන පදය බෞද්ධ සාහිත්‍යයේ එන සක් දෙවිඳුන් හැඳින්වීමට යොදයි.  එහෙයින් ලාංකීය සංස්කෘතික ආභාසය මෙන්ම භාරතීය ආභාසයද මෙම වන්නම කෙරෙහි බලපා ඇත. 

සැවුලා වන්නම ස්කන්ධ පුරාණයේ එන සුර අසුර යුද්ධයේදී ස්කන්ධ කුමරුන්(කඳ කුමරු* විසින් තාරක නම් අසුරයා දෙපලූ කොට මැරීමේ පුවත පසුබිම් කොටගත් නිසා හින්දු දේව සංකල්ප මත පදනම් වේ. සැවුලා යන පදය ෂාවල් යන ද්‍රවිඩ පදයෙන් උපන් සිංහල තත්භවයකි. වෛරොඩි වන්නම ඉසුරු හා කෙහෙතු යන චරිත වටා ගෙතී ඇති නිසා හින්දු සංකල්ප හා සම්බන්ධ වේ. හින්දු ආගම මගින් සමාජය කෙරෙහි ඇතිකල බලපෑම මෙමගින් පැහැදිලි කරයි. මයුරා වන්නම කතරගම දෙවිඳුන්ගේ වාහනය වන මොණරා පිළිබඳ සිහිපත් කරයි. සුරපති වන්නම ඊශ්වර හා උමයංගනාව අතර පේ‍්‍රමය අලලා කෙරෙන ඊශ්වර දෙවි පිළිබඳ වර්ණනයකි. ගණපති වන්නමෙන් ගණ දෙවිඳුන් ගැන විස්තර වේ . මේ සියලූ දෙවිවරුන් හින්දු සංස්කෘතිය හා සම්බන්ධ වේ.
තුරඟා වන්නම සිදුහත් කුමරුන් ගිහිගෙයින් නික්මීම හෙවත් මහා අභිනිෂ්ක‍්‍රමණය පිළිබඳව සිහිපත් කරයි. ගජගා, ඊරඩි, උදාර යන වන්නම් පැරණි සිංහල ග‍්‍රන්ථවල වෘත්තාන්ත අනුව සැකසී ඇත. තවද ගජගා වන්නමෙන් දළඳා කරඬුව හිස මත තබාගෙන ගමන් කරන මංගල හස්ති රාජයාගේ ගමන් විලාශය  නිරූපණය කරයි. සරත් විජේවර්ධන මහතා පෙන්වා දෙන්නේ මේ සියල්ල චිරන්තන සිංහල සාහිත්‍යයේ ආභාසය ලබා ඇති බවයි. උරගා වන්නම ජන සංස්කෘතියෙන් උපත ලබා ඇත. එය ”නයි පොළොන් වෛරය” ඇතිවූ ජන කතාව සිහිපත් කරයි. උකුසා, මුසලඩි, කිරලා, හනුමා යන වන්නම් ගැමි පරිසරයේ නිරන්තර දක්නට ඇති සතුන්ගේ හැසිරීම් තාත්වික ලෙස පෙන්නුම් කරයි. අසදෘස වන්නමේ ආරම්භයේදී ත‍්‍රිවිධ රත්නයට වැඳ නමස්කාර කරන නිසා බෞද්ධ ලක්ෂණ පෙන්නුම් කලද එහි අන්තර්ගතය තුළ හින්දු ආගමික තොරතුරු විස්තර වේ. නෛඅඩි වන්නම භූරිදත්ත ජාතකය පදනම් කර ගනිමින් අප බෝසතුන් එක් කලෙක නාග  ලෝකයේ ඉපිද බොහෝ දුක් ගැහැට විඳිබව පෙන්නුම් කරයි.

ඇතැම් වන්නම්වල නාද මාලාව දකුණු ඉන්දියානු ජන සංගීතයෙන් ආභාසය ලබා ඇති බව සරත් විජේවර්ධන මහතා පෙන්වා දෙනු ලබයි. ඇතැම් නාදමාලා සිංහල ගැමි නාදමාලා අනුව සකස් වී ඇත. නිදසුනක් ලෙස උදාර වන්නමේ නාද මාලාව පාරම්පරික නෙලූම් ගීතයකට අයත් නාද මාලාවක් අනුව සකස් වී ඇත. වන්නම් සංගීතය ගත්කල එය මහනුවර සමයේ සිංහල ජන ගැයුම්වල මෙන්ම ද්‍රවිඩ ගැයුම්වලද එකතුවක් බව සඳහන් වේ. මේ අනුව පැහැදිලි වන්නේ උඩරට වන්නම් 18 නිර්මාණය වීම උදෙසා විවිධ සංස්කෘතික ලක්ෂණ බලපා ඇති බවයි.

ආශ‍්‍රිත මූලාශ‍්‍ර
උඩරට නැටුම් කලාව, ජේ.ඊ සේදරමන්
සිංහල නර්තන කලාව, මහාචාර්ය මුදියන්සේ දිසානායක
වන්නම් ගීත සාහිත්‍ය විචාරය, ඥානසිරි පීරිස්, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව                                                 

Friday, April 26, 2019

මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා....


”එකකට එකක් සම්බන්ධ එකක් පස්සෙ එකක් ගමන් කරන දේට මිනිස්සු කියන්නෙ ජීවිතය කියලා...එකකට එකක් සම්බන්ධ නැති මෙන්න මේකයි කියන්න හේතුවක් නැති දේකට මිනිස්සු කියන්නෙ ආදරය කියලා...”
මේ සමනළ සංධ්වනිය චිත‍්‍රපටයේ ආරම්භය...චිත‍්‍රපටයට තේමා වෙන්නෙ හරි අපූරු ආදර කතාවක්. ඔහු වාදීශ වික‍්‍රමනායක...

”ඉකිගසා හඩන අතීතයක 
කඳුලූ එක්ක ගණුදෙනු කරනා 
මට මගේ නොවන 
මගේම ආදරයක් තිබුණා...

හීනෙන් හිනැහී තුන්යම මා රවටා
මැදියම් මහ  රෑ  අදටත් දුක ඉගිලෙනවා
නින්දෙන් ඇහැරී කලූවරේම යළි සොයනා 
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා
මගේම ආදරයක් තිබුණා... 

රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා
උහුලනු බැරි තැන උණු කඳුලූම වගුරවනා 
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා
මගේම ආදරයක් තිබුණා... ”

මේ ගීතය තුළින් ඔහු පේ‍්‍රක්ෂකයා කොහේදෝ ලෝකයක අතරමං කරනවා කියලයි මට හිතෙන්නෙ. ඒ අතරමං කරවීම හදවතේ සියුම්ම තැන් පවා ප‍්‍රකම්පනය කරන්නට සමත්... මේ ගීතයට ගොඩාක් අය හදවතින්ම සමීප වෙනවා. හේතුව...අපි හැමෝටම අපේ ජීවිතේ එකම හරි අවස්ථාවක තමන්ගේ නොවන තමන්ගේම ආදරයක් තියෙනවා.. එහෙම නැත්නම්  ඒ වගේ ආදරයක් තිබිලා තියෙනවා..

නොකී මුත් වචනයෙන් කිසිවිට
දරා ඉන්නා නමුත් සිත යට
වසන් කරන්නට බැරිය එය මට
දෙනෙත දෙනෙතින් බැඳී ගිය විට 

මහගමසේකරයන්ගේ මෙකී පදවැල් අතර කියාගන්නට නොහැකි වූ නමුත් ජීවිත කාලය පුරාවටම බලා හිඳ මියගිය පේ‍්‍රමයන් අප අතර කොතෙකුත් ඇති. ආදරය අපි හැමෝම හොයන දෙයක් වේදනාවෙන් මිරිකි මිරිකී යදින දෙයක්.  
”ජීවිතය කියන්නෙ සුන්දර පිපාසයක්. ඒ පිපාසය යම් තරමක් හරි සංසිදෙන්නෙ ආදරය කියන දේ ලැබුනාම විතරයි. ඒකයි හැමෝම ආදරේ පිටුපස්සෙ දුවන්නෙ. කොච්චර හති වැටුනත් ඒ පස්සෙම දුවන්නෙ. හදවත් ගිනි ගනිද්දිත් සිරුරු රිදුම් දෙද්දිත් අපි හඩ හඩා, හඩ හඩා ආදරය සොයන්නෙ ඒ නිසයි.”

වාදීශ වික‍්‍රමනායක ආදරේ කරන්නෙ පුණ්‍යාගේ මේ සිතුවිලිවලට. වාදීශට පාසල් යන අවධියේ අහම්බෙන් ලිපියක් කියවන්න ලැබෙනවා. චිත‍්‍රපටය පුරාවටම විහිදී ගිය කතාවේ හටගැන්ම එයයි. එය ආදර ලිපියක්. නමුත් එය ඔහුට අයිති ලිපියක් නොවෙයි. පුණ්‍යා නැමැති තරුණියක් රේවත නැමැති තරුණයෙකුගේ ආදරය පිළිගත් බව සඳහන් කෙරුණු ලිපියක්. මේ ලිපිය වාදීශගෙ මුලූ ජීවිතයම වෙනස් කරවනවා. කෙනෙකුට හිතෙන්න පුලූවන් ලියුමකට මෙච්චර දෙයක් කරන්න පුලූවන්ද කියලා. වාදීශට තමන්ව අමතක වන තරමටම මේ අකුරු ඔහු වෙනස් කළාද කියන එක. නමුත් ඔහු කෑගසා ආමන්ත‍්‍රණය කරන්නෙ පුණ්‍යාවයි. උනුන් නොදැන නොදැක වූවද ආදරයේ සියුම් ස්පර්ශය ආත්මය වසාගත් කළ එයින් හද පාරාගත් මිනිසුන්ගේ කතාව මෙයම නොවේදැයි මට සිතෙයි.

ඔහු වසර දෙකක්ම ලිපියේ සඳහන් ආකාරයට පුණ්‍යා හමුවීමට මාර්තු 7 වෙනිදාට කුමාරි උයනට යනවා. ඇයව දැක ගැනීමට හැකි වූවත් කතා කිරීමට අවස්ථාවක් ඔහුට උදා වෙන්නෙ නැහැ. මෙම ලිපිය ආපසු භාරදීමට නොහැකි වීම ගැන ඔහු පසුතැවෙනවා. එය විසි කිරීමට තැත් කළද එය ඔහුගේ ආත්මය තුළටම රිංගා ඔහු තුළම ජීවත් වෙනවා. පුණ්‍යා යනු ඔහුට වඩා වයසින් වැඩි තරුණියක්. ඔහු කුඩා දරුවෙක්. නමුත් ඔහු පෙම් බඳින්නේ ඇයගේ සිතුවිලිවලට. ඔහුගේ හදවත පුරා දෝංකාර දෙන්නේ ඒ සිතුවිලි. ඔහු තරුණ වියට පත්වූ පසුත් ඔහු තුළ ඇය ජීවත් වෙනවා. ඔහු ඒ දුක සිතේ සිර කරගෙන ගී ගයමින් වේදනාව ඉගෙන ගන්නවා. කිසිවෙකුට කියන්නට නොහැකි වූ ඒ වේදනාවේ දෝංකාරය මෙම ගීතය බවට පත්වෙනවා.         

වාදීශ හරි අපූර්ව දෙයක් අවසානයේ කියනවා.” මුතු ඇටයක් බවට පත් වෙන්නෙ බෙල්ලෙකුගෙ බෙලි කටුව තුළ සිරවූ වැලි කැටයේ වේදනාව...” ඔහු කියන්නෙ සියල්ල පැමිණෙන්නෙ වේදනාවෙන් කියලා... චිත‍්‍රපටය අවසන් වෙන්නෙත් මෙම ගීතයෙන්. ඇත්තටම මෙම ගීතය ආදරයේ සංධ්වනියක් කියලයි මට හිතෙන්නෙ. චිත‍්‍රපටය අධ්‍යක්ෂණය  ජයන්ත චන්ද්‍රසිරි. මෙම ගීතයේ පද රචනය අමිල තේනුවර. ගීතය සංගීතවත් කළේ දර්ශන රුවන් දිසානායක. ගීතය ගායනය අමරසිරි පීරිස්.

ඔබත් ඔබේම ලෝකයක තනිවී සිටිනා මොහොතක මෙම ගීතය රසවිඳින්න. කිසිදා හිමිකරගන්නට නොහැකි වූ නමුත් සිතුවිල්ලකින් ඔබේම පමණක් වූ ඒ ආදරය ඔබේ හදවත කොනක තවමත් ජීවත් වන බව ඔබට දැනේවි...  

Wednesday, April 24, 2019

කාටූන් සහ ළමා මනස




 
අව්‍යාජත්වයේ හා සුන්දරත්වයේ විශ්වමය සංකේතය  වශයෙන් ළමයා හඳුනාගත හැකිය.    කාටූන්, යනු අව්‍යාජ ළමා මනස තුළ ව්‍යාජ ප‍්‍රතිරූප සකසනු වස් වර්තමානය වන විට වේගයෙන් ව්‍යාප්ත වන ජනප‍්‍රිය වැඩසටහන් විශේෂයකි. මේවා නිර්මාණය කරනු ලබන්නේ වැඩිහිටියන් විසිනි. නමුත් මෙම කාටූන් නරඹනු ලබන්නේ දරුවන් විසිනි. වැඩිහිටියන් විසින් නිර්මාණය කරනු ලබන මෙම වැඩසටහන් තුළ ළමයින්ගේ සිතුම් පැතුම් නියෝජනය වනවාද? යන්න ගැටලූවකි. අතීතයේදී දරුවන්ගේ ලෝකයේ වීර ප‍්‍රතිරූප චරිත වූයේ ඉතිහාස කතා, ජාතක කතා, ජන කතා, සුරංගනා කතාවල එන ආදර්ශවත් චරිතයන්ය. ඔවුන්ගේ ළමා මනස පෝෂණය වූයේ වැඩිහිටියන්ගෙන් අසා දැනගත් එම කතා තුළිනි. වර්තමානය වන විට කුඩා දරුවන්ගේ සිත් තුළ වීරයන් බවට පත්ව ඇත්තේ කාටූන් තුළ අන්තර්ගත චරිතයන්ය.  ඕනෑම දෙයක හොඳ සහ නරක අඩු වැඩි වශයෙන් ඇත. වර්තමාන කාටූන් වැඩසටහන්වල අන්තර්ගතය පරික්ෂා කිරීමේදී යහපත් දේ වලට ළමයා පෙළඹවීමට වඩා ළමා මනස තුළ සංකීර්ණ අයහපත් සිතුවිලි වර්ධනයට කාටූන් වැඩසටහන් බලපාන බව හඳුනාගත හැකිය.

කාටූන් වැඩසටහන්වලට ඇබ්බැහි වීම නොමේරු දරුවන්ට බලපාන අයුරු පිළිබඳ පර්යේෂණ බොහොමයක් වෙයි. ප‍්‍රබන්ධ සහ සත්‍ය ලෝකය අතර වෙනස වැඩිහිටියන් විසින් අවබෝධ කර දුන්නොත් මිස ළමයින් ඒවා තේරුම් ගන්නේ නැත. ඔවුන්ට ඒවා තේරුම් ගැනීමේ ශක්තියක්ද නොමැත. කාටූන්වල චරිත සහ ඔවුන්ගේ ගති ලක්ෂණ ළමා මනස තුළ ගැඹුරින්ම තැන්පත් වෙයි. දිනකට පැය තුන හතරක් කාටූන් නරඹන දරුවන් තුළින් ප‍්‍රචණ්ඩකාරී සහ අකීකරු හැසිරීම් ප‍්‍රකට කෙරෙන බව පර්යේෂණ වලින් හෙළිවී තිබේ. බොහෝ කාටූන්වල අනුකම්පා විරහිතව සිදු කෙරෙන පහර දීම් සහ මරා දැමීම් සුලභව අන්තර්ගත වන අතර එසේ කිරීම සමාජ විරෝධී ක‍්‍රියාවක් සහ වින්දිතයාට හෝ මරණයට පත් වන්නාට වේදනාවක් ඇතිවන දෙයක් බවත් නොහැඟවෙයි. මෙම තත්ත්වය විසින් දරුවා ප‍්‍රචණ්ඩකාරී සමාජ විරෝධී ක‍්‍රියාවල නිරත වීමේ නොතිත් ආශාවකින් පෙළෙන තත්ත්වයකට පත්වන බව මනෝ විද්‍යාඥයෝ අවධාරණය කරති.

වර්තමානය වන විට ළමයාගේ විවේක කාලය සොරාගන්නා මාධ්‍යයක් වශයෙන් කාටූන් හඳුනා ගැනීමට හැකිය. බොහෝ විට සවස් කාලයම ඔවුන් ගතකරනුයේ රූපවාහිනිය තුළින් කාටූන් නැරඹීමෙනි. ඔවුන්ගේ සෙමෙන් වැඩෙන මනස වර්ධනය වන්නේ මෙම කතා මාලාවන් හරහාය. ළමයා වැරදි ආහාර රටාවන් කෙරෙහි යොමුවීම, සංවේදිතාවයෙන් තොර පිරිසක් බවට පත්වීම, ත‍්‍රාසජනක අත්දැකීම් ලබා ගැනීමට වැඩි කැමැත්තක් දැක්වීම, ආත්මාර්ථකාමී සිතුවිලි වර්ධනය වීම, නිර්මාණශීලීත්වය හීනවීම යනාදිය ඇතිවීම කෙරෙහි කාටූන් සෘජු වශයෙන්ම බලපානු ලබයි. බොහෝ විට මෙම වැඩසටහන් කෙරෙහි ළමයා ආකර්ෂණය වන්නේ ළමා මනස තුළ අත්දැකීම් අඩු වීම නිසාය. එබැවින් මෙමගින් ඉදිරිපත් කරන තේමාවන් ළමයාගේ ජීවිතයට නව අත්දැකීමකි. ඔවුන් එහෙයින් මෙම චරිත අනුකරණයට පෙළඹෙයි. සමාජය තුළදී තම තමන්ට රුචි වූ වීර චරිතයන් ආරූඩ කර ගනිමින් ඔවුන් තම හැසිරීම සකස් කරගනු ලබයි. බැට්මෑන්, සුපර්මෑන්, ස්පයිඩර් මෑන් වැනි කාටූන් තුළ, රූපරාමු හා දර්ශන වල වේගවත් බව, අස්වාභාවික සිදුවීම් වැනි දෑ නැරඹීම තුළ ළමයා තුළ ඇති ස්වභාවික චින්තන හැකියාවන් ඔවුන් කෙරෙන් දුරස්වීමට ඇති ප‍්‍රවණතාවය වැඩිය. යථාර්ථය සහ කල්පිතය වෙන් කර ගැනීමට තරම් ඔවුන්ගේ මනස දියුණු වී නොමැත.

කාටූන් යනු අතිශය නිර්මාණශීලී ප‍්‍රකාශන මාධ්‍යයක් වශයෙන් හඳුනාගත හැකිය. විශේෂයෙන්ම මේ තුළින් ළමයාට වඩාත් සමීප වන ලෙස රූප රාමු සහ භාෂා මාධ්‍යය උපයෝගී කරගත හැකිය. දරුවන්ගේ මනසට අවශ්‍ය දෑ මෙන්ම අනවශ්‍ය දෑ හඳුනා ගැනීම නිසිආකාරව වැඩිහිටියන්ට සිදු කළ හැකි නම් ඔවුන්ගේ චර්යාවන් හා සිතුවිලි කෙරෙහි වඩාත් හිතකර මාධ්‍යයක් වශයෙන් කාටූන් භාවිත කරලීම කිසිලෙසකින් වරැද්දක් වශයෙන් හඳුනාගත නොහැකිය. 


     

Monday, April 22, 2019

උලලේනා හෙවත් මරණයට පෙර නිමිති කියන්නා


 Image result for devil bird
උලමා හෙවත් උලලේනා නමින් හදුන්වන පක්ෂියාගේ නාදයට ඈත අතීතයේ සිට අපේ වැසියන් ඉමහත් බියක් දැක්වූවා. ඒ වගේම තමයි පැරණි අයගේ මතයක් තිබුණා උලලේනා කෑ ගහනවා ඇහුණොත් ඒ දේ හරිම මූසල දෙයක් කියලා. උලලේනාගේ හඩ ඇහුනොත් කෙනෙක්ගෙ වියෝවක් අනිවාර්යෙන්ම සිද්ධ වෙන බව ඔවුන් විශ්වාස කළා. උලලේනාගේ උපත පිළිබඳව ජනශ‍්‍රැතියේ විවිධ කතා පවතිනවා.

”මසට ගිජු වූ පවුලක වැඩිහිටියන් මස් නොමැතිව එක් වේලක්වත් කෑවේ නැත. වැඩට යන වැඩිහිටි දෙදෙනාට ඇති දේ උයා පිහා දුන්නේ ගෙදර සිටි අරක්කැමි ඥාතී ස්ත‍්‍රියකි. දිනක් පිසීමට මස් නොතිබුණ නිසා පවූලේම බිලිදු දරුවා මරා උයා තිබුණි. වෙනදාට නැති රසවත් මස් බුදින මවට දරුවගේ ඇගිල්ලක් හැපුණි. ඒ ගැන ඇය විමසූ විට අරක්කැමි ස්ත‍්‍රිය රහසින් එළියට පැන දිව්වාය. ඇය පසුපසින් හැන්ද ඔලූවේ ගසාගෙන ” මගේ දරුවා කෝ ” කියා ලතෝනි දෙමින් මවද දිව්වාය. මියගිය උපන් ඇයගේ දෙවෙනි උපත උලමා විය.”
මේ ඒ පිළිබඳ එක් කතාවක්.

අදත් උලමාගේ හිසේ හැඳි ලකුණක් පවතිනවා. ඒ වගේම මේ කුරුල්ලාගේ හඩළතෝනිය වැහි ආසන්න බවට පෙර නිමිත්තක් බවත් ගැමියන් විශ්වාස කළා. යක් කුරුල්ලා කියලා කියන්නෙත් මේ කුරුල්ලටම බව ජනප‍්‍රවාදයේ සඳහන් වෙනවා. අතීත වැසියන් මේ පක්ෂියා භූත ආත්මයක් බවද විශ්වාස කළා. උලලේනාගේ කන්දොස්කිරියාව ඉවසන්න බැරිම තැන අපේ ගැමියන් මෙම පක්ෂියාගේ මුඛ බන්ධනය කරලා තියෙනවා. ඒත් ඉතා සුළු මොහොතකින් ඔවුන් විසින් මෙම මුඛ බන්ධන ඉවත් කරලා තියෙනවා. ඒ මේ සතා ගැන අනුකම්පා හිතිලා. මුඛ බැදීමේ වස් කවි රාශියක් ගැමියන් අතර පැවතී තිබෙනවා.

”උලලේනයි උලලේනයි තෝද බොල 
නාඩා ඉන්ඩ  තොට වරමක් දුනිද බොල   
අනඳ මහ තෙරිඳු පටියෙන් බැන්ද බොල 
මෙතේ බුදුන් බුදු වෙනකං නාඩ බොල”

මේ ඒ අතරින් එක් වස් කවියක්. පැරණි ගැමියන් සතුන් පිළිබඳව විවිධ විශ්වාසයන් ඇතිකර ගත්තා.  ඒ විශ්වාසයන් ඔවුන් තම ජීවිත හා සමීප කර ගත්තා. උලලේනා ගැන ඔවුන් හිතුවෙ මරණයේ පණිවිඩය අරන් එන සංකේතයක් විදිහට.

”පාලූව දෙවනක් කරලා
නාඩන් උලලේනෝ
කාටත් නපුරු දා තනිකම් ඇතිවෙනවා
උලලේනෝ උලලේනෝ ”

විශාරද ගුණදාස කපුගේ ශූරීන්ගේ හඩින් මෙම ගීතය ගැයෙන විට පාලූව, තනිකම, හුදකලාව කරපින්නාගත් උලලේනාගේ හඩෙහි කිසිවෙකුටත් කියන්නට නොහැකි වූ ශෝකී ස්වරයක් කැටිව ඇතැයි මට සිතුනා....